Main Logo

Sunday 30 October 2022

අසඩෙක් යාල ගියේ නැහැ

 

අසඩෙක් යාල ගියේ නැහැ

 

ඊයේ ලිපියෙන් පසු මට දැන ගන්න ලැබුණා චින්තන පර්ෂදයේ හිතවතුන් ද මගේ ලෝකය ගැන විවිධ සාකච්ඡා පවත්වා තිබෙන බව. විශේෂයෙන් ප්‍රියන්ත දයාරත්න හා අරුණ මුණසිංහ ගැන සඳහන් කරන්න ඕන. ඒ සියල්ලන්ට ම පින්. මා ඒ කිසිවක් දැන හිටියේ නැහැ.

 

කෙසේ වෙතත් දැන් පැහැදිලි වන කාරණය තමයි මගේ ලෝකය ගැන කතා කරන්න තරම් දෙයක් ඇතැයි සිතා ඇත්තේ චින්තන පර්ෂදයේ සාමාජිකයන් ව සිටි අය හරි හිතවතුන් හරි පමණක් බව. ජාතික ව්‍යාපාරයේ අන් කිසිවකු එහි කතා කරන්න තරම් දෙයක් ඇතැයි සිතා නැහැ. ඒ ගුණදාස අමරසේකර ද ඇතුළුව. ජාතික ව්‍යාපාරයෙන් පිට ජාතිකත්වයක් ඇති අයට ද ඉන් සතපහක වැඩක් වී නැහැ. භික්‍ෂූන් වහන්සේ සමහර විට එයට විරුද්ධ වෙනවා ඇති. ජාතිකත්වයට විරුද්ධ අයට නම් එය  හළාහළ විසක්. ජාතිවාදය ආගම්වාදය මිථ්‍යාව වපුරන විඥානවාදී කෘතියක්.  ඔවුන් ඇතැමකුට අනුව මා කරන්නෙත් ඇස්පෙ වැනි බටහිර විද්වතුන්ගෙ අදහස් සිංහල පාඨකයන්ට හඳුන්වා දීම පමණයි.

 

මට අද ලියන්න ඕන මගේ ලෝකය ගැන නොවෙයි. ඇමති පුතුන්, දියණියන්, භාර්යාවන්, ඥාති පුතුන් දියණියන්, මිතුරන් හා ඔවුන්ගේ දුදරුවන් ආදීන් හා අනෙක් අය ගැනයි. ආසන්න ම කතාව යාල සංදර්ශනයයි. මේ සියලු දේ පිටුපස ඇත්තේ එක ම එක කාරණයයි. මෙරට නීතිය ඇතැමුනට ක්‍රියාත්මක නො වීමයි. යමකු ඇමතිවරයකු දන්නවා නම් ඔහුගේත් ඔහුගේ දුදරුවන්ගේත් සියලු නොපණත්කම් බේරා ගන්න පුළුවන් කමක් තියෙනවා. එමෙන් ම සියලු අඩුපාඩුකම් ද මගහරවා ගැනීමේ ක්‍රම හා විධි තියෙනවා. මා හිතන්නෙ නැහැ මේ සිද්ධි යාලෙන් පසු නවතීවි කියල.

 

ඔය නීතිය අතට ගැනීම තව කලක් මෙරට තියේවි. නීතිය අතට ගන්නේ ඇමතිලාගේ ඥාතීන් පමණක් නො වෙයි. අර පරගලය කාලෙ විවිධ අය නීතිය අතට ගත්තා. ඔවුන් හිතුවෙ තමන්ට බලයට ඒමට හැකි ය කියා. ඒ බලාපොරොත්තුව උඩ ම පමණක් ඔවුන් නීතිය අතට ගත්තා. ඇතැම් පඬි නැට්ටන් නීිතිය කඩන්න කියාත් විප්ලවයේ නාමයෙන් උපදෙස් දුන්නා. බලයට පැමිණීමේ බලාපොරොත්තුව තිබූ පමණින් එවැනි දේ කළා නම් බැරි වෙලාවත් බලයට පත් වුණා නම් කොහොමට තියේවි ද? 

 

නීතිය අනුව ලැබිය යුතු දෙයක් තිබේ නම් එය වෙනත් බලවතකුගේ බලපෑම නිසා නැති වන්නේ නම් තවත් බලවතකුගේ මගින් ඒ ලබා ගැනීම වෙන ම කරුණක්. ඒ අන් බලවතාගේ අනිසි බලපෑම නීතිය ඉදිරියට ගොස් වළක්වා ගැනීමට බැරි බැවින්.  පුත්‍ර සමාගම් කටයුතු මහින්ද රාජපක්‍ෂගේ 2015 පරාජයට විවිධ පුද්ගලයන් යොදා ගත්තා. පුතුන් ලැම්බෝගිනි පදින්න නැති වෙන්න ඇති. එහෙත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිසා මහින්ද රාජපක්‍ෂට චෝදනා එල්ල වුණා. මහින්දට රට පාලනය කරන්න පුළුවන් වුණාට දරුවන් පාලනය කරන්න බැරි වුණා.

