Main Logo

Thursday 11 January 2018

කවුද හොරා

කවුද හොරා


කවුද හොරා යනුවෙන් අසන ප්‍රශ්නය වැදගත් නැහැ. අහන්න ඕන කවුද හොරා නොවන්නේ කියා. අප බොහෝ දෙනා සුදනන් ලෙස පෙනී සිටින්නන් පමණයි. අප කරන්නේ අනෙක් අයගේ වැරදි පෙන්වීම පමණයි. මා නරක මිනිසකු බව මා දන්නවා. මගේ ද්වේෂය ගැන නොදන්නා අයකු නැහැ. ඒ ගැන බොහෝ දෙනා දන්නවා. ඒත් මා පන්සිල් රකිනවා. මෙරට පන්සිල් රකින බෞද්ධයන් කී දෙනකු සිටිනවා ද කියා මා දන්නවා.

මුහුණු පොතේ පඬියන්ට අනුව මා දේශපාලනය දන්නේ නැහැ. ඒත් එකල නම් ඒ අය කීවේ මා දේශපාලනය දන්නා බවයි. චම්පකගේ අවස්ථාවාදය ගැන මා කියා ඇත්තේ අසුගණන්වල සිට. ඒ බවට එකල ජනතා මිතුරෝ සංවිධානයේ අය සාක්‍ෂි දරාවි. අවශ්‍ය නම් මට ඒ අයගේ නම් කියන්න පුළුවන්. අද මා දේශපාලනය දන්නේ නැහැ කියන බොහෝ දෙනා ජනතා මිතුරෝ ගැන අසාවත් නැතිව ඇති. මා ජ වි පෙරමුණට විරුද්ධ වූයේ අද නො වේ. ඒ අතීතය පේරාදෙණිය කාලයට (1967-75) යනවා. දෙමළ ජාතිවාදය ගැන මා කතා කරන්නේ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නො වෙයි. මේ පඬි පෝතකයන් අඩු තරමෙන් ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා පොත කියවා තියෙනවා ද? මුස්ලිමුන් ගැන රාමනාදන් ඔවුන් නියෝජනය කළ බව අබ්දුල් රසික් එයට විරුද්ධ වූ බව හුදු දත්ත ලෙස නොව සංගත කතාවක් ලෙස එහි ඇති බව පඬියන් හා පඬි පෝතකයන් දන්නේ නැහැ. 2015 මැතිවරණයේ දී අද මෛත්‍රිපාලට විරුද්ධ සියලු දෙනා ම පාහේ අපට විරුද්ධව කිව්වේ එකල මෛත්‍රිපාලගේ නායකත්වයෙන් තිබූ සංධානයෙන් තරග කළ යුතු බවයි. අද ඒ අයගෙන් වැඩි දෙනකු පිළිගන්නවා තමන් එදා ගත් තීරණය වැරදි කියා.

අද ඇතැමුන් මා දේශපාලනය දන්නේ නැහැ කියන්නේ රනිල් ඉවත් කිරීමට මෛත්‍රිපාලට ආධාර කළ යුතු යැයි මා කියන නිසා. ඔවුන් ජනතා දේශපාලනයෙන් රනිල් පන්නමු ආදී බොරු පුරාජේරු කතා කියනවා. 2020 දී පන්නමු කියනවා. 2018 දී පන්නන්න බැරි නම් මා කියනවා 2020 දී පන්නන්න බැහැ කියා. ඒ වන විට රනිල් තවත් බලවත් වේවි. ඒ බලවත් වීම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයකට වෙන එකක් නැහැ. මා දන්නා දේශපාලනය මොකක් ද කියා මේ සියල්ල ප්‍රතික්‍ෂෙප කිරීමට පඬි පෝතකයන් සෑදී පැදී සිටිනවා.

මෙරට දේශපාලනඥයන් ගැන මගේ විශ්වාසයක් නැහැ. ඒත් මා දන්නා එක් කරුණක් තියෙනවා. රනිල් සිංහල බෞද්ධයනට විරුද්ධ සිංහල බෞද්ධ සංස්කෘතිය නැසීමට උපන් අයකු බව. 2015 දීත් අපට අවශ්‍ය වූයේ ඔහු බලයට පත්වීම වැළැක්වීමට. අද අපට අවශ්‍ය වන්නේ  ඔහු බලයෙන් ඉවත් කිරීම. අද එය කළ හැක්කේ ඊනියා ජනතා නැගිටීම්වලට නොවෙයි. ජනතා නැගිටීමක් වුණත් එය මර්දනය කරන්නේ කෙසේ ද කියා රනිල් දන්නවා. අද රනිල් ඉවත් කළ හැක්කේ මෛත්‍රිපාලට පමණයි. දැන් ඒ සඳහා කදිම අවස්ථාවක් පැන නැග තියෙනවා. මෙහි දී මෛත්‍රිපාලගේ ද්‍රෝහිකම් ගැන කතා කිරීමෙන් සිදු වන්නේ රනිල් බලය තහවුරු කර ගැනීම පමණයි. මහින්ද දූරදර්ශි පරමාදර්ශී දේශපාලනඥයකු ලෙස සිතන්නත් එපා.

