Main Logo

Sunday 3 February 2019

කිල්ලෝටවල කුණු සෙවීම




කිල්ලෝටවල කුණු සෙවීම



කිසිම කෙනකු සර්ව සම්පූර්ණ නැහැ. එමෙන් ම කිසිම කෙනකු සර්ව අසම්පූර්ණ ද නැහැ. සමහරවිට එහෙම ව්‍යවහාරයක් නැතිව ඇති. එය එතරම් ප්‍රශ්නයක් නො වෙයි. අප ජාතිකවාදීන්ට ගෞරව කරනවා. එහෙත් යමකුගේ සුළු අඩුවක් ගැන ඕපාදූපයක් නමුත් දැනගතහොත් ඔහුට විරුද්ධ ව දැඩි ප්‍රහාරයක් අරඹනවා. එවිට අර පුද්ගලයා ගැන යම් විරෝධයක් ඇති අය උඩ පැන පැන තලනවා.  මුහුණු පොතේ මේ ප්‍රවණතාව දැක ගන්න පුළුවන්.




කිසිවකු අත කිසිම වරදක් නැතැයි සිතීම සිංහල බෞද්ධ චින්තනයට අදාළ නැහැ. අප සදාකාලික අපායක් හරි සදාකාලික ස්වර්ගයක් හරි විශ්වාස කරන අය නො වෙයි. මහසෙන් රජු මහාවිහාරය සමතලා කර උඳු වැපිරෙව්වා. එහෙත් ඔහුටත් අප සමාව දුන්නා. දේවදත්තත් යම් දිනක නිවන සාක්‍ෂාත් කරාවි.



මුහුණු පොතේ පළවෙන දේ මා දැන් කියවන්නේ නැහැ. එහෙත් ඇතැම් විට ඇතැම් අය සමහර ප්‍රතිචාර මට එවනවා. මෛත්‍රිපාල ගැන දැඩි වෛරයෙන් පෙළෙන අය මුහුණු පොතේ ඉන්නවා. මා එකල මහින්ද මෛත්‍රිපාලට ශක්තිය දිය යුතු යැයි කී පමණින් මා බොහෝ දෙනාට දුෂ්ඨයකු වුණා. මට අපහාස කළ අය බොහෝමයක්. සමහරු මට සිරිජාතිකවාදියා කියා කිව්වා. මා සමග සිටි බොහෝ අය මා අත්හැර ගියා. ජාතික චින්තන පිටුවලින් මා අයින් කෙරුණා. මගේ ඇතැම් කතා පට මකා දැමුණා. අවුරුදු තිහකට වැඩි කාලයක් මා ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටි බව ඒ අය එක රැයින් අමතක කළා. මා ක්‍රිස්තියානි සදාකාලික අපායට තල්ලු කළා. මේ සමහර ජාතික චින්තකයන් අදටත් මට ගරහනවා. කිහිප දෙනකුට ඒ ගැන කතා කිරීමට මා මුණගැහෙන්න කිවුවත් ඔවුන් එන්නේ නැහැ. ඔවුන් මෛත්‍රිපාල කෙරෙහි දැක් වූ වෛරය දැන් මටත් දක්වනවා. තවත් සමහරු තමන් හෙළ උරුමයෙ හිටපු කාලෙ මට දැක්වූ විරෝධය, වෛරය තවමත් අඩුවක් නැතිව පවත්වාගෙන යනවා. ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්‍ෂය ගැන කියන්න දෙයක් නැහැ.



ඔවුන් දන්නේ නැතිව ඇති මා ජාතික චින්තකයකු නොවන බව. මා හා ගුණදාස අමරසේකර අතර වෙනස්කම් රාශියක් තියෙනවා. මා ඒ බව කියනවා. එහෙත් ඔහුට ගරු කළ යුතු තැන්වල මා එසේ කිරීමට පැකිලෙන්නේ නැහැ.මා ඔහු සලකන්නෙ ජාතිකත්ව දේශපාලන ඉවක් ඇති කවියකු ලෙස. ඔහු තමයි ධර්මපාලතුමාට දේශපාලනයක් ද තිබූ බව කී තැනැත්තා. එහෙත් ඔහු එතුමා ගැන කී/කියන සියල්ල සමග එකඟ වෙන්නෙ නැහැ.  මා ඔහු මෙන් නොව බටහිර සංස්කෘතික ආධිපත්‍යයෙන් මුළුමනින් ම කැඩිලා. ඒකෙන් කියන්නේ නැහැ මා පරිගණක පාවිච්චි කරන්නේ නැහැ කියා. ජාතික චින්තනය කියන්නෙ විජාතික අදහසක්. මා ජාතික චින්තනයෙන් අස් කළ අයට  දොස් කියන්නේ නැහැ.



අද අපට ඇත්තේ මෛත්‍රිපාලගේ හා මහින්දගේ නායකත්වයෙන් සමගිය තර කර පළල් සංධානයක් ගොඩ නැගීමයි. මා ඒ බව කියන්නේ කිසිම චකිතයකින් තොරවයි. මුහුණු පොතේ සියලු දෙනා මට විරුද්ධ වුණත් මට ප්‍රශ්නයක් නැහැ. මගේ ලිවීම අවශ්‍ය යැයි මට සිතෙන තෙක්, ඔබට සිතෙන තෙක් නොව, මා ලියනවා. ඇතැම් ජාතික චින්තකයන් ද ඇතුළු ජාතිකවාදීන්  දැනටමත් සිතන්නේ මා ලිවීම අත්හැරිය යුතු ය කියායි. මා ඔවුන් තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැහැ.



