Main Logo

Tuesday 26 February 2019

අඹ දන් ජෙනීවා



අඹ දන් ජෙනීවා



තවත් ජෙනීවා වාරයක් ඇවිල්ලා. අඹ වාරත් අවුරුද්දකට දෙසැරයක් එනවා. නොවැම්බර් දෙසැම්බර් වාරෙ එතරම් සාර්ථක නැහැ. ජෙනීවා වාර දෙක මාර්තු සැප්තැම්බර් මාසවල. වඩා සාර්ථක කොයි එක ද කියල එහෙ නිතර යන ජනමාධ්‍යවේදියකුගෙන් අහන්න ඕන. මා කියන්නෙ ජනමාධ්‍යවේදියට ම නො වෙයි. මානව අයිතිවාසිකම් කොමසාරිස්ට.




මේ එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසමේ සැසිවාර. මේ කොමිසම මා කියන ජාත්‍යන්තර සුපිරිව්‍යුහයේ සංස්ථාපනයේ. ඒක තියෙන්නෙ අප වැනි රටවල්වලට ඇඟිලි ගහන්න මිසක් කාගෙවත් මානව අයිතිවාසිකමක් රකින්න නො වෙයි. ඒ වුණත් ලංකාවෙ මේ සැසිවාර ඉහළින් වාර්තා වෙනවා. ඊයෙ සැසිවාරය පටන් ගත්ත දවසෙ යාපනයේ කිලිනොච්චියෙ හර්තාලයක්. හර්තාල් කියන්නෙ ඉන්දියන් වචනයක්. මෙරට පළමු වරට හර්තාලයක් කෙරුණෙ 1953 දි. කොහොම හරි වාමාංශික නායකයන්ට ඒකට වචනයක් තිබුණෙ නැහැ. ඔවුන්ට ඉන්දියාවෙන් වචනයක් ගන්න වුණා.



මේ අතර කරන්නාගොඩ අත්අඩංගුවට ගන්න යනවා කියලත් කතාවක් තියෙනවා. ඒ යුද්ධාපරාධයක් නිසා කියලයි කියන්නෙ. යුද්ධාපරාධ වෙන්න මෙහෙ යුද්ධයක් තිබුණෙ නැහැ. ජෙනීවා සැසිවාරවලත් කතා කරන්නෙ යුද්ධාපරාධ ගැන. යුද්ධයක් නැතිව යුද්ධාපරාධ තියෙන්නෙ කොහොම ද? කොටි ත්‍රස්තවාදය පැරදවීම සම්පූර්ණයෙන් ම අභ්‍යන්තර කටයුත්තක්. කෙ දි වැරදි වෙලා තියෙනව නම් ඒක ජාත්‍යන්තරයකට අයිති දෙයක් නො වෙයි. මෙරට සාමාන්‍ය නීතියට හා හමුදා නීතියට පුළුවන් ඒ වැරදි ගැන හොයල බලන්න. ජෙනීවා කොමසාරිස් සනසන්න කරන්නාගොඩ අත්අඩංගුවට ගන්න ඕන නැහැ. සරත් වීරසේකරල කරන්නාගොඩල වගේ නාවික හමුදා නිලධාරීන් සිතාවක රාජසිංහ රජුට හිටිය නම් අප පෘතුගීසීන් ගෝවට පන්නනවා. කලක් චීනෙ වරායවලට පැමිණි ලොකුම නැව් ලංකාවෙන් ආපු ඒව කියල කියනවා. එහෙම තිබිලා කෝට්ටෙ කාලෙ නාවික හමුදාවක් නැති වුණෙ මොකද කියන එක ඊනියා ඉතිහාසඥයන් හොයල බලන්නෙ නැත්තෙ මොක ද?  ඔවුන්ට හොයන්න වෙනත් දේ තියෙනවා. සිංහල බෞද්ධ වැඩවසම් රාජ්‍යයෙ මානව අයිතිවාසිකම් නැති වුණු හැටි. ඔය එක ඊනියා ඉතිහාසඥයෙක් රජරට විශ්වවිද්‍යාලෙ උපකුලපති වෙලා ඉන්න කාලෙ මා වයඹ ගණිත මහාචාර්ය ධුරයට ඉල්ලුවා. ඔහු මගේ මානව අයිතිවාසිකම් කඩ කෙරුවෙ නීතිය පිළිබඳ මහාචාර්යවරයකු ප්‍රතිපාදන කොමිසමට කළ බලපෑම් මත.



