Main Logo

Thursday 4 January 2018

මෛත්‍රිපාලගෙ මොට්ට කඩුව

මෛත්‍රිපාලගෙ මොට්ට කඩුව


මෛත්‍රිපාල කඩුව වනලා. කවුරුන්වත් කැපිලා නැහැ. රනිල් හිනහවෙවී ඉන්නවා. අනුර කුමාර බලනවා ඇයි මහින්ද කැපිලා නැත්තෙ කියලා. මහින්ද අසරණ වෙලා ඒත් කැපිලා නැහැ. රවි කැපෙයි කියලා ටිකක් ඈතට වෙලා හිටිය කල් ඇතුව ම. රවි තාම දන්නෙ නැතිව ඇති ගේ හම්බ වුණෙ කොහොමද කියලා. රවිට තියෙන්නෙ බැසිල්ගෙන් අහන්න මගේ ම නොවන මගේ ගේක ඉන්නෙ කොහොමද කියලා. රවිගේ නෝනාට බැසිල්ගෙ නෝනාගෙන් අහන්න පුළුවන් අනුන්ගෙ ගෙවල්වල කිරි උතුරවන කොට වතුර වීදුරුව අරන් එන්නෙ කොහොමද කියලා.

අර්ජුන ඇලෝෂියස් කඩුවෙන් කැපිලා නැහැ. මොට්ට කඩුවකින් කැපෙන්නෙ කොහොම ද? ඇඟ ටිකක් තැලිලා ඒත් තෙල් ටිකක් ගෑවම ඒක හරියයි. අර ඉංගිරිසි කියමනක් තියෙනවා අල්ලෙ තෙල් ගානව කියලා. අර්ජුන් මහේන්ද්‍රන් මාමා කියලා දෙයි මොන තෙල් ද ගාන්නෙ කියලා. මහේන්ද්‍රන් කඩුව උඩින් පැනලා. හැත්තෑ වසරක හොඳම නාට්‍යය ඉවරයි. ගම්මන්පිළ ටිකක් බොරුවට කෑ ගහයි. ඩලසුත් විමලුත් එහෙමයි. ඔවුනුත් හොඳ නාට්‍යකරුවන් තමයි.

ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට වගේ ජනමාධ්‍යවලට නම් වාසියි. කොමිසම් වාර්තාව කියවන්නෙ නැතිව ඒකෙ තියෙන ඒවා කියන්න ඔවුන්ට පුළුවන්. මෙච්චර මුදලක් නැති වුණාය කියා හඳුන්නෙත්ති බෙරිහන් දෙන විට ජනමාධ්‍යවල ඒකට ප්‍රචාරය ලැබේවි. ඒත් කෝප් වාර්තාවෙනුත් රනිල් වරදකරුවකු වුණෙ නැහැ. රනිල් හැමදාමත් මිස්ටර් ක්ලීන්. ක්ලීනින් මිස්ටර්ලා ඉන්නෙ ජ වි පෙරමුණේ ද? අර තකහනියක් බරපතල වංචා දූෂණ කොමිසමේ වාර්තාවත් නිකුත් කරන්න කිව්වෙ මොක ද කියලා විජේවීරගෙන්වත් අහගන්න විධියක් නැහැ.

බැඳුම්කරයෙන් රුපියල් මිලියන එකොළෙස් දහසක් නැතිවෙලාලු. එයින් මිලියන අටදහසක් විතර මහජන මුදල් කියලා කියනවා. අඩු තරමෙන් ඒ මුදලවත් හම්බ වෙනවා නම් හොඳයි. ඒත් සාමාන්‍ය මිනිසුන්ට මේ මිලියන ගණන් ඇඟට තේරෙනවා ද? ඇඟට දැනෙනවා ද? මට නම් දැනෙන්නෙ නැහැ. මේ ලියන මොහොතෙ මට ගී මතකයෙන් අමිතා වැදිසිංහ ගයන බැද්ද පුරා ගීතය ඇසෙනවා. එය මගේ ඇඟට දැනෙනවා. මට පියසිරි විජේරත්න මතක් වෙනවා. සුනිල් ශාන්ත ලඝු අක්‍ෂර දිර්ඝ කරන්නෙ නැති බව අපට කියලා දුන්නෙ ඔහු. කොළඹ විශ්වවිද්‍යාලයෙ ගවේෂකයො පියසිරි විජේරත්නට උපහාර පිරිනැමුවා.

මිලියන කියන එක අපේ සංස්කෘතියෙ නැහැ. සිංහලයට මිලියන එකතු වෙලා වැඩි කලක් නැහැ. ඒ එකතු වුණු කාලෙ මිලියන තුනක් කියන එකට දස ලක්‍ෂ තුන කියලා කිව්වා. ඒක තුන් තිස් පැය වගේ කතාවක් නො වෙයි. එහෙම නම් තුන් දස ලක්‍ෂ කියන්න ඕන. එහෙම කියන්නත් බැහැ. ඒ නිසා දස ලක්‍ෂ ව්‍යවහාරය අයින් වෙලා මිලියන ම ව්‍යවහාර කරන්න පටන් ගත්තා. ඒත් ඒක ඇඟට දැනෙන්නෙ නැහැ. මිලියන එකොළොස් දහස ඉංගිරිසි සංස්කෘතියෙ දැනුනත් සිංහල සංස්කෘතියෙ දැනෙන්නෙ නැහැ. ඒක කෝටි එක්දහස් එක්සීයක් කිව්ව නම් තරමක්වත් තේරෙන්න තිබුණා.

