Main Logo

Saturday 6 January 2018

රනිල් ඉවත් කිරීමට විරුද්ධ කවුද?

රනිල් ඉවත් කිරීමට විරුද්ධ කවුද?


රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කරලා. ඒක හොඳයි. එහෙත් එය ප්‍රමාණවත් නැහැ. මෙතෙක් ගෙනා විශ්වාසභංග යෝජනාවලට මොකක් ද වුණේ. සමහර ඒවා තවමත් න්‍යාය පුස්තකයේ පුස්කනවා. කතානායක වැඩ කරන්නේ රනිල්ට ඕන විධියට. රනිල්ගේ බලය බිඳින තෙක් කතානායක පමණක් නොව නීතිපති ද පොලිස්පති ද වැඩ කරන්නේ අගමැතිට ඕන විධියට. බැඳුම්කර කොමිසම අගමැති කියා රනිල්ට විශේෂ සැලකිල්ලක් දැක්වුවා. රනිල්ගෙන් ප්‍රශ්න කෙළේ නීතිපති! රනිල්ට පිළිතුරු දීමට කියා කලින් ප්‍රශ්න පත්‍රයකුත් යවා තිබුණා. ඒ එකක් වත් නීතියට පටහැණි නැහැ. එහෙත් ප්‍රශ්නයත් එයමයි. නීතියට පටහැණි නොවී මොන තරම් දේ කරන්න පුළුවන් ද?

රනිල් අගමැති කමෙන් ඉවත් කරන ලෙස අප ඉල්ලන්නේ ඔහු අගමැති වී මාස දෙක තුනකින්. එසේ ඉවත් කරන්න පුළුවන් එකම එක තැනැත්තා ජනාධිපතියි. ජනාධිපතිට නිකම් ම එය කරන්න බැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එසේ කළ හැකි වුවත් ඔහුට ඒ සඳහා ශක්තියක් නැහැ. එය කොන්ද පිලිබඳ ප්‍රශ්නයක් ම නො වෙයි. දේශපාලන ශක්තිය පිළිබඳ ප්‍රශ්නයක්. ඔහු බලයට පත් වූයේ එ ජා ප හා ඒ පක්‍ෂයට හිතවත් ඡන්දවලින්.

මෛත්‍රිපාල අගමැති ධුරයෙන් රනිල් ඉවත් කරන තුරු මා බලා සිටියේ නැහැ. එක් අයකු මට එසේ චෝදනා නගා තිබුණා. ඔහු හිතනවා ඇති මා දේශපාලන අඳ බාලයකු කියා. සයිටම් විරෝධීන්ට, මෛත්‍රිපාල විරෝධීන්ට හා මහින්දවාදීන්ට (සමහරු ඉන් දෙවර්ගයකටත් තවත් සමහරු තුන්වර්ගයටමත් අයත් වෙනවා) මා පෙනෙන්නේ ප්‍රතිගාමියකු අඳ බාලයකු ලෙස. මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂය මරා දමා ද්‍රෝහියකු වූ බව ඇත්ත. නමුත් ඔහු රනිල් මෙන් බටහිර ගැති සිංහල බෞද්ධ විරෝධියකු නො වෙයි. එහෙත් එ ජා ප ඡන්දවලින් බලයට පැමිණි ඔහුට රනිල්ගෙන් මිදීමට දේශපාලන ශක්තිය ලබා දිය යුතුයි. ඒ ශක්තිය ලබා නොදී ඔහුට රනිල් අගමැති කමෙන් ඉවත් කරන්න බැහැ.

මෛත්‍රිපාල සිංහල බෞද්ධ විරෝධී නොවේ නම් ඔහු මහින්දට විරුද්ධ ව තරග කෙළේ ඇයි ද කියා කෙනකු අසන්න පුළුවන්. මෛත්‍රිපාල සිංහල බෞද්ධ විරෝධීන්ගේ ඉත්තකු වීම හා ඔහු සිංහල බෞද්ධ විරෝධී වීම යනු දෙකක් මිස එකක් නො වෙයි. මෛත්‍රිපාලට රනිල් ඉවත් කිරීමට අවශ්‍ය දේශපාලන ශක්තිය ලබා දුන්නේ නැහැ. අදත් එයට හරස් කපන අය ඉන්නවා. ඒ අය ඒකාබද්ධ විපක්‍ෂයේ මෙන් ම මෛත්‍රිපාල කණ්ඩායමේත් ඉන්නවා. ඔවුන්ගෙන් ඇතමකු වක්‍ර ව නමුත් රනිල් ආරක්‍ෂා කරනවා. ෆයිසර් මුස්තෆා ශ්‍රී ල නි ප ලේකම් දුමින්ද දිසානායක ජී එල් පීරිස් බැසිල් ආදීන් ඒ ගණයට අයත් වෙනවා. මේ අයගේ නම් සඳහන් නොකර සිටින්නට දැන් බැහැ. 1818 දී එක් නායකයකු (විල්බාවේ) වටා එකතු නොවීමේ වන්දිය අදත් අප ගෙවනවා. නූතන පිළිමතලාවේලා මඩුගල්ලේලා කවු ද? 1818 දී වැරදුණු දේ 2018 දීවත් නිවැරදි කර ගන්නේ නැද්ද

