Main Logo

Tuesday 12 February 2019

පොහොට්ටු කතා


පොහොට්ටු කතා



බැසිල් නැවතත් පොහොට්ටු කතාවක් කියල. ඔහු කියල මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නෙ පොහොට්ටුවෙ සාමාජිකයෙක්  බවත් තරග කරන්නෙ පොහොට්ටුව ලකුණෙන් බවත්. දුමින්ද දිසානායකත් ඒ වගේ කතා කියනවා. ඔහු කියන්නෙ මීළඟ ජනාධිපති  අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන කියායි. එහෙත් මේ ප්‍රකාශ දෙකේ වෙනසක් තියෙනවා. බැසිල් කියන්නෙ තමන්ගෙ හිතේ තියෙන දෙයක්. දුමින්ද කියන්නෙ තමන්ගෙ තුන්හිතකවත් නැති දෙයක්. එහෙත් ඒ දෙදෙනාට ම ඕනෙ මහින්ද මෛත්‍රිපාල සමගිය කඩාකප්පල් කරන්න.




මුහුණු පොතේ කාට හරි අහන්න පුළුවන් මට පරචිත්තවිජානන ඥානය තියෙනව ද කියලා. එහෙමත් නැත්නම් දෙවියන් මට යම් යම් දේ කියනව ද කියලා. අපොයි නැහැ. මට ඒ කිසිම වාසනාවක් නැහැ. මට මගේ සමස්ත කතාවක් හා තවත් අතුරු කතා කිහිපයක් තියෙනවා. ඒ මා නිර්මාණය කරගත් කතා. ඒ කතා එදිනෙදා සිදුවෙන දේ සමග සංගතයි.  මා හැම දෙයක් ම කියන්නෙ ඒ කතා ආධාරයෙන්. මගේ සමස්ත කතාවෙ තියෙන්නෙ මේ සියල්ල බොරු, ශූන්‍ය, මායා කියන එක. සමහර බොරු පට්ටපල් බොරු කියලත් මා කියනවා. මා ඒ කතාව හදා ගත්තෙ මට තේරෙන බුදුදහම ඇසුරෙන්. එය ඊනියා යථාර්ථයක් ගැන කතා කරන මනසක් ඇතැයි කියන බෞද්ධයන්ට රුචි නොවන්න පුළුවන්. මගේ කතාවත් බොරුවක් ද කියලා පඬියකුට අහන්න පුළුවන්. මට කියන්න ඇත්තෙ ඇත්තක් කියන එක නැත්තක් කියල පමණයි. අපි ඉඩක් ලැබුණොත් ඒක තව දුරටත් පසුව සාකච්ඡා කරමු. තමන් ශ්‍රී ල නි පක්‍ෂයෙ ලේකම් ධුරයෙන් අයින් කළ මෛත්‍රිපාල ජනාධිපති කරන්න දුමින්ද වැඩ කරාවි කියල හිතනවා ද? දුමින්දත් ඒ කතා කියන්නෙ බැසිල් වගේ ම මෛත්‍රිපාල මහින්ද සමගිය කඩන්න විතරයි.



බැසිල්ට අමතර ව ජී එල් පීරිසුත් පොහොට්ටු කතාවක් කියල මීළඟට තමන් බලයට පත්වුණා ම දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරනව කියා. ඒක නම් හොඳ වැඩක්. ඒත් ඒක සම්මත කර ගන්න ජී එල් ඡන්දය දුන්න ද කියල මං අහන්නෙ නැහැ. ඒකට විරුද්ධව ඡන්දෙ දුන්නෙ සරත් වීරසේකර පමණයි. අපි ඔහු අම්පාරෙදි පරාජය කළා. ජානක බණ්ඩාර ඡන්දය දීමෙන් වැළකිලා ගෙදර ගියා. ඔහු තාමත් ගෙදර. මුහුණු පොතේ බොහෝ අය ජානක බණ්ඩාර කියන්නෙ කවුද කියලවත් දන්නෙ නැතිව ඇති. මා ඒ ගැන පුදුම වන්නෙ නැහැ. ඔවුන් ඉලංකෙයි තමිල් අරසු කච්චි කියන්නෙ ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය බව දන්නෙත් නැහැ. ඒ බව අප නම් අසූවෙ දශකයෙත් දැන ගෙන හිටියා. අප එය මුලින් ම දැනගත්තෙ ගාමිණී ඊරියගොල්ල මහතාගෙන්. කවුද මේ ගාමිණී ඊරියගොල්ල කියන්නෙ. මුහුණු පොතේ අය ඔහු ගැන දන්නෙ නැතිව ඇති.



