Main Logo

Thursday 28 February 2019

ඉන්දියාව පකිස්තානය හා අපි


ඉන්දියාව පකිස්තානය හා අපි



කාශ්මීර ප්‍රශ්නය විසදෙන එකක් නො වෙයි. නරක ද පඬියන්ට කියන්න ඉන්දියාවට හා පකිස්තානයට සංහිඳියාවක් ඇති කර ගන්න කියලා. ප්‍රශ්නෙට අවුරුදු හැත්තෑඑකක් වෙනවා. අද ඉන්දියාවෙත් පකිස්තානයෙත් ඉන්න බහුතරය ප්‍රශ්නය ඇති වෙනකොට ඉපදිලත් නැහැ. ප්‍රශ්නය ඇති කෙළෙ සුපුරුදු පරිදි ඉංගිරිසින්. ඒත් අද යුද්ධ කරන්නෙ ඉන්දියාවයි පකිස්තානයයි. මේක නම් යුද්ධයක්. අපේ වගේ නො වෙයි. යුද්ධාපරාධ වෙනවා. රටවල් දෙක ම න්‍යෂ්ටික අවි යොදා ගන්න පුළුවන් මට්ටමක ඉන්නචා. එහෙත් එහෙම වෙන එකක් නැහැ. යුද්ධෙත් ටික කාලයක් පැවතිලා විද්‍යුත් නාලිකා වගේ විරාමයකට යාවි. කවුද වෙළෙඳ දැන්වීම් දෙන්නෙ.




ප්‍රශ්නය ඇතිවුණෙ සුද්දන් ඇති කරපු ඉන්දියාවට නිදහස දෙන්න ගිහින්. ඉංගිරිසින් එන්න කලින් ඉන්දියාව කියල රටක් තිබුණෙ නැහැ. විවිධ රාජ්‍ය නම් තිබුණා.  ඒව වාංශික රාජ්‍යය. භාරතය දඹදිව ආදී වශයෙන් ප්‍රදේශ නම් තිබුණා. ඒ රටවල් නො වෙයි. ඉංගිරිසින් මේ රාජ්‍ය එකතු කරල ඉන්දියාව කියල ලොකු රටක් ඇති කරා. 1947 නිදහස දෙන කොට ඉන්දියාව රටවල් දෙකකට බෙදුවා. ඉන්දියාව පකිස්තානය කියලා. පකිස්තානයට දැන් බංග්ලාදේශයත් ඇතුල් වුණා. ඒක ඒ දවස්වල නැගෙනහිර පකිස්තානය.



ඉස්සර  ඉංගිරිසින්ගෙ කාලෙ ඉන්දියාවෙ කුමාරවරුන්ගෙ රාජ්‍ය කියල රාජ්‍ය සිය ගණනාවක් තිබුණා. ඉන්දියාව බෙදල නිදහස දෙනකොට මේ රාජ්‍යවලට පුළුවන්කම තිබුණා ඕන නම් ස්වාධීන රාජ්‍ය හැටියට පවත්වාගෙන යන්න. ඒත් ඒවයෙ මිනිසුන් ඒකට කැමති වුණෙ නැහැ. ඒ නිසා ඒ කුමාරවරුන්ගෙ රාජ්‍යත් ප්‍රධාන රාජ්‍යවලට එකතු වුණා. මේ කුමාරවරු මහාරාජලා කියල තමයි හැඳින්වුණෙ.  කාශ්මීරය කියන්නෙ  ඉන්දියාව හා පකිස්තානය අතර පිහිටි කුමාර රාජ්‍යයක්. කාශ්මීරයට පිහිටීම අනුව ඉන්දියාවට හරි පකිස්තානයට හරි එකතු වෙන්න තිබුණා. ඒත් ඒකෙ  මහාරාජා හරි සිං හින්දු භක්තිකයෙක්, ජනතාවගෙන් බහුතරය මුස්ලිම්. මහාරාජාට ඕන වුනෙ ස්වාධීන ව ඉන්න.  



