Main Logo

Sunday 14 January 2018

අදහස් වෙනස් වීම

අදහස් වෙනස් වීම


මිනිසුන් දේශපාලනයේ දී ආගමේ දී පමණක් නොව ගණිතය භෞතික විද්‍යාව වැනි ක්‍ෂෙත්‍රවලත් කටයුතු කරන්නේ හැඟීම් මත පදනම් වෙලා. මේ සෑම ක්‍ෂෙත්‍රයක ම සත්‍යය, ඇත්ත ගැන යම්කිසි නිර්වචනයක් තියෙනවා. ගණිතයේත් එනම් සුද්දන් කියූ විධියට ශුද්ධ ගණිතයේත් යම් ප්‍රමාණයකට වුවත් ඇත්තක් ගැන කියැවෙනවා. ව්‍යවහාරික ගණිතයෙහි ඇත්ත ගැන රඳා පැවැත්ම ශුද්ධ ගණිතයට වැඩියි. අප සියළු දෙනා ම මෙන් අප ඇත්ත දන්නා බව හිතනවා. අනෙක් අය ඇත්ත නොදන්න බව හිතනවා. මාත් එහෙමයි. එහෙත් බොහෝ දෙනා තම තමන් ගැන ඒ බව පිළිගන්නේ නැහැ.

අද රටේ රූපවාහිනී නාළිකා කොපමණ වාද විවාද ප්‍රචාරය කරනවා ද? මේ වාද විවාදවලට සහභාගි වන්නන් මෙන් ම ඒ නරඹන්නන් ද අනෙකාගේ අදහස් ඇත්ත ලෙස පිළිගන්නවා ද? පිළිගැනීම කෙසේ වෙතත් වෙනත් අයකුගේ අදහස්වලට සැලකිල්ලෙන් සවන් දීමටවත් කී දෙනකුට සිතෙනවා ද? මිනිසුන් තම අදහස් වෙනස් කර ගන්නේ නැතැයි මා කියන්නේ නැහැ. එහෙත් ඒ අවබෝධයකින් කරන්නේ ඉතාමත් සුළු පිරිසක් විය යුතුයි. තමන් ඇත්ත දන්නේ ය යන හැඟීම බොහෝ දෙනා නැති කර ගන්නේ නැහැ.

එහෙත් ඇත්ත කියන්නේ කුමක් ද කියා ඇසුවොත් දෙන පිළිතුර කුමක් ද? සත්‍යය කියන්නේ කුමක් ද? සත්‍යය දන්නේ කවු ද? කවුරුත් සත්‍යය දන්නවා. එහෙත් හැමෝම දන්නේ එකම සත්‍යය නො වෙයි. එහෙම සත්‍යයක් තියෙන බවත් බොහෝ දෙනා කියනවා. එයට පරම සත්‍යය වගේ නම් යොදා ගන්නවා. ප්‍රශ්නය පරම සත්‍යයන් ද රාශියක් තිබීමයි.

අප ඉඳහිට හරි ආගම වෙනස් කරන්නේ ඇයි? එක් සත්‍යයකින් වෙනත් සත්‍යයකට මාරු වන්නේ ඇයි? අවබෝධයක් නිසා ද? විශ්වාසය කඩ වීමක් නිසා ද? වරප්‍රසාද ලබා ගැනීමට ද? බයට ද? අධ්‍යාපනයක් ලබා ගැනීමට ද? පහුගිය අවුරුදු පන්සීයක පමණ කාලයක මෙරට මිනිසුන්ගේ අදහස් වෙනස් වුණේ කෙසේ ද? අනපේක්‍ෂිත සිද්ධීන් නිසා ද? බෞද්ධයන් ආගමෙන් ද පසු කලෙක සංස්කෘතියෙන් ද ක්‍රිස්තියානි/කතෝලික වූයේ කෙසේ ද? එහි දී සංස්කෘතික ආධිපත්‍යයෙහි බලපෑම කෙතෙක් වී ද? ඊනියා සිංහල බෞද්ධ අධිපතිවාදයක් ගැන කියන්නන්ට කිසි දිනෙක යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයක් ගැන නොසිතෙන්නේ ඇයි? ආධිපත්‍යයක් යටතේ හැදෙන අයකුට ආධිපත්‍යය තේරෙනවා ද? වහලාට තම වහල්කම ගැන අවබෝධයක් නැති බවට කතාවක් තියෙනවා. මෙරට උගතුන් හා වහලුන් අතර වෙනස කුමක් ද

