Main Logo

Tuesday 9 January 2018

බැඳුම්කරය හා ඊනියා ජාතික ආණ්ඩුව

බැඳුම්කරය හා ඊනියා ජාතික ආණ්ඩුව


බැඳුම්කර වාර්තාව හෙට පාර්ලිමේන්තුවේ විවාදයට ලක් වෙනවා. රනිල් එයින් බලාපොරොත්තු වන්නේ තම ඊනියා පිරිසිදු  බව තහවුරු කිරීමටයි. ඔහුගේ සුුදු පිරුවටය රැක ගැනීමට. වාර්තාව විවාදයට භාජනය වන්නේ එය තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවී ඇති අවස්ථාවක. සමහර විට එය හෙට සභාගත කිරීමට ඉඩ තියෙනවා. එහෙම වුණත් නැතත් වාර්තාවට අදාළ එහෙත් වාර්තාවේ නැති වෙනත් කරුණුත් සභාගත කිරීමට මන්ත්‍රීවරුන්ට හැකියි. මේ විවාදයේ දී මෛත්‍රිපාල කණ්ඩායමට වාර්තාව වෙනුවෙන් පමණක් නොව ජනාධිපති වෙනුවෙන් ද පෙනී සිටීමට සිදු වෙනවා. එහෙත් ඔවුන් කුමන ස්ථාවරයක් ගනීවි දැයි නිශ්චිත ව කියන්න බැහැ. වාර්තාව සම්බන්ධයෙන් ඇති ජාත්‍යන්තර බලපෑම් කවරේ ද යන්න ගැන ඉඟියක් විවාදයෙන් ලැබේවි.

මා කලින් කියා ඇති පරිදි කොමිසමට ලබා දී ඇති විධි නියෝගය අසම්පූර්ණයි. එය යම් ආකාරයකින් නමුත් සම්පුර්ණ කර ගැනීමට පාර්ලිමේන්තුවට හැකි විය යුතුයි.  වාර්තාවේ නිර්දේශ අනුව අර්ජුන් මාමා හා බෑණා අවිධිමත් ලාබයක් ලබා ඇති බව පැහැදිලියි. ඒ ගැන කිසිම සැකයක් නැහැ. එහෙත් මෙහි දී කතා නොකෙරන කරුණු තිබෙනවා. මේ මුදලින් අර්ජුන්ලා කළේ කුමක් ද? ඒ මුදල් ආයෝජනය කෙළේ ද? පුණ්‍ය කටයුතුවල යෙදෙව්වේ ද? සුජීව සේනානායකගේ පොත වැරදි ද? රනිල් පළමුවෙන් ම නීතිඥයන්ගේ කමිටුවක් පත් කළා. අර්ජුන්ලා ඉන් නිදහස් වුණා. ඒ කමිටුව ගැන කියන්නේ කුමක් ද?
  
ජනාධිපති ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශවල අගමැති ගැන මෙසේ කියැවෙනවා. “පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශයක් කිරීමේදී ගරු අග‍්‍රාමාත්‍යතුමා මහේන්ද්‍රන් මහතා සහ සමරසිරි යන මහත්වරුන් කෙරෙහි විශේෂයෙන් මහේන්ද්‍රන් මහතා විසින් දෙන පොරොන්දු මත විශ්වාසය තබා ඇති බව වාර්තාවේ සඳහන්  වෙනවා. අග‍්‍රාමාත්‍යතුමා එසේ නොකළ යුතු බවත් එහි සදහන් වී තිබෙනවා.

මෙම කරුණු කෝප් කමිටුව ඉදිරියේද තිබූ හෙයින් මහේන්ද්‍රන් මහතා සම්බන්ධ විධිමත් පියවර නොගත් බවට එතුමා පැහැදිලි කර තිබෙන බව කොමිසන් වාර්තාව සඳහන්  කරනවා.” මෙයින් වෙනත් වචනවලින් කියැවෙන්නේ අගමැතිගේ විනිශ්චය වැරදි බවත් ඔහු මහේන්ද්‍රන් ආරක්‍ෂා කර ඇති බවත්. ඒ වුවත් ප්‍රමාණවත් රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට. එහෙත් එ ජා ප මන්ත්‍රීන්ට නම් රනිල් සුදු පිරුවට හැඳි උපාසක. ජනාධිපති ඉදිරිපත් කළ වාර්තාවේ සුදෝ සුදු රවි ගැන කියැවෙන්නේ මෙයයි.

ඇලෝසියස් පවුලට අයත් සහ ඔවුන්ගේ පාලනයට නතුව තිබූ වෝල්ට් ඇන්ඞ් රෝ සමාගම විසින් පෙන්ට්හවුස්, තට්ටු නිවසකට කුලිය ගෙවීම පිළිබදව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත වගකීම වාර්තාවේ සදහන් වෙනවා. ඔහුට විරුද්ධව අල්ලස්  දූෂණ පනත යටතේ නඩු පැවරිය යුතු බවත්, දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ කොමිසන් සභාවට ඔහු අසත්‍ය සාක්ෂි දීම සම්බන්ධයෙන් ද නඩු පැවරිය යුතු බව මෙම වාර්තාවේ සදහන් වෙනවා.”