මේ මානව අයිතිවාසිකම් කොමිසම එච්චර ගණන් ගන්න ඕනෙ නැහැ. ඊශ්‍රායලයට විරුද්ධ ව හැම අවුරුද්දක ම යෝජනා සම්මත කර ගන්නවා. ඒත් ඊශ්‍රායලය නොවෙයි ඒ යෝජනා ෂෙකල් (ඊශ්‍රායල් මුදල්) සතේකට ගණන් ගන්නෙ. දෙමළ විසුරුණු ජනයා එංගලන්තෙ පිහිටෙන් ඇවිල්ල කොමිසමේ කාමරවල කියන බොරුවලට උත්තර දෙන්න යන එක වෙන ම වැඩක්. කොමිසම ගණන් ගන්න එක තවත් වැඩක්.



අපට ප්‍රශ්නය වෙලා තියෙන්නෙ මංගල සමරවීර ජනාධිපතිටත් නොකියා ලංකාවට විරුද්ධව ගෙනා යෝජනාවකට දායකත්වය දීම. ඒ යෝජනා ගෙනා රටක් වුණ එක්සත් රාජ්‍ය අද ජෙනීවා කොමිසමේ නැහැ. දැන් ලංකාවට තියෙන්නෙ ඒ යෝජනාවට  දැක් වූ දායකත්වය අස්කරගන්න. ජනාධිපති ඒ ගැන ක්‍රියා මාර්ගයක් ගන්නවා කියනවා. ඒකට සහාය දෙනව නම් හොඳයි. එතකොට මංගලට මොක ද කරන්නෙ. ඔහු ඇයි හොඳයිකම් පවත්වන්නවත් සුදුසු මිනිහෙක් ද? ඛෙමාගෙ කොලුවගෙ උත්සවේට එක්සත් රාජ්‍යවලින් වැදගත් අමුත්තන් එනවා. එහෙම නැතිව කෙළෙහි ගුණ සලකන්නෙ කොහොමද? ඛෙමා ලේක්හවුසියෙ වැඩ කෙරුවෙ රනිල්ගෙ තාත්තා එස්මන්ඩ් ඒක පාලනය කළ කාලෙ. මානව අයිතිවාසිකම් කියන්නෙ බටහිරයන් අපට පහර ගහන්න යොදා ගන්න සංකල්පයක් පමණයි. විග්නේස්වරන් උතුරට එක්සත් ජාතීන්ගෙ කාර්යාලයක් ඉල්ලන්නෙ අප තව තවත් මේ ජාත්‍යන්තර සංස්ථාපනයෙ ආධිපත්‍ය යටතට ගන්න.



