Main Logo

Tuesday 19 February 2019

ව්‍යවස්ථා සභා විදග්ධයන්


ව්‍යවස්ථා සභා විදග්ධයන්



මා දේශපාලනඥයකුවත්, ජනමාධ්‍යවේදියකුවත්, ජනමාධ්‍ය අයිතිකරුවකුවත්, විද්වතකුවත්, නීතිඥයකුවත්, විිද්‍යාඥයකුවත්, වෛද්‍යවරයකුවත්, ඉංජිනේරුවරයකුවත්, කළමනාකරුවකුවත්, රණවිරුවකුවත්, කලාකරුවකුවත්, මුදල් විශුද්ධිකරුවකුවත්, ව්‍යාපාරිකයකුවත්,  ක්‍රීඩකයකුවත්, මත්ද්‍රව්‍ය භාවිතාකරන අයකුවත්, පාතාලයකුවත්, දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකුවත් (අයි ආර් සී), ස්ත්‍රී දූෂයකුවත්, රූපලාවන්‍ය ශිල්පියකුවත්, නළුවකුවත්, ගායකයකුවත්, නො වෙයි. මගේ අදහස් එබැවින් හෝ මගේ අදහස්වල වැදගත්කමක් නැති නිසා හෝ වෙනත් කරුණක් නිසා හෝ ඉහත සඳහන් කිසිවකුගේවත් අවධානයට යොමු වන්නේ නැහැ. එසේ වුවත් මේ කරුණු සඳහන් කිරීම මට වැදගත්. එබැවින් මා දිනපතා ලියනවා. මට මූලික වශයෙන් අවශ්‍ය බටහිර ක්‍රිස්තියානි නූතනත්ව දැනුම් ආධිපත්‍යයෙන් මිදෙන්න. සමහරවිට ඉහත කී කිසිවකුටවත් ඒ අවශ්‍යතාව නැතිවන්න පුළුවන්. මා ලියන ලිපි කියවන සුළු පිරිසක් ඉන්නවා. එහෙත් ඔවුන්ට සමාජයට බලපෑමක් කිරීමේ හැකියාවක් නැහැ.




අද ව්‍යවස්ථා සභාව ගැන බොහෝ දෙනා කතා කරනවා. එහි දූෂණ, අක්‍රමිකතා ආදිය ජනමාධ්‍යයේ කතා වෙනවා. දැන් සේනා දළඹුවා, ආවා කල්ලිය ආදිය ගැන කතා නැති හෙයින් අද වඩාත් ම ජනප්‍රිය මාතෘකා වී ඇත්තේ මධූෂ් හා ව්‍යවස්ථා සභාවයි. මෛත්‍රී සිද්ධාර්ථන් රනිල් සමග ඡායාරූපවලට පෙනී සිටීමෙන් පසු වාර්තා කළ යුතු යමක් සිදු වී නැතිවා වගෙයි. මට තේරෙන්නෙ නැත්තෙ ව්‍යවස්ථා සභාව ගැන කතා කරන උදවිය එය කල් ඉකුත් වූවක් ලෙස නොසලකන්නේ ඇයි ද යන්න. අද කළ යුත්තේ මේ කල් ඉකුත් වූ ව්‍යවස්ථා සභාව වහාම වෙනස් කිරීමයි.



එහෙත් ව්‍යවස්ථා සභාව වෙනස් කිරීමට කිසිවකු උත්සාහ ගන්නා බවක් පේන්න නැහැ. මා නම් හිතන්නේ මහින්ද විපක්‍ෂ නායක වූ විගස ව්‍යවස්ථා සභාව වෙනස් කළ යුතුව තිබූ බවයි. සමහරවිට මා වැරදි යැයි ජනමාධ්‍යවේදීන්, දේශපාලනඥයන් හා නීතිඥයන් සිතනවා ඇති. සම්බන්ධන්  විපක්‍ෂ නායක ව සිටි සමයේ ව්‍යවස්ථා සභාවට පත් කෙරුණු ඊනියා විදග්ධයන් හා විශිෂ්ටයන් ඉල්ලා අස්වේය කියා හිතන්න අමාරුයි. ඔවුන්ගේ විශිෂ්ටත්වය ඉතා ඉහළයි.



ව්‍යවස්ථා සභාවෙ අගමැති හා විපක්‍ෂ නායක යෝජනා අනුව පත් කෙරුණු සාමාජිකයන්ගෙ ධුර කාලය සඳහන් වන්නේ පහත සඳහන් අනුව්‍යවස්ථාවෙ.

