Main Logo

Wednesday 10 January 2018

කඩුව මුවහත් කරමු

කඩුව මුවහත් කරමු


අද පොහොට්ටුවේ නායකයන් මෛත්‍රිපාලගේ කඩුව ගැන කතා කරනවා. ඔවුන් මළ බැඳි කඩු ප්‍රදර්ශනය කරනවා. අගමැති ළඟ දී කඩුව නැවෙන බව පවසනවා. බැඳුම්කරයෙන් විශාල හානියක් වී ඇති බව පවසනවා. බන්දුලගේ ආර්ථික පර්යේෂණ මධ්‍යස්ථානය දිනපතා මෙන් මාධ්‍ය සාකච්ඡා පවත්වනවා. බැඳුම්කරයෙන් රටට වී ඇති හානිය ගැන විවිධ ආකාරයෙන්  සංඛ්‍යා ඉදිරිපත් කරනවා. මා හිතන්නේ නැහැ ලෝකයේ වෙනත් කිසිම ආර්ථික පර්යේෂණ මධ්‍යස්ථානයකින් මෙතරම් මාධ්‍ය සාකච්ඡා සංඛ්‍යාවක් පවත්වා ඇත කියා. මේ යන විධියට බන්දුලට ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ලැබෙන්න බැරි නැහැ.

මෛත්‍රිපාලගෙ කඩුව මොට්ට බව මා කලින් ම කිව්වා. මා ඒ ගැන මාධ්‍ය සාකච්ඡා පැවැත්වුයේ නැහැ. එහෙම පැවැත්වුවත් ප්‍රබුද්ධ මාධ්‍යවේදීන් එයට ප්‍රචාරයක් දෙන්නේ නැහැ. මුහුණු පොතේ පඬියනුත් මට විරුද්ධව ප්‍රතිචාර දක්වනවා. කඩුව මොට්ට කියා මා ඊනියා ප්‍රබුද්ධ කතා කිය කිය හිටියේ නැහැ. මොට්ට කඩුව මුවහත් කරන්න මා උත්සාහ ගන්නවා. අගමැති ළඟ දී කඩුව නොනැවෙන තත්වයකට පත් කරන්න මා උත්සාහ කරනවා. අප කළ යුත්තේ මොට්ට කඩු ප්‍රදර්ශනය කිරීම නොව කඩුව මුවහත් කිරීමයි.

මට කඩුව වෙනත් කිසිවකට වඩා බැඳුම්කර කොමිසම. එය මොට්ට කියා මා කියන්නේ එයට ලබා දුන් විධිනියෝගය (mandate) අසම්පූර්ණ බැවින්. ඒ කඩුවෙන් රවිට තරමක් තුවාල වෙලා. රනිල් ටිකක් තැලිලා. අප කළ යුත්තේ රනිල් ඉවත් කිරීම මිස කඩුව ගැන කිය කියා සිටීම නො වෙයි. කඩුවේ වැරදි පමණක් කීමෙන් සිදු වන්නේ රනිල් ශක්තිමත් වීමයි. අද පොහොට්ටුවේ ඇතැමුන් රනිල් ශක්තිමත් කරමින් සිටීම ගැන කණගාටු වෙනවා. අප සැම විට ම ඇසිය යුතු ප්‍රශ්නය රටේ ප්‍රධාන සතුරා රනිල් ද මෛත්‍රිපාල ද යන්නයි. මෛත්‍රිපාල බටහිර හා ඉන්දීය ඔත්තු සේවාවල ඉත්තකු වීම හෙළා දකින අතර රනිල් ඉත්තකුට වඩා වැඩි අයකු බව අමතක නොකළ යුතුයි.

පොහොට්ටුවෙන් කොමිසමේ වාර්තාව ඉල්ලා තිබෙනවා. එය වැදගත්. වාර්තාව නොදැක පාර්ලිමෙන්තු විවාදයක් ඉල්ලීම වරදක්. එහෙත් දැන් ඒ වරද නිවැරදි කරන්. ඔවුන් පළමුව වාර්තාව ඉල්ලලා. වාර්තාව ලබා දීමේ  ප්‍රශ්න තියෙන්න පුළුවන්. එහි ඇති යම් යම් යෝජනා රනිල් හා එ ජා ප ප්‍රයෝජනයට ගන්න පුළුවන් කියා කිසිවකුට හිතෙන්න පුළුවන්. එහෙත් දැනටත් වාර්තාව නීතිපති ළඟ. රනිල් එය නොදන්නවා කියා හිතන්න බැහැ. ඒ නිසා වාර්තාව ප්‍රසිද්ධ කිරීමෙන් එ ජා පාක්‍ෂික මන්ත්‍රීවරුන්ට විශේෂ වාසියක් අත්වෙන්නේ නැහැ. කළ යුත්තේ හැකි ඉක්මණින් වාර්තාව ප්‍රසිද්ධ කිරීමයි. එසේ කිරීමෙන් පසු පාර්ලිමේන්තු විවාදය අදින් සතියක් ඇතුළත පැවැත්වීම අවශ්‍යයි.

