Main Logo

Saturday 27 January 2018

මේ විද්වත් අරුමයක් ද?


මේ විද්වත් අරුමයක් ද?


මහරගම දි ජාතික තරුණ සේවා සභා  ශ්‍රවණාගාරයෙ දී විද්වතුන් හම්බවෙලා. ඔවුන් තමන්ගේ ම සංවිධානයක් හදා ගෙන නො වෙයි. ඒ අයට එහෙම ශක්තියක් නැහැ. ශාලාව පිරෙන්න සෙනග හිටියා. ඒ අය  විද්වතුන් ද හුදී ජනයා ද කියන එක පැහැදිලි නැහැ. එහෙත් පැහැදිලි කාරණයක් තිබුණා. ඔවුන් පැමිණ සිටියේ මිනීමරුවන් වෙනුවෙන්. ඒ රැස්වීම මිනීමරු පක්‍ෂයක් විසින් සංවිධානය කරන ලද එකක් බවත් පැහැදිලියි. විද්වතුන් ද පැමිණ සිටියේ මිනීමරුවන් වෙනුවෙන්.

කාල් මාක්ස්ගේ පට්ටම පට්ටපල් බොරු හිතළුවක් වෙනුවෙන් ලෙනින්ගේ සිට විජේවීර දක්වා කර ඇත්තේ මිනී මැරීම පමණයි. ලෙනින් අඩුම තරමෙන් පළමුවැනි ලෝක යුද්ධය කියන එකෙන් පස්සෙ සෝවියට් දේශයක් ගොඩ නැගුවා. පස්සෙ ස්ටැලින් රතු හමුදාව යොදා ගෙන ඊනියා දෙවැනි ලෝක යුද්ධෙන් පස්සෙ රතු සෝවියට් අධිරාජ්‍යයක් (ලෙනින්ගේ අර්ථයෙන් ද කියා පඬියන්ට හිතන්න පුළුවන්) ගොඩ නැගුවා. ඒ සෑම අවස්ථාවක ම මිනිසුන් මැරවා. සාර්ගෙ බල්ලත් මැරුවා. ලෙනින්ගෙ මිනීමැරුම් ට්‍රොට්ස්කිත් අනුමත කළා.

ඒත් අද සෝවියට් අධිරාජ්‍යය නැහැ. පුටින්ගෙ රුසියාව පමණක් තියෙනවා. පුටින් රුසියන් ජාතිකවාදියෙක්. මෙහි දී නොකියා බැරි දෙයක් තියෙනවා. ඒක සංසන්දනයක්. ස්ටැලින් රුසියන් ජාතිකයෙක් නො වෙයි. ඔහු ජෝර්ජියාවෙ. ජෝර්ජියාවෙ උපන් ස්ටැලින් සෝවියට් අධිරාජ්‍යය ගොඩ නැගුවා. ජෝර්ජියාව සෝවියට් අධිරාජ්‍යයට අයත්.

හිට්ලර් ඕස්ට්‍රියාවෙ වැසියෙක්. ඔහු ජර්මන් ජාතික සමාජවාදී ෆැසිස්ට් රාජ්‍යයක් ගොඩ නැගුවා. බොහෝ දෙනා ජාතික සමාජවාදයෙ ජාතික කොටස අල්ල ගෙන ජාතිකවාද විවේචනය කරනවා. එහෙත් ඔවුන්ට අර හිට්ලර්ගෙ සමාජවාදී කොටස පේන්නෙ නැහැ. මේ සමාජවාදය ජර්මන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදි පක්‍ෂයෙන් ලබා ගත් එකක්. ජර්මන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය මාක්ස්වාදී පක්‍ෂයක්. ලෙනින් ඒ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සංශෝධනවාදීන් ලෙස හඳුන්වපු බව ඇත්ත. එහෙත් ලෙනිනුත් මාක්ස්වාදය සංශෝධනය කළා. ඒ ගැන මාක්ස්වාදයෙ දරිද්‍රතාවය කියන පොත් පිංචෙ තියෙනවා.

හිට්ලර්ගෙ ජාතිකවාදයක් තිබුණෙ නැහැ. ඔහු යුදෙව් විරෝධියෙක්. ඔහු ජීවත් වුණෙ දහඅට වැනි සියවසට පෙර අදහස් සමග. ක්‍රිස්තියානි යුදෙව් ගැටුමක් එකල තිබුණා. ෂේක්ස්පියර්ගෙ කාලෙත් තිබුණා. මර්චන්ට් ඔෆ් වෙනිස් කෘතියෙන් ඒ බව පැහැදිලි වෙනවා. එහෙත් ඒ තරහ මරහ තරමක් සමනය වෙලා විසිවැනි සියවස වන විට බටහිර යුරෝපයේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියක් ගොඩ නැගිලා තිබුණා. ට්‍රම්ප්ගෙ බැණත් යුදෙව්වෙක්. ඒ කියන්නෙ ට්‍රම්ප්ගෙ මුණුබුරාලා යුදෙව්වො.

