Main Logo

Saturday 13 January 2018

කෝ මේ සංහිඳියාව

කෝ මේ සංහිඳියාව


ජනවාරි එකොළොස්වැනි දා රිවිර පුවත්පතේ පළ වූ ලිපියකින් සියම් මහා නිකායේ රෝහණ පාර්ශ්වයේ අනුනායක ඕමාරේ කසස්ප හිමිපාණන් වහන්සේ වැදගත් හෙළිරවුවක් කර තිබුණා. යාපනයේ නාග විහාරාධිපතීන් වහන්සේගේ ආදාහන පූජොත්සවය තහනම් කිරීමට යාපනයේ මහේස්ත්‍රාත්වරයකු දී ඇති තීන්දුවක් පිළිබඳ උන්වහන්සේ සඳහන් කර තිබුණා. මේ ලිපිය ජාතික යැයි කියා ගන්නා වෙනත් පුවත්පතකට ද යවා ඇති නමුත් එය එහි පළ වී නැති බව දැන ගැනීමට තිබෙනවා. ඒ තත්වය යටතේ රිවිර ඒ ලිපිය පළ කිරීම ගැන අප අදාළ පුද්ගලයන්ට කෘතඥ විය යුතුයි. එමෙන් ම පූජ්‍ය කස්සප හිමිපාණන් වහන්සේටත් අපේ ප්‍රණාමය හිමි විය යුතුයි.

කස්සප හිමිපාණන් වහන්සේගේ ලිපියෙන් මතුවන කරුණු කිහිපයක් තියෙනවා. පළමුවෙන් ම ජනමාධ්‍ය ඒ සිද්ධිය වාර්තා කර තිබූ අයුරින් අප සිතා සිටියේ යාපනයේ මහේස්ත්‍රාත්වරයා ආදාහන පූජොත්සවය තහනම් කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ පෙත්සම ප්‍රතික්‍ෂෙප කළ බවයි. ඒ අනුව කිසිම හිරිහැරයකින් තොරව ආදාහන පූජොත්සවය සිදු කර ඇති බවයි අපේ හැඟීම වූයේ.

එහෙත් තත්වය එසේ නොවී ඇති බව ලිපියෙන් තහවුරු වෙනවා.  නීතිඥයන් හා ශිවාජිලිංගම් ඇතුළු දේශපාලකයන් පිරිසක් පෙත්සමට මුල් වී තිබෙනවා. ඔවුන්ගේ තර්කය වී ඇත්තේ ආදාහන පූජොත්සවය නිසා සෞඛ්‍යයට හා පරිසරයට හානි වන බවයි. මහේස්ත්‍රාත්වරයා ජනමාධ්‍යයේ සඳහන් නොවුණ ද ආදාහන පූජොත්සවය තහනම් කරමින් නියෝගයක් පනවා තිබෙනවා. ඒ නියෝගය රැගත් නිලධාරීන් පිරිසක් නාග විහාරයට ගොස් තිබෙනවා.

නියෝගය තිබී ඇත්තේ දෙමළ භාෂාවෙන්. එසේ ම නියෝගය නිකුත් කර ඇත්තේ නාග විහාරාධිපති ස්වාමීන් වහන්සේට. මෙහි ප්‍රශ්න දෙකක් තිබෙනවා. දෙමළ අයකුට සිංහලෙන් ලිපියක් යැවීම පිලිබඳ බෙරිහන් දෙන සිවල් සාමාජිකයන්, රාජ්‍ය නොවන බැළයන් සුමන්තිරන් විග්නේෂ්වරන් වැනි දෙමළ දේශපාලනඥයන් ආදීන් මෙහි දී නෑසු කන් ඇතිව මුනිවත රැක තිබෙනවා. සිංහල දේශපාලනඥයන් මෙවැනි සුළු සිද්ධි ගැන කතා කරන්නේ නැහැ. බුද්ධාගම විකුණා පාර්ලිමේන්තු ගිය/වැඩම කළ චම්පක හා රතන හිමි ඊළඟ වෙළෙඳාම ගැන කල්පනා කරනවා ඇති. 

මෙහි ඇති අනෙක් ප්‍රශ්නය ඒ වන විට නාග විහාරාධිපති ස්වාමීන් වහන්සේ අපවත් ව තිබීමත් නව විහාරාධිපති විහාරාධිපති වහන්සේ නමක් පත් කර නොතිබීමත් ය. එවිට නියෝගය ලබා ගැනීමට කිසිවකු ජීවතුන් අතර නැති බව පැහැදිලියි. මා නම් කරන්නේ නියෝගය භාර ගැනීමට කිසිවකු නැති බව දන්වා නියෝගය මහේස්ත්‍රාත්වරයා වෙත ආපසු යැවීමයි.