මෛත්‍රිපාල හා මහින්ද එකතුව නිසා රනිල්ගේ ආණ්ඩුව අර්බුදයකට මුහුණ පාලා. රනිල්ට හා සුමන්තිරන්ට නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම ප්‍රශ්නයක් වෙලා. මා කියන්නේ නැහැ ඔවුන් තම උත්සාහය අත්හැර කියා. ඔවුන් විස්සෙන් හරි රිංගන්න බලාවි. 

අප අමතක නොකළ යුතු කරුණක් තියෙනවා. අද මහින්ද ඇතුළු පිරිස මන්ත්‍රී ධුර දරන්නේ මහින්ද අමරවීර කතානායකට යැවූ ලිපිය නිසා බව. එය මෛත්‍රිපාලගේ අනුදැනුම ඇතිව කළ එකක් බව මා විශ්වාස කරනවා.



මහින්ද ජාතිකවාදය පැත්තට නැඹුරු වුණේ ඉතා මෑතක. ඔහු ජාතිකවාදියකු නො වෙයි. වැඩිම වුවහොත් කිව හැක්කේ ඔහු ජාතිකවාදී මතවලට කන් දෙන්නකු බවයි.  මෑතක දී ජාතිකවාදීන් වූ අයට මහින්ද පෙනෙන්නේ හැත්තෑවේ දභකයේත් ඔහු ජාතිකවාදියකු වූ ලෙස. ඔහුගේ දුර්වලකම් රාශියක් තියෙනවා. දිනේෂ් ඔහුට වඩා හොඳ ජාතිකවාදියෙක්. එහෙත් ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කෙළේ  දිනේෂ් නොව මහින්ද. එහි ප්‍රශ්නයක් නැහැ. ජනාධිපති අපේක්‍ෂකයා වන්නේ වැරදි අඩු හොඳම ජාතිකවාදියා නො වෙයි. 

දිනේෂ් ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයා වුවත් එහි කටයුතු කෙරෙන්නේ මහින්දගේ අවශ්‍යතාවට. ඒකාබද්ධ විපක්‍ෂය නැවතත් මහින්දගේ නායකත්වයෙන් රැස්වෙන්න තීරණය කරලා. සමහරු ඒකාබද්ධ විපක්‍ෂයේ වැරදිවලට දිනේෂ්ට තඩිබාන්නේ ඒ බවක් නොදැන ද? අද ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කළ යුත්තේ කවුද කියා ඊනියා ජනතාවට තබා පාක්‍ෂිකයන්ටවත් තීරණය කරන්න බැහැ. එක්සත් ජනපදවල මෙන් මෙහි ප්‍රාථමික තරග නැහැ.



2019 ජනාධිපති අපේක්‍ෂක කවුදැයි අදාළ පුද්ගලයන් මණ්ඩල තීරණය කරාවි. අප ඒ ගැන කලබල විය යුතු නැහැ. මට ගෝඨාභය ගැන මෙන් ම ඊට වඩා විමල් ගැනත් ගම්මන්පිළ ගැනත් ප්‍රශ්න තියෙනවා. දිනේෂ් ගැන ප්‍රශ්න තියෙන්නෙ ඊට අඩුවෙන්. ජී එල් ගැන ප්‍රශ්න තියෙන්නෙ මහා පරිමාණයෙන්. එහෙත් ජනාධිපති අපේක්‍ෂක ලෙස ජී එල් පීරිස් තෝරා ගත්තත් අපට කරන්න දෙයක් නැහැ. මගේ විරුද්ධතාව ඔවුන් සතපහකට ගණන් ගන්නේ නැහැ. ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය ද ඩඩ්ලි සිරිසේන ද කියන ප්‍රශ්නයත් නගන්න පුළුවන්. එහෙත් අප අද කතා කළ යුත්තේ එවැනි දේ නොවෙයි.



මා දිගින් දිගට ම කියා සිටියේ ජනාධිපති අපේක්‍ෂක කවුදැයි තීරණය කිරීමට මේ අවස්ථාව නොවන බවයි. එක් එක් අයට එක් එක් න්‍යාය පත්‍ර ඇති. අප ඒ ගැන දන්නේ නම් සැලකිලිමත් වුණාට කමක් නැහැ. එහෙත්  දැන/නොදැන මුුහුණු පොතට පැමිණීමෙන් සාකච්ඡා කිරීමෙන් සිදු වන්නේ අවැඩක්. භික්‍ෂූන් වහන්සේ පාර්ලිමේන්තුවට වැඩම කිරීමෙන් හා ජාතිකත්වය පාවා දීමෙන් චම්පක බරපතළ පාප කර්මයක් සිදු කර ගත්තා. එකල හෙළ උරුමයේ සිටියවුන්ට ඒ වගකීමෙන් නිදහස් වන්න බැහැ.



කාගෙ කාගෙ කිල්ලෝටවලත් හුණු තියෙනවා. සමහරුන්ගෙ හුණු වැඩි ඇති සමහරුන්ගෙ අඩු ඇති. මේ කිල්ලෝටවල හුණු හොයන කාලයවත් හුණු අඩුම අය තෝරන කාලයවත් නො වෙයි. සමගිය තර කරන කාලය. එහෙත් කාට හරි හුණු හොයන්න ඕන ම නම් අපට ඊට හරහට ඉන්නත් බැහැ.