 

මෙයින් කියන්නේ මහින්ද 2015 පරාජය වුණේ පුත්‍ර සමාගම නිසා පමණක් කියල නො වෙයි. ගෝඨාභය පහුගිය දා යැවුවෙ ඔහුගේ එක ම පුතා හින්ද නො වෙයි. ඒ පුතා කිසිම නොපණත්කමක් කළ බවට සාක්‍ෂියක් නැහැ. මහින්දත් ගෝඨාභයත් අවසන් වශයෙන් ඉවත් කෙළෙ සිංහල බෞද්ධත්වය වෙනුවෙන් ඔවුන් යමක් කළ බැවින්. පරගලය ආර්ථික අර්බුදය දඩමීමා කරගෙන බටහිරයන් සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කිරීමට, හැකිනම් දකුණු කොරියාවේ බෞද්ධ සංස්කෘතිය මෙන් නැති කරන්න, කළ දේශපාලන ක්‍රියාවක් පමණයි. එහි සිස්ටම් චේන්ජ් කිවුවෙ ඒ වෙනස ඇති කිරීම මිස වෙනත් දේකට නො වෙයි. අද රනිල් බලන්නෙ සිංහල බෞද්ධයන් රවටා බටහිරයන්ගෙ අවශ්‍යතා ඉටු කිරීමට.

 

මහින්ද හා ගෝඨාභය විවේචනය කිරීමේ දී අප පරෙස්සම් වෙන්න ඕන. අද මහින්දට හා ගෝඨාභයට පහර දෙන්නෙ හොරු කියා අවලාද නගන්නෙ මයිනා කතා කියන්නෙ ඔවුන් යම් ආකාරයකින් සිංහල බෞද්ධත්වය වෙනුවෙන් කටයුතු කළ නිසා. නැගෙනහිර පළාතෙ බෞද්ධ සිද්ධස්ථාන රැක ගැනීමට හා එහි උන්නතිය වෙනුවෙන් පහුගිය කාලයෙ යම් පියවර අරගත්තා. මහින්ද මුල දි විශ්වාස කෙළෙ නැහැ හමුදා ක්‍රියා මාර්ගවලින් බටහිරයන්ගෙ හා ඉන්දියාවෙ අනුග්‍රහය ලැබූ දෙමළ ත්‍රස්තවාදීන් පරාජය කළ හැකි ය කියා. එහෙත් පසුව ඔහු එය කළා. ගෝඨාභය නම් තදින් ම කියා හිටියෙ හමුදා ක්‍රියා මාර්ගවලින් කොටි පරාජය කළ යුතු ය කියා. බටහිරයන් ගෝඨාභය එළෙවුවෙ ඒ නිසා.

 

දේශපාලන බල පුළුවන් කාරකම් යොදා නීිතිය අතට ගන්නෙ අද එය රටේ සාමාන්‍යය බවට පත් වී තියෙන නිසා. අප කී දෙනකු මාර්ග නීති රකිනවා ද? මාර්ග නීිති රකින්නෙ නැහැ කියන්නෙ නීතිය අතට ගැනීමක්. අර නැවතීමේ සංඥා තියෙන හන්දිවල සංඥාව පැත්තකින් තියා කී දෙනකු නවත්තන්නෙ නැතුව යනවා ද? නීිතිය අනුව හරස් පාරෙ වාහනයක් ආවත් නැතත් තම වාහනය නවත්තල තමයි යන්න ඕන.

 

ඇමති පුතාලා, ඥාති පුතාලා කියමු, යාල සංදර්ශන පැවැත්වීම සාධාරණීකරණයකට ලක් කිරීම  නො වෙයි මගේ උත්සාහය. අප කාගෙත් කිල්ලෝටවල හුණු තියෙනවා. සමහරුන්ගෙ හුණු වැඩියෙන් තියෙනවා. බලය පාවිච්චි කරල නීති කැඩීමත් බලයට පැමිණීම සඳහා නීති කැඩීමත් එක ලෙස වැරදියි. නීති කඩපු අය බේරාගන්න නීිති කැඩීමත් වැරදියි. අන්තරේ දිගින් දිගට ම ඒ වරද කරනවා.

 

තමන් දන්නා ඇමතිවරුන්ගෙ ජනාධිපතිවරුන්ගේ ලියුමට විශ්වවිද්‍යාලයේ ආචාර්ය පදවී ලත් අය ඕන තරම් ඉන්නවා. එමෙන් ම ලියුම් අරගෙනත් පදවි ලබා ගැනීමට නොහැකි වූ අයත් ඉන්නවා. පදවි නොලැබීම නිසා ඔවුන් නිදොස් වෙන්නෙ නැහැ. අප කිසිවකු අසඩෙක්ලා නො වෙයි. අප නීිති කඩන්නේ නීතිය රැකීම සඳහා නො වෙයි.