Main Logo

Friday 5 January 2018

රනිල් ප්‍රාදේශීය සභා මන්ත්‍රීකමකටවත් සුුදුසු නැහැ

රනිල් ප්‍රාදේශීය සභා මන්ත්‍රීකමකටවත් සුුදුසු නැහැ


බැඳුම්කරය ගැන හා ජනාධිපති ප්‍රකාශය ගැන බොහෝ දෙනා බොහෝ දේ දැනටමත් කියා තිබෙනවා. තවත් බොහෝ දේ කියාවි. එහෙත් කිසිත් වැදගත් දෙයක් සිද්ධ වෙන එකක් නැහැ කියලා හිතෙනවා. බන්දුල ගුණවර්ධන ගණන් හදලා පෙන්වාවි මෙච්චර පාඩුවක් වෙලා තියෙනවා කියලා. ඒත් ඒකෙන් සතපහක වැඩක් වෙන්නෙ නැහැ. මේ ගණන්වලත් කිසිම වටිනාකමක් නැහැ. ඒවට පසුබිම් වූ උපකල්පන ගැන කවුරුවත්, අඩුතරමෙන් බන්දුලවත් කතා කරන්නෙ නැහැ. බන්දුලත් එ ජා පක්‍ෂයට ගිහින් ආපු කෙනෙක්. ඒ හුවමාරුවෙ වටිනාකම කුමක් ද?

මහින්දානන්ද අලුත්ගමගේ විතරක් වැදගත් දෙයක් කියලා තිබුණා. ඔහු කියා තිබුණෙ රනිල් හා එ ජා ප ඇමතිවරු අස්කළ යුතු බව. ඔවුන් කිසිදාක ඉල්ලා අස් නොවන බව පැහැදිලියි. ඒ නිසා අස් කළ යුතුයි. දැන් කවුරු හරි අහන්න පුළුවන් ඇයි අස් කරන්නෙ කියලා. එහෙම නැත්නම් අස් විය යුත්තෙ ඇයි කියලා. අස් විය යුත්තෙ රනිල් විතරක් නො වෙයි. රනිල් අගමැති කමට පත් කරන්න ආධාර කළ අයත් අස් විය යුතුයි.

රනිල් අගමැති කෙළෙ බටහිර හා ඉන්දීය ඔත්තු සේවා. ඔවුන් තම කාර්යය ඉටු කරලා ඉවර නැහැ. තවමත් කරගෙන යනවා. ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීම. ඔවුන් එය පටන් ගෙන හුඟක් කල්. ඉංගිරිසින් නම් එය පටන් ගත්තෙ 1796 දි. 1833 දි ඔවුන් ඒ සඳහා හොඳ ආයුධයක් බෞතීස්ම කළා. ඒ දෙමළ ජාතිවාදය. අද වන විට ඔවුන් හාමුදුරුවරුන් ද ඉතා දුර්වල මට්ටමකට දාලා. මේ ක්‍රියාවලියෙහි එක් තැනක දි, 2009 මැයි මාසෙදි මහින්ද පරාජය කර දේශපාලනයෙන් ඉවත් කිරීමේ වැඩ පිළිවෙල ආරම්භ කළා. මෛත්‍රිපාල එහි දී යොදා ගත් ඉත්තකු පමණයි. ඔවුන් රනිල් අගමැති කළා. ඔවුන් කීයටවත් රනිල් අගමැති කමෙන් ඉවත් කරන්නෙ නැහැ. එහෙත් ඔවුන්ගෙ අභිමතයට පිටුපා රනිල් ඉවත් කළ යුතුයි.

රනිල් අගමැති කරන්න ආධාර කළ අය ලෙස මා සලකන්නෙ ජ වි පෙ, ජාතික හෙළ උරුමය පමණක් නොවෙයි ජාතික නිදහස් පෙරමුණත්. සෝභිත හාමුදුරුවොත් එයට ඇතුළත්. උන්වහන්සෙ නම් දැන් අපවත් වෙලා. මේ කිසිවකු නොවෙයි රනිල් බලයට පත් කෙළෙ. ඔවුන් අර කියන්න වගේ මල්වට්ටියට අත ගැහුව පමණයි. මල් වට්ටිය සැලසුම් කළෙ බටහිර හා ඉන්දියාවෙ. ඒ වුණත් රනිල් අගමැති කිරීමේ වගකීමෙන් බැහැර වන්නට රතන හාමුදුරුවන්ටවත් යුග පෙරළිකරුවන්ටවත් චම්පකටවත් අද ජනමාධ්‍යවේදීන්ගේ හා සිවල් සාමාජිකයන්ගේ සුරතලා බවට පත් වී ඇති අනුර දිසානායකටවත් විමල්ටවත් බැසිල්ටවත් බැහැ. මෙහි දී බැසිල්ගේ ක්‍රියා දාමය තරමක් වෙනස්.