මේ ප්‍රකාශ දෙක පිටුපස ඇත්තේත් එ ජා ප මන්ත්‍රීන් කෝප් කමිටුවේ ක්‍රියාකර ඇති ආකාරයෙන් කියැවෙන්නේත් බැඳුම්කර මගඩිය එ ජා පක්‍ෂයට ම වැදගත් වී ඇති අන්දම. මේ දූෂණයේ ප්‍රධාන සැලසුම්කරු සමහර විට විදේශිකයකු විය  හැකියි. එහෙමත් නැත්නම් එ ජා පක්‍ෂයට හිතවත් අයකු විය හැකියි. ඒ කවුරු වුණත් මෙහි දී වැදගත් සාධකයක් කොමිසමට ලැබුණේ නැහැ. දැනට අවුරුදු දෙකකට පමණ පෙර රනිල්ගේ ඥාති සොහොයුරකු වූ රජිව් විජේසිංහ වැදගත් ප්‍රකාශයක් කළා. එය ජනමාධ්‍යයට කළ ප්‍රකාශයක්. ඔහු කියා සිටියේ ජනාධිපතිවරණයෙන් පසු සිරිකොතේ විදුලි බිල ගෙවීමට නොහැකි වී සිටි එ ජා පක්‍ෂයට පාර්ලිමේන්තු මැතිවරණය සඳහා විශාල මුදලක් ලැබුණු බවයි. ඒ මුදල් ලැබුණේ කෙසේ ද? අද එ ජා ප මන්ත්‍රින්ට සියල්ල කැප කර අගමැති ආරක්‍ෂා කිරීමට සිදු වී ඇත්තේ හුදෙක් ඔහු පක්‍ෂ නායකයා වීම පමණක් නිසා ද? ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයට අර්ජුන්ලා බලපා ඇත්තේ කෙසේ ද? රජිව් විජේසිිංහ කොමිසම ඉදිරියට කැඳෙව්වේ නැත්තේ ඇයි? ඔහු අද නිහඬ ඇයි? අර්ජුන්ලා එ ජා ප සමග ගැට ගසන සාක්‍ෂිය ඇත්තේ ඔහුට.

සුදෝ සුදු රවි කරුණානායකට අල්ලස් චෝදනාවක් එල්ල වන්නේ ඇයි. අදාළ කාලයේ දී ඔහු මුදල් ඇමති වුවත් මහා බැංකුව තිබුණේ රනිල් යටතේ. රනිල් තමයි බැඳුම්කර ක්‍රමවේදය වෙනස් කිරීමට මහේන්ද්‍රන්ට උපදෙස් දී ඇත්තේ. බැඳුම්කර ක්‍රම වේදය වෙනස් කිරීමේ දී මහේන්ද්‍රන් විධිමත් ආකාරයකින් ක්‍රියා කර ඇත් ද? මාමා බෑණාට මහා බැංකුවේ රහස් සපයා ඇති බව පැහැදිලියි. එපමණක් නො වෙයි. සුදෝ සුදු රවි වාණිජ බැංකුවලට අඩු ලංසු තැබීමට කියා ඇති බවත් පැහැදිලියි. සුදෝ සුදුට බෑණාගේ අල්ලස එලෙස බංකුවලට උපදෙස් දීම සම්බන්ධයෙන් ද? කිසිවකු කිසිවකුට කිසිම හේතුවක් නැතිව ආසාවට අල්ලස් දෙනවා ද ?

තවත් ප්‍රශ්නයක් තියෙනවා. එකල සංධානයේ ඇතැමුන් සිංගප්පූරු ගොස් ඇවිත් පක්‍ෂ මාරු කළා. සිංගප්පූරුවේ දී ඔවුන්ට මුදල් ලැබුණා ද? එසේ ලැබුණා නම් ඒ මහා බැංකු මුදල් ද? සමහර විට හෙට පාර්ලිමේන්තු විවාදයේ දී ඒ ඇතැම් කරුණු දැන ගැනීමට හැකි වේවි. විවාදයට පසු ඡන්දයක් තියෙනවා ද? තිබුණොත් යම් යම් දේ දැනගැනීමට හැකි වේවි. අර දුරකතන ඇමතුම් ගත් පාද සටහන් කල්ලිය කෙතරම් සුදු ද? රනිල් තරම් සුදු ද? රවි තරම් සුදෝ සුදු දකෙටියෙන් කියනවා නම් බැඳුම්කරය හා ඊනියා ජාතික ආණ්ඩුව බලයට පත්වීම අතර ඇති සම්බන්ධය කුමක් ද? එය මැතිවරණය සම්බන්ධයෙන් පමණක් නො වෙයි. පසුව පක්‍ෂ මාරු කිරීම සම්බන්ධයෙනුත්. අපට අදාළ කාලයේ දී සිංගප්පුරු ගිය අයගේ නම් හෙළිදරවු කරනවා ද?  


______________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-01-09