බටහිර විද්‍යාවේ හැරෙන්නට අනෙක් ක්‍ෂෙත්‍රවල වියුක්ත දැනුම ඇත්තේ ඉතා අඩුවෙන්. සිතෙන් මවාගත නොහැකි දෙවියන් වහන්සේ වියුක්ත වුවත් එසේ වියුක්තව ගන්නේ ඇතැම් යුදෙව්වන් පමණක් ය යන්න මගේ විශ්වාසයයි. අනෙක් අයට දෙවියන් වහන්සේ ගැන ඇත්තේ යම් පමණකට හරි සංයුක්ත හැඟීමක්. යුදෙව්වන් අතරත් අනාගත වක්තෘන් සමහරකුටවත් දෙවියන් වහන්සේ සමග සංයුක්ත ව සංනිවේදනය කර තිබෙනවා. එහි තරමක පරස්පරයක් තියෙනවා. සිතෙන්වත් මවාගත නොහැකි දෙවියන් වහන්සේ කෙනකු සමග සංනිවේදනය කරන්නේ කෙසේ ද? නාථ දෙවියන් වියුක්ත දෙවි කෙනකු නොවන බව අපට හිනැහෙන ප්‍රබුද්ධයන්ගේ දැන ගැනීම සඳහා කිව යුතුයි. මට බැරි වුවත් නාථ දෙවියන් සමග සංනිවේදනය කළ හැකියි.

ක්‍රිස්තුස් වහන්සේත් මහමත්තුමාත් අනාගත වක්තෘන් ලෙස බොහෝ විට සැලකෙනවා. කතෝලික ආගමත් ඉස්ලාම් ආගමත් යුදෙව් ආගම මෙන් වියුක්ත නැහැ.  ක්‍රිස්තියානින් කතෝලික ආගමෙන් වෙන් වී  යුදෙව් ආගමට සමීප නොවන්නට බටහිර විද්‍යාව, විශේෂයෙන් ම බටහිර භෞතික විද්‍යාව වියුක්ත පද්ධතියක් ලෙස මෙතරම් වර්ධනය වන්නේ නැහැ. මාටින් ලූතර් නොවන්නට ගැලීලියෝ හා නිව්ටන් නැහැ. නිව්ටන් දෙලොවක ජීවත් වූ බව මා කලකට පෙර ලියා ඇති. මට ඒ ලිපි හොයා ගන්න බැහැ. ක්‍රිස්තියානි ආගමේ දෙවියන් වහන්සේ පෞද්ගලික දෙවියන් වහන්සේ කෙනෙක්. යුදෙව්වකු වූ අයින්ස්ටයින් ද කතා කෙළේ පෞද්ගලික දෙවි කෙනකු ගැන. ඒ වියුක්ත ව. ඔහු දැන සිටි බුදුදහමක් නැහැ. මෙරට බෞද්ධයන් නම් බුදුදහමට අයින්ස්ටයින්ගෙන් ද සහතික ලබා ගන්නවා.