අර ටෝක් විත් චතුර වැඩ සටහනට සහභාගි වුණු අරුන් තරුණයා බොහෝ දේ කිව්වා. ඔහුගෙ පෞද්ගලික තොරතුරු හැරෙන්න අනෙක් සියල්ල අප දන්නා එමෙන් ම මගේ අර කතා කිහිපයෙන් දැක්වෙන දේ. අරුන් නොකියපු තවත් බොහෝ දේ අප අසූවෙ දශකයෙත් දැන සිටියා. තේසවළාමේ නීතිය දකුණු ඉන්දියාවෙ මුස්ලිම් ජනයාගෙ නීතියක් බව මුහුණු පොතේ පඬියන් දන්නවා ද? ඒ බව අමිර්තලිංගම්වත් දැන සිටියෙ නැහැ. ජේ ආර්ගෙ සර්වපාක්‍ෂික සම්මේලනයෙ දි ගාමිණී ඊරියගොල්ල ඒ බව ප්‍රකාශ කළාම අමිර්තලිංගම් පුදුම වුණා. මා එයට තව ටිකක් එකතු කරන්නම්. ලන්දේසීන් තේසවළාමෙ නීතිය පැනෙව්වෙ ඔවුන් මෙරටට ගෙනා වෙල්ලාලයන් අස්වැන්න නෙළා ගත්තයින් පස්සෙ ආපහු කෝරමණ්ඩල (චෝල මණ්ඩල) වෙරළට යන එක නවත්වන්න. ඒත් ඒක ඒතරම් සාර්ථක වුණෙ නැහැ. පස්සෙ ඉංගිරිසින් ද නැවතත් ඒ කාරණය සඳහා ම තේසවළාමෙ නීතිය පැනෙව්ව. අරුන් ඒක දන්නව ද දන්නෙ නැහැ. එතකොට කවුද මේ ගාමිණී ඊරියගොල්ල? තව ටික දවසකින් මිනිසුන් අහාවි කවුද මේ නලින් ද සිල්වා කියලා. දැනටමත් සමහරු එහෙම අහනවා. තවත් සමහරු අමු ම අමු පිස්සකු ලෙස හඳුන්වනවා. සිංහලයන්ගෙ හැටි එහෙමයි. මුහුණු පොත බලන්න.



ඒත් කවුරුන්වත් අහන එකක් නැහැ කවුද මේ බැසිල් රාජපක්‍ෂ හරි කවුද මේ ජී එල් පීරිස් හරි කියලා. ජනමාධ්‍ය තියෙන තාක් ඔවුන් ඉන්නවා. ජී එල්ට අප එකක් කියනවා. දහනවය වගේ ම දහතුනත් අස් කර ගන්න. ඔය පොහොට්ටුවෙ ඉන්න පළාත් සභා මන්ත්‍රීවරු හා එහෙම වෙන්න බලන් ඉන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කියාවි දහතුන අස්කරන්න දෙන්නෙ නැහැ කියලා. ඔවුන්ට ජනතාවට සේවය කරන්න ඒ සභා තියෙන්න ඕන කියලා කියාවි. කමක් නැහැ. ඔවුන්ටත් පරම්පරා ගණනකට ධනය රැස්කරන්න ක්‍රමයක් තියෙන්න ඕනෙ. ඒත් ජී එල්ලාට පුළුවන් ද දහතුනෙන් පොලිස් බලතල හා ඉඩම් බලතල පිළිබඳ ව්‍යවස්ථා ඉවත් කරන්න. එතකොට අර 154 (උ) අනුව්‍යවස්ථාව. ඒකෙන් තමයි අදත් අප සන්ධීය රාජ්‍යයක් වෙලා තියෙන්නෙ.  ඒක ජේ ආර් පාරින්ද රණසිංහ විනිසුරුවන්ගෙ තීරණය නොසලකා සම්මත කර ගත්ත එකක්. අම්මපා ඒ දවස්වල ජී එල් හිටියෙ කොහෙ ද? 



බැසිල් පොහොට්ටුව තනියම සංවිධානය කළා වගේ කතාව. මහින්ද නැත්නම් බැසිල්ට නොවෙයි මහාබඹාටවත් බන්දුලගෙ මිත්‍ර ශක්‍රයාගේ පුතා වයිමටවත් පොහොට්ටුවක් සංවිධානය කරන්න බැහැ. බැසිල් මහින්දගෙ කීර්තියෙන් බැබලෙන්න හදන කෙනෙක් පමණයි. ඔහුට ඔය කියන තරම් සංවිධාන ශක්තියක් නැහැ. 2015 ජනාධිපතිවරණය පැරදුණෙ බැසිල්ගෙ සංවිධායකත්වයෙන්. ජනාධිපතිවරණයෙන් පස්සෙ එක්සත් ජනපදවලට ගිය බැසිල් ආපහු ආවෙ මිනිසුන් පක්‍ෂයක් පිහිටෙව්වට පස්සෙ. බැසිල්ට තිබුණෙ ඒකට නමක් දාල සංවිධායකයො ටිකක් පත් කරන එක විතරයි. ඒ ඊනියා සංවිධායකයො අද බැසිල් පිටුපස ඉන්නවා. බැසිල්ට ඇති වෙන ශක්තියක් නැහැ. බැසිල් ගියොත් පොහොට්ටුව පිපෙන්නෙ නැතිව ම පරවෙයි කියල හිතනවා ද?



බැසිල් කොන්දේසි දාන්නෙ මෛත්‍රිපාල මහින්ද සමගිය කඩාකප්පල් කරන්න. ඒ සමගියට බැසිල් විරුද්ධ වුණා. ඔහු ඔක්තෝම්බර් විසිහයටත් විරුද්ධ වුණා. ඒත් ඔක්තෝම්බර් විසිහය නොවන්න මෙළහකට රනිල් නව ව්‍යවස්ථාව සම්මත කර ගෙන. අද රනිල් නන්නත්තාර වෙලා. බැසිල්ට ඕන සමගිය කඩාකප්පල් කරල රනිල්ට ශක්තිය (මයිලෝ නොවෙයි) ලබා දෙන්න ද? තව පොඩි,  නැහැ ලොකු කාරණයක් මතක් කරන්න තියෙනවා. අර නන්දිකඩාල් ජයග්‍රහණය දවසෙ ම ට්‍රොයිකාවෙ වුවමනාවට දහතුන ක්‍රියාත්මක කරල ඉන් එහාට යන විසඳුම් ගැන දෙමළ පක්‍ෂ සමග සාකච්ඡා අරඹන බවට ඉන්දියාවට පොරොන්දු වුණෙ කවුද?