රනිල්ට විරුද්ධව ගෙනෙන විශ්වාසභංගයට වඩා වාර්තාව පිළිබඳ විවාදය වඩා වැදගත්. විශ්වාසභංගය විවාදයට ගන්නත් පුළුවන්. නොගන්නත් පුළුවන්. එය න්‍යාය පුස්තකයට එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්. න්‍යාය පුස්තකයට ආවත් එය එහි පුස්කන්න පුළුවන්. එබැවින් වාර්තාව හා ඒ සම්බන්ධ විවාදය වැදගත්. වාර්තාවේ රනිල් ගැන කියැවෙන කොටස ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. එහෙත් එය ප්‍රමාණවත් කර ගැනීම පොහොට්ටුවේ වගකීම. මෛත්‍රිපාලගේ දොස් කියමින් රනිල් ආරක්‍ෂා කිරීම රටට ජාතියට ආගමට කරන මහා විපතක්. 1815-18 වකවානුවේ සෙංකඩගල නිළමෙලා කළ බරපතල වැරදි ඉන් අවුරුදු දෙසියයකට පසුව පොහොට්ටුවේ ඇතැමුන් කිරීම සමාව නොදිය හැකි වරදක්. පොහොට්ටුවේ නිළමෙලා ඉතිහාසය දන්නේ නැත්නම් මුතුකුඩ නාට්‍යය නැරඹීය යුතුයි. නරඹා පාඩමක් ඉගෙන ගත යුතුයි. අවාසනාවකට එකළ සිටි මැණිකෙලා අද නැහැ. අද ඉන්නේ ආර්යාවන් වූ භාර්යාවන්.

අද කළ යුත්තේ රනිල් ඉවත් කිරීමට මෛත්‍රිපාලට ආධාර කිරීමයි. වෙනත් විකල්පයක් නැහැ. මෛත්‍රිපාල තමාට 2021 වන තුරු ජනාධිපති ලෙස සිටීමට හැකි ද කියා ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් විමසා තියෙනවා. මෛත්‍රිපාල 2021 වන තුරු ජනාධිපති වීම ගැන වැඩියෙන් ම විරුද්ධ වන්නේ රනිල් හා එ ජා පක්‍ෂයයි. ඔවුන්ට ඒ පිළිබඳ සමහර විට කෙලින් ම විරුද්ධ වන්න බැරි වෙන්න පුළුවන්. පොහොට්ටුව එ ජා පක්‍ෂයේ කාර්යය භාරගත යුතු නැහැ. අධිකරණය ප්‍රශ්නය විසඳාවි.

මෛත්‍රිපාල රනිල්ට විරුද්ධ වන්නේ ඊළඟ ජනාධිපතිවරණයේ දී තමාට තර්ජනයක් විය හැකි රනිල් දේශපාලන වශයෙන් විනාශ කිරීමට ය කියා පොහොට්ටුව අහක බලා ගත යුතු නැහැ. රනිල් ඉවත් කිරීම අප සියළු දෙනාගේ ම කාර්යයක්. ඒ සඳහා මේ අනගි ම අවස්ථාවයි. මේ අවස්ථාව පැහැර හැරීම ජාතියට කරන විනාශයක්. මෛත්‍රිපාල සමග ඇති බද්ධ වෛරයක් හා මහින්දට ඇති භක්තියක් නිසා අප මුළා විය යුතු නැහැ. රනිල් ඉවත් කිරීමට කටයුතු නොකරන ඕනෑම අයකු කොපමණ සේවයක් කර තිබුණත් ද්‍රෝහියකු ලෙස සැලකීමට සිද්ධ වෙනවා.

රනිල් ඉවත් කළ හැක්කේ මෛත්‍රිපාලට පමණයි. පළාත් පාලන මැතිවරණයෙන් කිනම් ප්‍රතිඵලයක් ලබා ගත්තත් අවසානයේ දී රනිල් ඉවත් කළ හැක්කේ මෛත්‍රිපාලට පමණයි. ඔහුට ඒ සඳහා ශක්තියක් නැත්නම් අප කළ යුත්තේ ඔහුට අවශ්‍ය ශක්තිය ලබා දීම මිස ඔහුගේ පාවා දීම හා කොන්ද ගැන කතා කරමින් රනිල්ට ආධාර කිරීම නො වෙයි.  අප 2020 හෝ 2021 හෝ ගැන නොව 2018 ගැන කල්පනා කළ යුතුයි. අපේ සටන් පාඨය රනිල් ඉවත් කරමු යන්න විය යුතුයි.


_______________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-01-10