Main Logo

Friday 28 October 2022

වෙසක් කැරොල්

 

වෙසක් කැරොල්

 

තර්ස්ටන් විදුහලේ ඉගෙනීම ලබන අවධියේ ඇතැම් ගුරුවරුන්ට ගුරුවරියන්ව වෙසක් සුබ පැතුම් යැවීම අපේ පුරුද්දක් වුණා. ඇතැම් ගුරුවරුන් යන්නෙන් අදහස් කෙරෙන්නේ අපට ඉගැන්වූ ද ලිපිනය දැන සිටි ද ගුරුවරුන් ගුරුවරියන්. ඔවුන් බෞද්ධ ද අබෞද්ධ ද යන්න ප්‍රශ්නයක් වුණේ නැහැ. වෙසක් උත්සවය කුඩා අපගේ සිත් ගත්තක් වුණා. වෙසක් සැරසිලිවලට අම්මාත් තාත්තාත් අපත් කල් තියා සූදානම් වුණා. මුළු නිවස ම පහන් කුඩු කොඩි දම්වැල් ආදියෙන් අලංකාර වුණා. කුඩා කල වෙසක් පොහොයට මා ද සිල් සමාදන් වුණා.

 

වෙසක් සුබ පැතුම් මෙන් ම භක්ති ගීත ද ක්‍රිස්තියානි සංස්කෘතියෙන් අවශෝෂණය කෙරුණු අංග. එකල භක්ති ගීත වචන කිවුවේ නැහැ. යොදා ගත්තේ කැරොල් යන ක්‍රිස්තියානි සංස්කෘතියේ නම. කැරොල් ගායනා කළ දරු දැරියන් කරත්තයක නැගී ගෙවල්වලට ගියා. ඔවුන්ට තුටු පඬුරු ද ලැබුණා.

 

මෙවැනි සංස්කෘතිකාංග හුදු අනුකරණයෙන් ක්‍රිස්තියානි නූතනත්ව සංස්කෘතියෙන් ලබා ගත් දේ නොවෙයි. ඒ අවශෝෂණයක් වුණා. අද භක්ති ගී නම ම කැරොල් යන්න වෙනුවට යොදා ගැනෙණවා. ගීත ගයන්නේ ක්‍රිස්තියානි සම්ප්‍රදායේ නො වෙයි. ක්‍රිස්තියානි සම්ප්‍රදායේ පල්ලි ආභාසයක් ඒ ගීතවල නැහැ. එමෙන් ම ගායක ගායිකාවන්ගේ ඇඳුම්වල ද ක්‍රිස්තියානි ලක්‍ෂණ නැහැ.

 

බටහිර ක්‍රිස්තියානි නූතනත්වය පහළොස්වැනි සියවසේ යුරෝපයේ ඇති වූ චින්තන විප්ලවයේ ප්‍රතිඵලයක්. බටහිර විද්‍යාවේ පියා හා බාප්පා ලෙස සැලකෙන ගැලීලියෝ හා නිවුටන් දහසයවැනි දහහත්වැනි සියවස්වල ජීවත් වූවන්. ධනපති ක්‍රමයත් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයත් ඒ චින්තන විප්ලවයේ ම විකාශයේ ප්‍රතිඵල. ඒ චින්තනය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයයි. එය කතෝලික චින්තනය පරාජය කිරීමෙන් ඇති වුවක්. ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්නනයෙ ග්‍රීකයන්ගෙන් ගත් ඇරිස්ටෝටලීය න්‍යාය හා රේඛීය චින්තනය ද යුදෙව් සංස්කෘතියේ වියුක්තය ද ක්‍රිස්තියානි පෞද්ගලිකත්වය ද තව තවත් අංග ද ඇතුළත්.  

 

කතෝලික චින්තනයේ ප්‍රධාන වන්නේ සාමූහිකත්වය. එහෙත් ක්‍රිස්තියානි චින්තනයේ පෞද්ගලිකත්වය ප්‍රධානයි. 1517 පෝසටර ඇල වූ මාටින් ලූතර් පූජකවරයා පාප්වහන්සේට විරුද්ධව කටයුතු කර දෙවියන් වහන්සේ පෞද්ගලිකකරණයකට ලක් කළා. සැම තැනම සිටින දෙවියන් වහන්සේට යැදීමට පල්ලිවලට සාමූහික ව එකතු විය යුතු නැති බව ඔහු ප්‍රකාශ කළා.