ජර්මනියෙ ම උපන් කාල් මාක්ස් යුදෙව්වෙක්. ඔහුගෙ මාක්ස්වාදය සංශෝධනය කරලා කරට ගත් ලෙනින්ලාත් යුදෙව්වො. යුදෙව් පවුලක උපත ලැබූ ට්‍රොට්ස්කි මාක්ස්වාදය සංශෝධනය කරන්න ගියෙ  නැහැ. එහෙත් ඔහු කම්බයින්ඩ් ඇන්ඩ් අන්ඊවන් ඩෙවලෝප්මන්ට් කියලා පොතක් ලියලා මාක්ස්වාදය ඩෙවලොප් (වර්ධනය) කළා. ඒ කොහොම වෙතත් සෝවියට් අධිරාජ්‍යයේත් යුදෙව් බලපෑම් තිබුණා. හිට්ලර් යුදෙව් විරෝධි වීමෙන් බටහිර කතෝලික නොවන යුරෝපයත් නැගෙනහිර යුරෝපයත් තරහ කර ගත්තා. ඔහුට විරුද්ධ ව ඒ සියලු දෙනා එකතු වුණා.   

ඇලෙක්සැන්ඩර් ග්‍රීක අධිරාජ්‍යයක් (ලෙනින්ගෙ අර්ථයෙන් නො වෙයි) ගොඩ නැගුවෙ මැසිඩෝනියාවෙ ඉපදිලා. ඔහු ග්‍රිසියෙ උපන්නෙ නැති වුණාට සංස්කෘතියෙන් ග්‍රීකයෙක්. ඔහුගෙ ගුරුතුමා වුනෙ ඇරිස්ටෝටල්. ඇරිස්ටෝටල් ප්ලේටෝගෙ ගෝලයෙක්. ප්ලේටෝ සොක්‍රටීස්ගෙ ගෝලයෙක්. ප්ලේටෝ හා ඇරිස්ටෝටල් සොක්‍රටීස්ගෙ දර්ශනය විකෘත කරලා ද්විකෝටික න්‍යායෙහි දැනුමක් ගොඩ නැගුවා. අදත් බටහිර දර්ශනය අවුල් වෙලා තියෙන්නෙ ප්ලේටෝගෙ හා ඇරිස්ටෝටල්ගෙ බලපෑම නිසා. ඇලෙක්සැන්ඩර් හිටියෙ ක්‍රි පූ හතරවැනි සියවසේ. ඔහු දිග් විජය කරන්න ගිහින් ආසියාවත් අවුල් කළා.

අශෝක ක්‍රි පූ තුන්වැනි සියවසේ මෞර්ය අධිරාජ්‍යයක් (නැවතත් ලෙනින්ගෙ අර්ථයෙන් නො වෙයි) ගොඩ නැගුවා. මෞර්යයන් දකුණේ සිටි මුරා නමැත්තියකිගේ මුණුබුරන්. දකුණෙන් පාඨලීපුත්‍රයට ඇවිත් ඔවුන් අධිරාජ්‍යයක් ගොඩ නැගුවෙ. අශෝක පසුව දිග්විජය ධර්මවිජයකට හැරෙව්වා. අපට අශෝක බුද්ධාගම ලැබුණෙ ධර්මවිජයෙ ප්‍රතිඵලයක් ලෙස. මේ අධිරාජ්‍ය එකක්වත් අවුරුදු හැත්තෑපහක් පැවතුණෙ නැහැ. විජේවීරට අධිරාජ්‍යයක් තබා රාජ්‍යයක්වත් ගොඩ නගන්න බැරි වුණා. එහෙත් අනෙක් අය වගේ ම මිනීමැරුවා.

විද්වතුන් දැන් එකතු වෙලා. මහරගම දි ඔවුන් කඩේ යවලා. ඔවුන්ටත් වැලේ වැල් නැතිව ඉන්නෙ. ඔවුන් අද බයිලා කියනවා. කලකට පෙර පවන කියලා ප්‍රසංගයකත් බයිලා කිව්ව. ඒත් අද එදා තරම් බයිලා අහන්න සෙනග එන්නෙ නැහැ. දැන් ගණදුර මැදියම අරුණළු දකින්නෙත් නැහැ.  විද්වත් බයිලා කියන්නන්ට ඒවයින් වැඩක් නැහැ. ඔවුන්ට ඕන වේදිකාවක් පමණයි. අද ඊනියා විද්වතුන් අතරමං වෙලා. ඔවුන්ට යහපාලනෙත් නැහැ, පොහොට්ටුවත් නැහැ. සෝභිත හාමුදූරුුවන් ගිය නොමග යන්න කවරුන්වත් ඇත්තෙත් නැහැ. ඉතින් ඔවුන් කාගෙ හරි වේදිකාවකට ගොඩ වෙලා බයිලා කියන එක අරුමයක් ද?   



________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-01-27