පකිස්තානෙ ඒකට කැමති වුණෙ නැහැ. එදා ඉඳලා ප්‍රශ්නෙ. පකිස්තානෙ කාශ්මීරයට මුස්ලිම් ගෝත්‍රික හමුදා එවුවා. හරි සිං ඉන්දියාවට පැනලා ගියා. ගිහින් කාශ්මීරය ඉන්දියාවට ඇඳුවා. ඉන්දියාව හා පකිස්තානය අතර යුද්ධ පටන් ගත්තා. එක්සත් ජාතින්ගෙ සංවිධානයට ප්‍රශ්නය ගියා.  පකිස්තානයට හමුදා කැඳව ගන්න කිවුව. ඉන්දියාවටත් හමුදාව විශාල ප්‍රමාණයක් ආපහු ගෙන්වා ජනතාවගෙන් අහන්න කිවුවා කොහාට එකතු වෙන්න ද කැමති කියා. ඉන්දියාව ඒකට කැමති වුණා. ඒ කාශ්මීරයෙ නායකයා ශීක් අබ්දුල්ලාට ජනතාව බහුතරයක් කැමති නිසාත් අබ්දුල්ලා ඉන්දියාව සමග එකතු වෙන්න කැමති නිසාත්. ඒත් පකිස්තානෙ කැමති වුණෙ නැහැ. පකිස්තානෙ තමන් යටතෙ තිබුණු ප්‍රදේශය තියා ගත්ත. 1949 ජනවාරි පළමුවැනි දා සටන් විරාමයක් ඇති වුණා කාශ්මීරයෙන් 65%ක් ඉන්දියාවටත් ඉතිරිය පකිස්තානයටත් අයත් වන ලෙස. ඒක තාවකාලික බෙදීමක් ලෙසයි සැලකුණෙ. අවුරුදු හැත්තෑවකට පස්සෙත් තාවකාලික බෙදීම තියෙනවා. ඉතින් යුද්ධ හා විරාම විද්‍යුත් නාලිකා වගේ.



දැන් සති දෙකකට කලින් පෙබරවාරි 14 වැනි දා ඉන්දියාවට අයිති කාශ්මීරෙ පකිස්තානෙ පදනම් වෙච්ච ත්‍රස්තවාදීන් පිරිසක් කාර් බෝම්බයකින් (මරාගෙන මැරෙන) ඉන්දීය භටයන් හතළිහක් පමණ ඝාතනය කළා. මේ ත්‍රස්තවාදී කණ්ඩායම ජයිෂ් එ මොහොමඩ් කියලයි කියන්නෙ. ඔවුන් ඒ ඝාතනය පිළිගෙන තියෙනවා. ඉන්දියාව මේ කණ්ඩායම ඉලක්ක කරගෙන ගුවන් ප්‍රහාරයක් එල්ල කරලා. ඒකෙන් ත්‍රස්තවාදීන් හුඟ දෙනෙක් මැරුණා කියල ඉන්දියාව කියනවා. පකිස්තානෙ ඉන්දියාවට අයත් කාශ්මීරයට ගුවන් ප්‍රහාරයක් එල්ල කරලා. ඉන්දියාව ඊයේ පකිස්තාන ගුවන් ප්‍රදේශයට ප්‍රහාරක ගුවන් යානා දෙකක් යවලා. පකිස්තානය ඒ ගුවන් යානා දෙක බිම හෙලුවා කියල මුලින් කිව්වා.  දැන් කියනව එකයි කියල.



මේ ගුවන් ප්‍රහාරවලින් සාමාන්‍ය මිනිසුන් මැරෙන්නෙ නැහැ කියල හිතන්න අමාරුයි. ඒ වුණත් එක්සත් ජාතීන්ගෙ සංවිධානයට කරන්න පුළුවන් දෙයක් නැහැ. එදා එක්සත් ජාතීන්ගෙ මැදිහත්වීමෙන් කාශ්මීරෙ ඡන්දයක් තියන්න ඉන්දියාව කැමති වුණත් අද ඉන්දියාව ඒකට කැමති නැහැ. එක්සත් ජාතීන්ගෙ සංවිධානය ඕන නම් හොඳ වචන ටිකක් යොදල නිවේදනයක් නිකුත් කරාවි. දෙගොල්ලන්ට ම හති වැටුණ ම නැවත විරාමයක් ගනීවි. හති වැටුණමත් නො වෙයි හති වැටුණ බවක් පෙන්නලා නවතිනවා.