බැසිල් හැරෙන්නට අනෙක් අයට තිබුණෙ එක්කො බල ලෝභය, නැත්නම් වැරදි විනිශ්චය එහෙමත් නැත්නම් ඒ දෙකම. බැසිල්ට තිබුණෙ දේශපාලන අධිකාරය පිළිබඳ ප්‍රශ්නයක්. ජනතාවත් වැරදි විනිශ්චයක් කළා. ඔවුන් සමහරු පුරුද්දට එ ජා පක්‍ෂයට ඡන්දය දුන්නා. තවත් අය හොරු අල්ලන්න ඡන්දෙ දුන්න. ඔවුන් දැන ගෙන හිටියෙ නැහැ බටහිරයන්ට හා ඉන්දියාවට අවශ්‍ය වූ දේ. අප කිව්වත් ඔවුන් අපට ඇහුම්කන් දුන්නෙ නැහැ. දැනුත් ඇහුම්කන් දෙන්නෙ නැහැ. අලුත් ඥානවිභාගයක්, (නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය) බිහි කිරීමවත්, දැනුම නිර්මාණය කිරීමේ අපේ මූලික මග වූ ආධ්‍යාත්මික ක්‍රමය වර්ධනය කිරීම ගැන කතා කිරීමවත්, ඒ වර්ධනය කරන තෙක් දේශපාලනය ද ඇතුලු සෑම ක්‍ෂෙත්‍රයක ම අපේ චින්තනයෙහි අපේ ප්‍රවාද නිර්මාණය කිරීමවත් ගැන කිසිවකු දන්නේවත් නැහැ. ඔවුන් අහන්නේ මහින්දට කඩේට ගියා ද, බටහිර විද්‍යාව ප්‍රතික්‍ෂෙප කරනවා ද, නාථ දෙවි මිථ්‍යාව විශ්වාස කරනවා ද වැනි ප්‍රශ්න. මහින්දට කඩේ යෑමෙන් කොටි පරාජය කර ගැනීමට පුළුවන් වූ බව ඔවුන්ට මතක නැහැ. මහින්දට කඩේ ගියේ කොටි පරාජය කිරීමට. එහෙත් කොටි පරාජය කිරීමෙන් පසුව ඔහු උපදෙස් ගත්තේ කොටි පරාජය කිරීමට බැහැ කී අයගෙන්. එය විනිශ්චය පිළිබඳ ප්‍රශ්නයක් නො වෙයි. කොටි පරාජය කිරීමට අපට වෙනත් විකල්පයක් තිබුණෙ නැහැ.

මහජනයා වැරදි විනිශ්චය කිරීම ගැන ඔවුන්ට දොස් කියන්න බැහැ. එහෙත් දේශපාලනඥයන් එසේ නො වෙයි. රටේ අනාගතය ගැන තීරණ ගන්නේ ඔවුන්. බැඳුම්කරය ගැන අර්ජුනලා වැරදි කර තිබෙන බව බැඳුම්කර කොමිසමෙන් පැහැදිලියි. ඒ තීරණවලට මහේන්ද්‍රනුත් ලාභ ඉපදීමෙන් පොදු දේපොළ පරිහරණය කිරීම පිළිබඳව ඇලොෂියසුත් වැරදි කරුවන්. ඒ දෙදෙනා ම පොදු දේපොළ පනත යටතේ අත් අඩංගුවට නොගන්නේ ඇයි? සමහර විට පනතේ අඩුපාඩුවක් ඇති. මා ඒ පනත කියවා නැහැ.

කොහොමටත් රනිල් මහේන්ද්‍රන් ගැන විශ්වාසය තබා ඇති බව පැහැදිලියි. එමෙන් ම රනිල් පාර්ලිමේන්තුවේ දී මහේන්දූන් ආරක්‍ෂා කළා. සුජීව සේනසිංහව කෝප් කමිටුවට පත් කළා. ඒ පත් කෙළේ කා රැකීමට ද කියන එක පැහැදිලියි. රනිල් තමාට උපදෙස් දුන් බව මහේන්ද්‍රන් ඩිව් ගුණසේකර කමිටුවට බව කී බව කියැවෙනවා. ඒ එසේ නම් අදාළ උපදෙස් නිසා ද වැරුද්දක් සිදු වී ඇති බව පැහැදිලියි. රනිල් වෙනත් කිසිම වැරැද්දක් කර නැතැයි කියමු. එහෙත් ඔහුගේ විනිශ්චය වැරදියි. මෙය සුළු පටු වැරැද්දක් නො වෙයි. පසුගිය දා ණය ගෙවා ගැනීමට බැරි ව යුවළක් සිය දිවි නසාගත් බව වාර්තා වුණා. එවැනි රටක මහජන මුදල් රුපියල් කෝටි අටසීයකට වඩා ජනතාවට අහිමි කිරීම මහා අපරාධයක්. ඒ මුදල් ඇත්තේ කොහේ ද මුදල්වලට කුමක් කෙළේ ද ආදි ප්‍රශ්න කොමිසම ඇලෝෂියස්ගෙන් ඇසූ බවක් අප දන්නේ නැහැ. මහජනයා ඒ දැනගත යුතුයි. ඒ මුදල් පසුගිය මැතිවරණයේ දී රනිල් බලයට පත් කිරීමට යොදා ගත්තේ ද? කොමිසම අපක්‍ෂපාත වෙන්න පුළුවන්. එහෙත් කොමිසමට ලබා දුන් විධි නියෝගය (mandate) අසම්පුර්ණයි. 

රනිල් කර ඇති දුර්දාන්ත ප්‍රතිඵල ගෙන දුන් වැරදි විනිශ්චය නිසාවත් අඩු තරමෙන්  ඔහු මෙරට අගමැති කමට තබා ප්‍රාදේශීය සභා මන්ත්‍රිකමකටවත් සුදුසු නැහැ. ඔහු අගමැති ධුරයෙන් අස්විය යුතුයි, නැත්නම් අස් කළ යුතුයි. මහින්දානන්දගේ යෝජනාව මහින්ද අනුමත කරනවා ද? මෛත්‍රිපාල ඒ යෝජනාවට එකඟ ද? අනෙක් සියලු මතභේද පසෙක ලා මහින්ද හා මෛත්‍රිපාල රනිල් ඉවත් කිරීමට සමගි නොවුණොත් බැඳුම්කර වංචාවට ඔවුන් ද අනියමින්වත් වරද කරුවන් වෙනවා.      


______________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-01-05