ඹැඳුම්කර කොමිසම රනිල් නිදොස් කර නැහැ. ඔහු මහේන්ද්‍රන් ගැන තිබූ විශ්වාසය එහි දී ප්‍රශ්න කෙරෙනවා. අගමැති ධුරය දරන්නා රට වෙනුවෙන් තීරණ ගන්නා අයෙක්. ඒ තීරණ ගැනීමේ දී ඔහුගේ විනිශ්චය ඉතා වැදගත්. ඔහු අර්ජුන් මහේන්ද්‍රන් ගැන දැඩි පක්‍ෂපාත විනිශ්චයක් ඇති ව සිටි අයෙක්. ඔහු පාර්ලිමේන්තුවේදීත් අර්ජුන් මහේන්ද්‍රන් ආරක්‍ෂා කළා. සුජීව සේනානායක කෝප් කමිටුවට පත් කළා. ඒ අර්ජුන් ආරක්‍ෂා කිරීමට බව පැහැදිලියි. සුජීව අර්ජුන්ලාට දුරකතනයෙන් කතාකර ඔවුන් නිදොස් කර පොතකුත් ලියා පළ කළා. කොමිසමත් මේ දුරකතන පණිවුඩ ගැන නිහඬයි. කොමිසමට දුන් විධි නියෝගය (mandate) අසම්පූර්ණ බව මා ඊයේත් කියා සිටියා. ඒ වීධි නියෝගය සකස් කෙළේ කවු ද? නීතිපති දෙපාර්තමේන්තුව ද?

කොහොමටත් රනිල් බැඳුම්කර සිද්ධියේ දී අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීමෙන් හා ආරක්‍ෂා කිරීමෙන් තදබල වරදක් කර තිබෙනවා. ඔහු වෙන කිසි වරදක් කර නැතැයි කවුරු හරි කිව්වත් ඒ වරද ඔහු අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට ප්‍රමාණවත්. මැතිවරණ විසිපහක් පමණ පැරදීත් එ ජා ප නායකත්වයෙන් අස් නොවූ ඔහුට ඉල්ලා අස් නොවීම උපන් ගෙයි පුරුද්දක්. එබැවින් ඔහු අස් කළ යුතුයි. ඒ සඳහා ඒකාබද්ධ විපක්‍ෂය සියලු වාද භේද දමතක කර මෛත්‍රිපාලට සහාය දිය යුතුයි. මෙය ජී එල් කියන්නාක් මෙන් රෑ වැටුණු වළේ දවල් වැටීමක් නො වෙයි. රෑ වැටුණු වළේ ම වැළලී යෑමක්. ජී එල් රවටන්නේ කාව ද?

ඒකාබද්ධ විපක්‍ෂය රනිල්ට විරුද්ධ ව විශ්වාස භංග යෝජනා ගෙන ඒම ප්‍රමාණවත් නැහැ. පළාත් පාලන මැතිවරණයට වඩා රනිල් ඉවත් කිරීම අද වැදගත්. අද බටහිරයන් සිවල් සාමාජිකයන් හා මෙකී නොකී අය එ ජා පක්‍ෂයට හා ජ වි පෙරමුණට ආධාර කරනවා. සත පහකට වැඩක් නැති විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු හා වරියන් පිරිසක් අද ජ වි පෙරමුණට වැඩ කරන්නේ සිංහල බෞද්ධ විරෝධී පුවත්පතක් සමග එකතු වී. මේ අය අර 6% වීරයන් අතර වූවා. ඔවුන් කියන කිසිවකට ජනතාව සවන් දෙන්නේ නැහැ. එහෙත් ඔවුන් කරන කියන දෙයින් ඔවුන්ට අවශ්‍ය ඒකාබද්ධ විපක්‍ෂය හා මෛත්‍රිපාල පැරදවීමත් එ ජා ප හා ජ වි පෙ දිනවීමත් බව පැහැදිලියි.

අද රනිල් ඉවත් කිරීම පළාත් පාලන මැතිවරණයටත් බලපානු ඇති. අද අවශ්‍ය රනිල් ඉවත් කිරීම සඳහා විශාල මහජන ව්‍යාපාරයක් ඇති කිරීම. ඒකාබද්ධ විපක්‍ෂයේ සමහරුන් මෛත්‍රිපාල කණ්ඩායමට ආණ්ඩුවෙන් ඉල්ලා අස්වනු යන සටන් පාඨයෙන් රනිල් අගමැති කමෙන්  ඉවත් කර වෙනත් ආණ්ඩුවක් පිහිටුවනු යන සටන් පාඨයට මාරුවීම හොඳයි. එය තවත් සංශෝධනය වී වෙනත් ආණ්ඩුවක් පිහිටුවමු යන්නට ම මාරු වීය යුතුයි.  අප එයට බාධා කරන සියල්ලන් හඳුනාගත යුතුයි. ඒ බාධා කරන්නන් අතර 2015 මැතිවරණයේ දී වෙන ම තරග නොකර දවල් වළේ වැටුණු අය ඉන්නවා. ඔවුන් හැමදාමත් වක්‍රව වැඩ කර තියෙන්නේ එ ජා ප වෙනුවෙන්.

ඔවුන් අද සිතන් ඉන්නේ 2020 දී හෝ 2025 දී හෝ ආණ්ඩුවක් පිහිටුවීමට. 2018 දී ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සපයා දී තිබිය දී 2020 හෝ 2025 හෝ වන තුරු බලා ඉඳීම කාගේ වුවමනාවට කෙරෙන්නක් ද?  


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-01-06