ඊයෙ ඔස්කාර් සම්මාන පිරිනැමීමේ දී ඉන්දියාව පදනම් කරගෙන නිපදවූ වාර්තා චිත්‍රපටයකට හොඳම කෙටි වාර්තා චිත්‍රපටයට හිමි ත්‍යාගය ලැබිලා. චිත්‍රපටයෙ නම පීරියඩ්: එන්ඩ් ඔෆ් සෙන්ටෙන්ස්. එය අධ්‍යක්‍ෂණය කරල තියෙන්නෙ විසිපස් හැවිරිදි ඉරාන-ඇමරිකානු කාන්තාවක්.චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නෙ ලොස් ඇනජලිස්හි පාසලක ගුරුවරියක හා ඇගේ ශිෂ්‍යාවන් පිරිසක් පෑඩ් නම් සංවිධානයක් මගින්.  මෙය ඉන්දිය කාන්තාවන්ගෙ මානව අයිතිවාසිකම් පිළිබඳ ජයග්‍රහණයක් ලෙසයි සැලකෙන්නෙ. ඔන්න ලංකාවෙ කාට හරි ඔස්කාර් සම්මානයක් දිනගන්න ඕන නම් ක්‍රමයක්. මින් ඉස්සර තනි තට්ට, සුළං ඒම වගේ සිංහල බෞද්ධ විරෝධී චිත්‍රපට හැදුවත් ඔස්කාර් අහළකටවත් යන්න බැරි වුණා. නරක ද අර සමනළ චිත්‍රපටයක් නිපදවල ලංකාව කොතරම් පසුගාමි දැයි කීම. රන්ජන් රාමනායකට බැරි වුණා ද මැති ඇමති සමනළයන් අල්ල ගන්න. කාලෝ මාමා විද්‍යාත්මක සහායක් දේවි. එයාගෙ පරීක්‍ෂණාගාර සහායකයෙක් අරක්කු බීල  විද්‍යාත්මක ව ගිනි පෑගුව නෙ. අපරාදෙ ඒ කාලෙ කොකේන් තිබුණෙ නැහැ.  ගිනි පෑගීමෙත් ගින්නෙන් උපන් සීතලක් තිබුණ ද? කාලො මාමාගෙ තවත් නළු බෑණා කෙනකු වූ විජය කුමාරතුංග මැරුවෙ ගින්නෙන් උපන් සීතලෙන් ද? ගිනි පෑගුවට පස්සෙ කාලෝ මාමා කරපු විද්‍යා පරයේෂණ මොනව ද කියල රන්ජන් බැණා කියනවා ද?  කාලො මාමා ඊනියා විද්‍යාත්මක ක්‍රමය ගැන මාත් එක්ක විවාදයකට එන්නෙ නැත්තෙ ඇයි? කාලො මාමාට විද්‍යාත්මක ක්‍රමය ගැන චතුර අල්විස්ගෙන් දැන ගන්න පුළුවන්.



ඉන්දියාව පදනම් කර ගෙන ලොස් ඇන්ජලීස් පැඩ් සංවිධාන නිර්මාණය කළ වාර්තා චිත්‍රපටයෙන් නිරූපණය වෙනවා කියන්නෙ ඉන්දීය කාන්තාවන් ඔසප් චක්‍රය සමග බැඳුණු ඊනියා කැලලට විරුද්ධව කටයුතු කළ ආකාරය. ඔසප් චක්‍රයට එක් එක් සංස්කෘතියෙ එක් එක් අර්ථනිරූපණ, සමාජයීය ආකල්ප තියෙන්නෙ. ඒ ආකල්ප බටහිර ආකල්පවලින් මැනල හරි ද වැරදි ද කියල කියන්නෙ කොහොම ද? මේ චිත්‍රපටයට ඔස්කාර් සම්මානයක් ලැබෙන්න ඇත්තෙ ඒකෙ තියෙන ඊනියා සිනමාරූපී අත්දැකීමකට වඩා බටහිර සමාජයෙ ඉන්දියාව නොදියුණු පසුගාමි සමාජයක් ලෙස නිරූපණය වන නිසා ය යනු මගේ මතයයි. චිත්‍රපටය නරඹන්නෙ නැතිව එහෙම කියන්නෙ කොහොමද කියල පඬියකු අහන්න බැරි නැහැ. බටහිර සමාජයෙ සංස්කෘතික ආධිපත්‍යය ගැන මගේ තියෙන අත්දැකීම්වලින් තමයි මා ඒ බව කියන්නෙ. සිනමාරූපී බව මනින්නෙත් බටහිර කෝදුවෙන් බව අමතක කරන්න එපා. කොහොමටත් මෝදි මේ ගැන මොකද කියන්නෙ?



අප ජෙනීවා සැසිවාරයට කිව යුත්තේ අපේ අඹ වාරය තවම පැමිණ නැති නිසා අප මේ සැසි වාරය සතපහකට ගණන් ගන්නෙ නැති බව පමණයි. කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම අපේ අභ්‍යන්තර වැඩක්. ඒක ඊනියා යුද්ධයක් නො වෙයි. සිවිල් යුද්ධයක් කියන්නෙ මොකක් ද කියල ලංකාවෙ ඉන්න ඊනියා දේශපාලන විද්‍යාඥයකුට කියන්න පුළුවන් ද?  මේ ඊනියා දේශපාලන විද්‍යාඥයන් බටහිර දේශපාලන විද්‍යාවට එකතු කරපු සංකල්පයක් ප්‍රවාදයක් තියෙනවා ද? නිකමට පාහෙ දැන ගන්නයි අහන්නෙ. කලබල වෙන්න එපා.