එහෙත් නාග විහාරයේ ඒ අවස්ථාවේ වැඩම කර සිටි කස්සප අනුනාහිමියන් ඇතුළු භික්‍ෂූන් වහන්සේ එසේ කර නැහැ. උන්වහන්සේලා මහේස්ත්‍රාත්වරයාට නියෝජ්‍ය පොලිස්පතිතුමා මගින් කරුණු දන්වා ඇති බවයි මගේ වැටහීම. නීතියේ කෙරෙන ආකාරයට සුපුරුදු  පරිදි නියෝජ්‍ය පොලිස්පතිතුමා ආදාහනයෙන් පරිසරයට හා සෞඛ්‍යයට හානියක් වන බවට වාර්තා ලබා ගෙන ඇත්දැයි මහේස්ත්‍රාත්වරයාගෙන් අසා තිබෙනවා. මහේස්ත්‍රාත්වරයාට එයට පිළිතුරු නොතිබූ බැවින් තම පළමු නියෝගය අවලංගු කිරීමට සිදු වී තිබෙනවා. නියෝගය අවලංගු කරවීමට කටයුතු කිරීම පිළිබඳ ව නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇතුළු පොලිස් කාර්ය මණ්ඩලයට අප ස්තුතිවන්ත විය යුතුයි.

ආදාහනයක් නිසා පරිසරයට හා සෞඛ්‍යයට තර්ජනයක් වේ නම් මෙරට කිසිම තැනක කිසිම ආදාහනයක් කිරීමට නොහැකි වන්න ඕන. යාපනයේ මීට පෙර කිසිම ආදාහනයක් සිදු වී නැත් ද? මේ සිද්ධියෙන් පැහැදිලි වන්නේ දෙමළ ප්‍රභූන් අතර සිංහලයන් කෙරෙහි ඇති ද්වේෂයයි. මේ ද්වේෂය පොන්නම්බලම් රාමනාදන්ලා කරා දිව යන බව ඊනියා මැදිහත් සිංහල උගතුන් අමතක කරනවා. සිංහල උගතුන් තරම් නිවටයන් පිරිසක් ලොවේ තවත් ඇතැයි කියා මා හිතන්නේ නැහැ.

ගැහැණුන්ට මත්පැන් විකිණීමට ගෙන ඇති තීරණයට එක් ඊනියා බුද්ධිමතකු විරුද්ධ වී ඇත්තේ තමා සුචරිතවාදියකු නොවන බව කියමින්. ඔහු බෞද්ධ දැයි මා දන්නේ නැහැ. මා නම් විරුද්ධ වන්නේ බෞද්ධ සුචරිතයට අනුවයි. බෞද්ධ සුචරිතය තීරණය වන්නේ නිවනට සාපේක්‍ෂවයි. මෙරට අධ්‍යාපනය උගතුන්ගෙන් සිංහලකම බෞද්ධකම ඉවත් කරන අතර දෙමළ ජනයාගේ දෙමළකම හා හින්දුකම හා ක්‍රිස්තියානි/කතෝලිකකම පෝෂණය කරනවා. අද මෙරට පෝෂණය වන්නේ බුද්ධාගම නොව වෙනත් ආගම්. නවවැනි වගන්තියේ කුමක් තිබුණත් තමන්ට අවශ්‍ය දේ ක්‍රියාත්මක වන බව මැතෝදිස්ත භක්තිකයකු වන සුමන්තිරන් දන්නවා.

සංහිඳියා බැළයන් මේ සම්පූර්ණ සිද්ධිය ගැන නිහඬයි. ආදාහන පූජොත්සවයට විරුද්ධ වීම, තහනම් නියෝගයක් ලබා ගැනීම ආදිය සංහිඳියාවට එකඟ යැයි සංහිඳියා බැළයන් සිතනවා ඇති. අර නිතර යාපනයට යන එන එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ට මේ සිද්ධිය මගහැරුණා ද? අප කොහොමටත් දන්නා පරිදි සිංහල බෞද්ධයන්ට ක්‍රිස්තියානි සංස්කෘතියේ මානව අයිතිවාසිකම් නැහැ. මානව අයිතිවාසිකම් ද සංස්කෘතියට සාපේක්‍ෂ බව බටහිර උගතකු කියා නැත්නම් එයට ද වරදකරුවන් සිංහල බෞද්ධයන් ම විය යුතුයි.

අද සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් පමණක් නොව සංස්කෘතිය ද සීඝ්‍රයෙන් නැති වී ගෙන යනවා. නිවන ද අදහසක් පමණක් දැයි අසන ඊනියා සුචරිතවාදීන්ට ඒ ප්‍රශ්නයක් නොවනවා විය හැකියි. ඔවුන් තීරණ ගන්නේ ව්‍යාජ සමාජවාදීන් ලෙස. අද ව්‍යාජ සමාජවාදීන් ද සිංහල බෞද්ධයනට විරුද්ධයි. ඒ අතර සිංහල බෞද්ධ නායකයන් කෝන්තර පිරිමසා ගැනීමට කඩු කිණිසි අතට ගෙන. 



________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-01-13