බැඳුම්කරය කොහොමටත් සාමාන්‍ය මිනිසුන්ට දැනෙන්නෙ නැහැ. එය නගරාශිත මධ්‍යම පාංතික අයට නම් හොඳයි. මෛත්‍රිපාල කොමිසම පත් කිරීමෙන් හා රනිල් මිස්ට ක්ලීන් වීමෙන් නගරවල නම් ඔවුන් දෙදෙනාට ඡන්ද ටිකක් වැඩිවේවි. එහෙත් එහි බලපෑම සමස්තයක් ලෙස ගත්ත ම අල්පයි. අවසානයේ දී ඇලෝෂියස්ගෙන් මුදල් ආපහු ගන්න පුළුවන් නම් හොඳයි. ඒත් නීතියෙන් ඒක කරන්න කල් යනවා. පාර්ලිමේන්තුවේ පනතක් ගෙනල්ලා මුදල් අය කර ගනීවි කියලා හිතන්න බැහැ. රවිට ඇලෝෂියස් අල්ලස් දුන්න කියලා ඔප්පු කරන්න පුළුවන් ද? රවි අල්ලසක් අරන් කුමක් දෙන්න ද? ඔහු එකල මුදල් ඇමති නො වෙයි. නීතිය (බටහිර) බූූරුවෙක් කියලා කතාවක් තියෙනවා.

එකල මුදල් ඇමති රනිල්. රනිල් අර්ජුන් මහේන්ද්‍රන් ගැන විශ්වාසයක් තැබීම වරදක් ද? විශ්වාසය නෛතික ව වරදක් වන්නේ නැහැ. එහෙත් රනිල් මුල සිට ම ක්‍රියා කළ ආකාරය සැකයට තුඩු දෙනවා. ඔහු මහේන්ද්‍රන් පත් කළා පමණක් නොව බැඳුම්කර කතාව කරළියට ආවම ඒ ගැන හොයන්න කියලා නීතිඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කරා. කමිටුවට අනුව වැරැද්දක් වෙලා නැහැ. මහේන්ද්‍රන් බැංකු තොරතුරු පිටට දීලත් නැහැ. කොමිසම නම් එහෙම කියනවා. ඊට පස්සෙ ඩිව් ගුණසේකර කෝප් කමිටු වාරතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඔන්න මෙන්න තියෙද්දි මෛත්‍රිපාල පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. මෛත්‍රිපාල එදා බේරුවෙ කාව ද? ඔහු අද කරන්නෙ මොකක් ද? රනිල් පාර්ලිමේන්තුවෙ ප්‍රකාශ කරමින් අර්ජුන්ලා සුද්ද කළා.

නීතිපතිට වාර්තාව ගැන මුකුත් කරන්න බැහැ. මෙය ජනාධිපති කොමිසමක්. ජනාධිපති කළ යුත්තෙ කුමක් ද යන්න පිළිබඳ ව නීතිපතිට නිශ්චිත උපදෙස්  දෙන්න ඕන. අවශ්‍ය උපදෙස් ලැබෙනකන් නීතිපති මුකුත් කරන එකක් නැහැ. වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් අලුත් දෙයක් දැන ගන්න පුළුවන් වෙයි ද කියන එක ප්‍රශ්නයක්.

හඳුන්නෙත්තිගෙ වාර්තාවෙත් රනිල් වරදකරුවකු වෙලා තිබුණෙ නැහැ. ඒ කොහොම වුණත් මහජන මුදල් රුපියල් කෝටි අටසීයක් පමණ නැති වෙලා. ඒ සියල්ලට ම මුල අඩුම තරමෙන් රනිල්ගෙ වැරදි විනිශ්චය. වැරදි විනිශ්චයත් නීතියෙන් වරදක් නොවන්න පුළුවන්. එහෙත් අගමැති වරයකු ලෙස වැරදි විනිශ්චයක් කළ අයකු තව දුරටත් අගමැති පදවියේ කටයුතු කරන එක යහපත් ද? ඔහු ඉල්ලා අස්විය යුතු ද? ඉල්ලා අස්වන්නේ නැත්නම් ඉවත් කළ යුතු ද? ඒ කරන්නේ කවුද? ඒ සඳහා රාජපක්‍ෂලා මෛත්‍රිපාලට උදවු කරනවා ද? රනිල් අගමැති ලෙස පත් කිරීමෙන් හා ඩිව් ගුණසේකර වාර්තාව ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් මෛත්‍රිපාල වරදක් කර ඇත් ද? එය තීරණය කරන්නේ කවුද? ඒකාබද්ධ විපක්‍ෂය ජෙනීවා යයි ද? ඒ ගිහින් කඩුව මුවහත් කර ගන්න පුළුවන් ද? මේ මොට්ට කඩු  නිපදවන්නේම ජෙනීවා ආදී බටහිර නගරවල ද?


______________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු2018-01-04