සංයුක්ත අදහස්වලට වඩා වියුක්ත අදහස් වෙනස් කර ගැනීම තරමක් පහසුයි. සංයුක්ත අදහස් අප සමග හුඟක් බැඳිලා. ඒ අදහස් මගේ අදහස් බවට පත්වෙලා. අප කවුරුත් වගේ මගේ කමට කැමතියි. මා කැමති මගේ දරුවන්ට. ඉන්පසු මගේ සහෝදර සහෝදරියන්ගේ දරුවන්ට. ඇතට යන්න යන්න මගේ කම සමග බැඳීම් ද අඩුවෙනවා. ඒ වගේමයි අදහස්. මා මගේ අදහස් සමග බැඳී ඉන්නවා. අදහස් මගේ ම නිර්මාණ නම් බැඳීම ඉතා වැඩියි. බටහිර භෞතික විද්‍යාව ඉතිහාසයට වඩා වියුක්ත වුවත් එහි ද අදහස් වෙනස් කිරීම එතරම් පහසු නැහැ. පුබුදු ජාගොඩට, චම්පක රණවකට හා කාලෝ ෆොන්සේකාට පසුව ලෝකයට ක්වොන්ටම් සංකල්පය හඳුන්වා දුන් සුප්‍රසිද්ධ මැක්ස් ප්ලෑන්ක් වරක් පැවසුවේ භෞතික විද්‍යාවේ අදහස් වෙනස් වන්නේ පුද්ගලයන් තම අදහස් වෙනස් කර ගැනීමෙන් නොව නව අදහස් ඇති නව පරපුරක් බිහි වීමෙන් පසුව බව.

බටහිර භෞතික විද්‍යාවේත් තරම එසේ නම් දේශපාලනයේ හා ආගමේ අදහස් වෙනස් වීම ගැන කිව හැක්කේ කුමක් ද? මේ සියල්ල පසුපස මට කියන්නට ඇත්තේ මෛත්‍රිපාල හා මහින්ද ගැන ඇති අදහස් පිළිබඳ ප්‍රශ්නයයි. මෙය වියුක්ත කරුණක් නො වෙයි. අපට මහින්ද ගැන මෙන් ම මෛත්‍රිපාල ගැනත් යම් යම් අදහස් තියෙනවා. මහින්ද ගැන ඇත්තේ නන්දිකඩාල් ජයග්‍රහණය සමග ඇති වූ අදහස්. 2005ට පෙර හා 2005-2007 අතර මහින්ද ගැන දන්නේ මොනවා දමෛත්‍රිපාල ගැන ඇත්තේ ආප්ප රාත්‍රියෙන් පසු හා එයටත් වඩා 2015 ජනවාරි අටවැනි දා මහින්දගේ පරාජයත් සමග ඇති වූ  අදහස්. ආප්ප කෑවත් එදා මහින්ද දිනුවා නම් බොහෝ දෙනාට මෛත්‍රිපාල ගැන වෛරයක් ඇති වන්නේ නැහැ. සරත් ෆොන්සේකාත් මහින්දට විරුද්ධ ව  පොදු අපේක්‍ෂකයකු වුණා. ඔහු එ ජා ප සාමාජිකයකු වෙලා. එහෙත් ඔහු කෙරෙහි මෛත්‍රිපාල කෙරෙහි ඇති වෛරය හා විරෝධය නැහැ. ඒ සරත් ෆොන්සේකා පැරදුණ නිසා. අපේ අදහස් වෙනස් වන්නේ ඇතැම් විට අනපේක්‍ෂිත සිදුවීම් සමග. 2014 නොවැම්බරයට පෙර මෙරට මෛත්‍රිපාල කෙනකු හිටියෙ නැති තරම්. එහෙත් අද ඔහු ඉතා විශාල පිරිසකගේ වෛරයට පාත්‍ර වෙලා. අප මොනවා කිව්වත් අපට රටට වඩා පුද්ගලයන් (හා පක්‍ෂ) වැදගත්.

අද පුවත්පත්වල මංගල අගමැති කිරීමක් ගැන සඳහන් වෙනවා. කලක් තිස්සේ තිබූ මෙය අති භායානක දෙයක්. ඒ ගැන හැකි වුණොත් හෙට කතා කරමු. රට ගැන අබමල් රේණුවකවත් හැඟීමක් ඇත්නම් මංගල අගමැති නොකළ යුතුයි.     


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-01-14