“41(8)ඃ මේ ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවේ (ඈ) ඡෙදය, (ඉ) ඡෙදය සහ (ඊ) ඡෙදය යටතේ පත්කරන ලද සභාවේ සෑම සාමාජිකයකු ම විසින්, ජනාධිපතිවරයා අමතා යවන ලිපියක් මගින් ඔහුගේ ධූරයෙන් කලින් ඉල්ලා අස්වුවහොත් හෝ ඔහුට තම ධූරයේ කටයුතු තවදුරටත් කරගෙන යාමට නොහැකි ශාරීරික හෝ මානසික අශක්නුතාවයකට පත්ව ඇති බවට අග‍්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා යන දෙදෙනාම මතයක් ඇතිකර ගන්නා අවස්ථාවක ඒ මත ජනාධිපතිවරයා විසින් ධුරයෙන් ඉවත් කරනු ලැබුවහොත් හෝ චරිත දූෂණ වරදක් සම්බන්ධයෙන් යම් අධිකරණයක් විසින් ඔහු වරදකරු කරනු ලැබුවහොත් හෝ ඔහු විෂයෙහි ප‍්‍රජා අශක්නුතා නියම කිරීමේ යෝජනා සම්මතයක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 81 වන ව්‍යවස්ථාවට අනුකූලව සම්මත කරනු ලැබ ඇත්නම් හෝ 41ඉ ව්‍යවස්ථාවේ (7) වන අනු ව්‍යවස්ථාව යටතේ ඔහු සිය ධූරය හැර ගියාක් සේ සලකනු ලබන්නේ නම් හෝ මිස, එවැනි සාමාජිකයකු වශයෙන් ඔහු පත් කරනු ලැබූ දින සිට අවුරුදු තුනක කාලයක් ධූරය දැරිය යුත්තේ ය.”



ඒ අනුව යමකුට තර්ක කරන්න පුළුවන් අගමැති හෝ විපක්‍ෂ නායක හෝ වෙනස් වූ විටෙක ඔවුන්ගේ නාම යෝජනා මත පත් වූ අය ඉවත් වීම අවශ්‍ය නැත කියා. එයට හේතුව එසේ ඉවත් විය යුතු බවට ඉහත සඳහන් 41(8) අනුව්‍යවස්ථාවේ සඳහන් වී නොමැති වීම කියා කියන්න පුළුවන්. ඉතා පැහැදිලි ව මේ අනුව්‍යවස්ථාව කෙටුම්පත් කෙරී ඇත්තේ පාර්ලිමේන්තු කාලයක අගමැති විපක්‍ෂ නායක වෙනස් නොවන්නේ ය යන උපකල්පනයෙන්. අගමැති/විපක්‍ෂ නායක වෙනස් වුවහොත් කළ යුත්තේ කුමක් දැයි 41 ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ නැහැ. එහෙත් එපමණින් එවැනි අවසථාවක් පැන නැගුණ විට නෑසු කන් නොදුටු ඇස් ඇතිව සිටිය යුතු යැයි ගම්‍ය වන්නේ නැහැ.  මේ සියල්ල කඩිමුඩියේ සම්මත කෙරුණු දහනවවැනි ව්‍යවස්ථාවේ අඩුපාඩු. තවදුරටත් කිව යුත්තේ මෙහි අගමැති විපක්‍ෂ නායක පුද්ගලයන් මිස ධුර නොවන බවයි.



ඒ කෙසේ වෙතත් මා පෙරේදා කතානායක නිදි ද යන මැයෙන් ලියූ ලිපියෙහි එක් අනුව්‍යවස්ථාවක් තිබෙනවා සම්බන්ධන් හා රනිල් මගින් පත් වූ අය ඉවත් කිරීමට. ඒ අනුව්‍යවස්ථාව නැවත ඉදිරිපත් කරන්නම්. “41 (3) : මේ ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදය හෝ (ඊ) ඡේදය යටතේ වන පත්කිරීම් සඳහා වූ නාම යෝජනා, ඒ නාම යෝජනා කිරීමේ අවශ්‍යතාවය පැන නගින කවර හෝ අවස්ථාවන්හිදී සිදු කිරීමට වගබලා ගැනීම කථානායකවරයාගේ කාර්යය වන්නේ ය.”



ඒ අනුව නාම යෝජනා කිරීමේ අවශ්‍යතාව පැන නගින කවර හෝ අවස්ථාවන්හි එසේ කිරීමට වගබලා ගැනීම කතානායකගේ කාර්යයක් වෙනවා. මෙහි වැදගත් වචන වන්නේ කවර හෝ අවස්ථාවන්හි දී යන්නයි.  ඒ අවස්ථා 41(8) අනුව්‍යවස්ථාවෙන් කියැවෙන අවස්ථාවලට පමණක් සීමා වන්නේ නැහැ. රනිල් හා සම්බන්ධන් එක් වී නාම යොාජනා අනුව පත්කෙරුණු විද්වත් විශිෂ්ට සභිකයන්ට යෑමට කාලය ඇවිත්. ඔවුන් යන්නේ නැත්නම් ඒ විද්වතුන් යැවීමට 41(3)න් බලය ලැබෙනවා. 



නීතියට විවිධ අර්ථකථන තිබෙන බව මා දන්නවා. එහෙත් 41(8)  අනුව්‍යවස්ථාව මත පමණක් පදනම් වීම අවශ්‍ය නැති බවයි මගේ තර්කය.