 

බටහිර යටත්විජිතවාදය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ ප්‍රතිඵලයක්. යටත්විජිතවාදය ධනපති ක්‍රමයට පෙර ඇති වුවක්. පෘතුගිසීන් හා ස්පාඤ්ඤයන් ලෝකය බෙදා ගැනීමට කටයුතු කෙළේ ධනවාදයටත් බටහිර විද්‍යාවටත් පෙර. පාප් වහන්සේ දැන නොසිටින්න ඇති ලෝකය පෘතුගීසීන්ට හා ස්පාඤ්ඤයන්ට බෙදා දෙන විට කතෝලික චින්තනයට එයින් සිදුවන හානිය ගැන. එකලත් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ඉතාලියේත් යම් පමණකින් පැතිරී තිබුණා. වෙනත් චචනවලින් කියනවා නම් කතෝලිකයන්ට ද නව චින්තනය යම් පමණකින් ගිහින් තිබුණා.

 

අපට බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ලැබුණේ යටත්විජිතවාදයේ ප්‍රතිඵලයක් ලෙස. එය අපේ නිර්මාණයක් නො වෙයි. එය අප මත බලෙන් පටවන ලද්දක්. මෙරට නූතනත්වයේ වර්ධනයක් ගැන කියන්න බැහැ. මෙරට ඇත්තේ අප මත පටවන ලද බටහිර ක්‍රිස්තියානි නූතනත්ව අංග කිහිපයක් සුළු පරිමාණයෙන් බටහිරයන්ට සාපේක්‍ෂ ව විකෘත තත්වයකින් ලබා ගැනීම පමණයි. බොහෝ විට ඒ කෙරී ඇත්තේ පඬි නැට්ටන්ගේ අනුකරණ ලෙස.

 

අවශෝෂණයක් කෙරී ඇත්නම් ඒ සාමාන්‍ය මිනිසුන් අතින්. භක්ති ගී වෙසක් සුබ පැතුම් කවුරුන් හඳුන්වා දුන්නත් මෙරට පඬි නැට්ටන් නොවන සාමාන්‍ය වැසියන් ඒ තමන්ගේ බවට පත් කරගෙන තියෙනවා. එහෙත් අපට ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය අධ්‍යාපනය ආදිය අපේ කර ගන්න බැරි වෙලා තියෙනවා. එයට ප්‍රධාන හේතුව ඒ පඬි නැට්ටන් හරහා සිදු වීමයි. අද පවතින ආර්ථික  අර්බුදයත් බටහිර ආර්ථික අර්බුදයේ ම කොටසක්. එය මෙරට විකෘත අධ්‍යාපනය හා පාර්ලිමේන්තු ක්‍රමය මගින් වඩා දරුණු ලෙස අපට බලපානවා. පඬි නැට්ටන්ට අවශෝෂණය බැහැ. ඔවුන් දන්නේ විකෘත අනුකරණයක් පමණයි.

 

ලන්දේසින් කුලය පදනම් කර ගෙන පටන් ගත් කුල පාසල් ඉංගිරිසින් පාසල් කුල බවට පත් කර තියෙනවා. මේ පාසල් හා විශ්වවිද්‍යාල එංගලන්තයේ පාසල්වල හා විශ්වවිද්‍යාලවල විකෘත ආකෘති පමණයි. ප්‍රභූ පාසල් විකෘත ඉංගිරිසි පාසල්. තර්ස්ටන් විදුහලත් රාජකීය විදුහලත් එවැනි පාසල්. ඒ පාසල් අනුකරණය කරන අනෙක් පාසල් දෙවැනි තුන්වැනි හතරවැනි ගණවල විකෘත පාසල්. අපේ කියන විශ්වවිද්‍යාලවල අති විශාල බහුතරයක් කිසිම නිර්මාණශීලිත්වයක් නැති ගුරුවරුන්. ඉන් බිහි වූ කිසිම ආර්ථික විද්‍යාඥයකුට ආර්ථික අර්බුදයට විසඳුමක් දෙන්න පුළුවන් ද? පඬි නැට්ටන්ට කළ හැක්කේ බටහිර අච්චුවට මෙරට දත්ත කැපීම පමණයි. ඔය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරිපත් කර ඇති එක සංකල්පයක් ප්‍රවාදයක් කියන්න පුළුවන් ද?

 

මා මෙහි කියන්නේ මගේ අත්දැකීම්. නූතනත්වය අපට ලැබුණේ ලැබෙන්නේ රෝගයක් ලෙස. ඒ රෝගයට ප්‍රතිකාර අවශ්‍යයයි. මටත් ලැබුණේ අනුකාරක අධ්‍යාපනයක්. එහෙත් වත්මන් මා ඉන් බිහි වූයේ නැහැ.