ඊයේ පාර්ලිමේන්තුවේ සිදු වූ ගාලගෝට්ටියට ඒකාබද්ධ විපක්‍ෂය ද වග කිව යුතුයි. එයට මූලික වරදකරුවා කරූ ජයසූරියයි. ඔහු රනිල්ගේ පදයට නටනවා. මෙතෙක් සිටි දුර්වල ම කතානායක ඔහු. සමහර විට ලෝකයේ ම එතෙක් මෙතෙක් සිටි දුර්වල ම කතානායක ඔහු විය හැකියි. ඔහු ඊයේ කිසිසේත් ම රනිල්ට ප්‍රකාශයක් කිරීමට ඉඩ දිය යුතු ව තිබුණේ නැහැ. රනිල් ඊයේ ප්‍රකාශය කෙළේ ඒකාධිපති බලතල යොදා ගෙන, කරු ජයසූරිය යට කර ගෙන. තව ටික කලක් බලයේ සිටියොත් රනිල් කෙසේ වැඩ කරාවි ද? ඔහු දිනෙන් දින පාර්ලිමේන්තුව විහිළුවක් බවට පත් කරනවා. ඊයේ ඔහු සටන් පාඨ කිව්වේ අනෙක් මන්ත්‍රීවරුන්ට තමන් අනුව කෑ ගසන මෙන් කියමින්.

අපට බටහිර කිසිම දෙයක් හරියට කරන්න බැහැ. ඒකාබද්ධ විපක්‍ෂය බැඳුම්කර වාර්තාව ගැන විවාදයක් ඉල්ලුවේ වාර්තාව නොදැක. ඔවුන්ට අවශ්‍ය ම නම් කළ යුතුව තිබුණේ ජනාධිපතිගේ ප්‍රකාශය ගැන විවාදයක් ඉල්ලීමට. එහෙත් ඔවුන් තමන් නොදුටු වාර්තාවක් ගැන විවාදයක් ඉල්ලුවා. විවාදය ඉල්ලීමෙන් පසුවයි මතක් වුණේ වාර්තාව දැක නැති බව! රනිල් ඒකාබද්ධ විපක්‍ෂය වැඩ වරද්දා ගෙන ඇති බව දැන ඔහු ම විවාදයක් ඉල්ලුවා. ඔහුට අවශ්‍ය වූයේ වාර්තාව හැකි ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරවා ගැනීමට. එයට හේතුවක් තියෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව එය කතානායක යටතට පත් වෙනවා. කතානායක ඉන්නේ රනිල් යටතේයි.

පක්‍ෂ නායකයන් රැස් වී වාර්තාව ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිට කියලා. එහෙත් ජනාධිපතිගෙන් අසා නැහැ එය එසේ ඉදිරිපත් කිරීමට පුළුවන් ද කියා. ජනාධිපති කතානායකට දන්වා ඇත්තේ සතියක් ඇතුළත වාර්තාව ඉදිරිපත් කරන්නම් කියා. ඊයේ මෛත්‍රිපාලගේ එක් ඇමතිවරයකු කියා සිටියා එයට සතියක් පමණ කල් ගත වන්නේ ඇයි ද කියා. ඔහු කියා සිටියේ වාර්තාව පළමුව මහා බැංකුවටත් දූෂණ හා අල්ලස් පිළිබඳ කොමිසමටත් යැවිය යුතු ය කියා. රනිල් එයට විරුද්ධ ව පක්‍ෂ නායක රැස්වීමේ දී කතා කරලා. ඔහු කියා ඇත්තේ එය ක්‍රම විරෝධි බවයි. මහා බැංකුව තමා යටතේ ඇති බව ඔහුට නැවත මතක් වෙලා. ඔහු කියන විධියට, එහෙම නම්, බැඳුම්කරය පිළිබඳ ප්‍රශ්නයේ දී ඔහු ප්‍රධාන වගඋත්තරකරු. ඔහු තවත් කියා ඇත්තේ අල්ලස් කොමිසම පාර්ලිමේන්තුව යටතේ තිබෙන බැවින් වාර්තාව පළමුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි. එහෙත් මෛත්‍රිපාලගේ ඇමති නොකියා කියන කතාව නම් එසේ පාර්ලිමේන්තුවට පළමුව ඉදිරිපත් කළොත් රනිල් චෝදනාවලින් ගැලවීමට මගක් යොදා ගන්නා බවයි. එය සවිස්තර ව කියන්නේ නම් අපට වැදගත් වේවි.

අද කළ යුත්තේ රනිල්ට ගැල වී යෑමට ඇති සිදුරු වසා දැමීමයි. මා හිතන්නේ නැහැ ජී එල් පීරිස්ට කෙසේ වෙතත් දිනේෂ් වාසුදේව වැන්නන්ට එය ප්‍රශ්නයක් කියා. ඔවුන් ඒ ගැන පැහැදිලි මතයක ඉන්න බවක් පේන්න තියෙනවා. ඔවුන් ප්‍රශ්නය කතානායක හා පාර්ලිමේන්තුව අතර ප්‍රශ්නයක් ලෙස දැක්කා. කොමිසම් වාර්තාව ඉක්මණින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය ව ඇත්තේ රනිල්ට හා අනුර කුමාරට. ඔවුන්ට අර අනෙක් වාර්තා තිස්හතරත් අවශ්‍යයයි. අනුර රනිල්ට විරුද්ධ බව පෙන්වමින් රනිල් කියන දේ වෙනත් ආකාරයකට කියනවා. සමහර විට එය ඊනියා අපෝහකය (දයලෙක්තිකය) වෙන්න පුළුවන්.  වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපතිට කියන අතර රනිල්ට ගැලවී යෑමට ඇති අවස්ථා නැති කළ යුතුයි.

ඊයේ ගාලගෝට්ටිය සම්පූර්ණයෙන් ම රනිල් තම ඒකාධිපති බලතල යොද ගෙන ඊනියා ප්‍රකාශයක් කිරීම නිසා හටගත්තක්. ඒකාබද්ධ විපක්‍ෂය නිසියාකාරව කටයුතු කළ යුතුයි. නොඑසේ නම් ඔවුන් ද නොදැනුවත් ව රනිල් බලය තහවුරු කර ගන්නවා.   


______________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-01-11