1947 දි ම ඉංගිරිසින්ට තිබුණෙ කාශ්මීර ප්‍රදේශයෙ ඡන්දයක් තියල එකතු වෙන්නෙ ඉනදියාවට ද පකිස්තානයට ද කියල තීරණය කරන්න දෙන්න. නැත්නම්  ඒ කාලෙ මහාරාජා ගත්ත තීරණයට එකඟ වෙලා ස්වාධීන ව පවතින්න උදව් කරන්න. දැවැන්තයො දෙන්නෙක් දෙපැත්තෙ තියාගෙන ස්වාධීන ව ඉන්නවා කියන එකත් ලෙහෙසි නැහැ.  කොහොමත් එක්සත් ජාතීන්ගෙ සංවිධානය විසඳපු ප්‍රශ්න මොනවා ද?  අද හැමෝ ම ප්‍රසිද්ධියේ කියාවි සාකච්ඡා මාර්ගයෙන් විසඳමකට එන්න කියලා. අප්‍රසිද්ධියෙ තම තමන් කැමති රටට උදවු කරාවි.



ජයිෂ එ මොහොමඩ් සංවිධානය කරපු ඝාතනය හරිය කියන්න බැහැ. එහෙත් ඒකට ඉන්දියාව ප්‍රතිචාර දක්වල තියෙන විධිය වැරදයි. ඉන්දියාවෙ ආධාර ලබපු කොටි ලංකාවෙ බෝම්බ පිපිරෙව්වා. ඉන්දියාවෙ කොටි පුහුණු කරන කඳවුරු තිබුණා. ලංකාව ඒ කඳවුරකට ගුවන් ප්‍රහාරයක් එල්ල කළා නම් මොක ද වෙන්නෙ. අප පොඩි රටක් නිසා එහෙම කරන්න බැහැ කියාවි. එතකොට ලොකු රටවල්වලට තමන් ලොකු වීම නිසා ඕන දෙයක් කරන්න පුළුවන් ද? ඕනෑම ත්‍රස්තවාදී සංවිධානයක් කරන ඝාතන අප හෙළා දකින්න ඕන. ඒ වගේ ම අනෙක් රටවලට එල්ල කරන ප්‍රහාරත් අප හෙළා දකින්න ඕන. අප හෙළා දැක්ක කියල ඒව නවතින්නෙ නැහැ. ඒත් අපට අතීතයෙන් පාඩම් තියෙනවා. අප ඒ හෙළා දැකීම්වලින් කරන්නෙ අපේ අනාගතයට රක්‍ෂණයක් ලබා ගැනීම.



ඉන්දියාව අපට කරපු ඒව අපි දන්නවා. පරිප්පු දේශපාලනය මගින් ඔවුන් අප පාලනය කරන්න හැදුවා. ඉන්දියාවට කොටි හා පොදුවේ දෙමළ ජාතිවාදය අප රටට ඇඟිලි ගැසීමට හා අප පාලනය කිරීමට ඇති ආයුධයක්. එහෙත් මුස්ලිම් ත්‍රස්තවාදයට පක්‍ෂ වෙන්නත් අපට බැහැ. එක කරුණක් නම් පැවසිය යුතුයි. මේ යුද්ධ අවස්ථාවල මුළු ඉන්දියාව ම වගෙත් මුළු පකිස්තානය ම වගෙත් තම තමන්ගෙ රටවලට පක්‍ෂපාති වෙනවා. ඒකට අපේ රටේ පඬියන්. ඔවුන් බටහිරයන් විසින් මෙහෙයවෙනවා.