Main Logo

Friday 8 February 2019

බැසිල්ගේ වික්‍රම




බැසිල්ගේ වික්‍රම



බැසිල් රාජපක්‍ෂ සිතනවා ඇති ඔහු සමග විවාද කිරීමට තරම් මා සුදුසු පුද්ගලයකු නො වේ කියා. ඔහු දෙමළ ජනයාට ඇතැයි කියන ප්‍රශ්න සම්බන්ධයෙන් මා සමග විවාදයකට එළඹෙන ලෙස ආරාධනය කළත් ඔහු ඒ ගැන කිසිම ප්‍රතිචාරයක් දක්වා නැහැ. මගේ ආරාධනය ඔහුට විද්‍යුත් තැපෑලෙන් දන්වා ඇති. ඒ නිසා ඔහු එ ආරාධනය ගැන නොදන්නේ යැයි සිතන්න බැහැ. මා ඔහුට කියා සිටියේ ඔහු සුළු කාලයක දී මට ප්‍රතිචාර නොදැක්වුවහොත් මා ඔහුට පිළිතුරු දෙන බවයි. ඒ අනුව මා ඔහුට පිළිතුරු දීම අරඹනවා.




මෙය බැසිල්ගේ කිල්ලෝටයේ හුණු හෙවීමක් නොවෙයි. කිල්ලෝටවල හුණු හොයන්නන් එසේ කරන්නේ විජාතික බලවේගවලට එරෙහි කඳවුර බිඳවීමට. විජාතික බලවේගවලට එරෙහි කඳවුර ජාතිකත්ව හෝ ජාතිකවාදී හෝ කඳවුර යැයි නම් කරන්නේ නැහැ. එයට හේතුව ඒ කඳවුරේ ජාතිකවාදී නොවූ පුද්ගලයන් ද සිටීම. බැසිල් මේ කඳවුර එකතු කිරීමට වැඩ කරන්නෙක් නොවෙයි. ඔහු අනෙක් අයගේ කිල්ලෝටවල කුණු හොයන්නේ (පෙන්නන්නේ) නැහැ. ඔහු කියන්නේ අනෙක් අයගේ කිල්ලෝට අවශ්‍ය නැහැ කියා. බැසිලිකාවේ පූජකයන්ට මා කියන දේ තේරෙන්නේ නැතිවාට මට කරන්න දෙයක් නැහැ.    



බැසිල් මා නොවැදගත් පුද්ගලයකු ලෙස සිතා සිටිනවා නම් මට කරන්න දෙයක් නැහැ. ඒක එහෙම වෙන්නත් ඇති. ඔහු ගාමිණි දිසානායක ළඟ වැඩ කරන කාලයේත් මා එ ජා පක්‍ෂයට විරුද්ධයි. මා මාක්ස්වාදියකු ව සිට තිබෙනවා. මා දැන් ජාතිකවාදියෙක්. ඒ නිසා මා නොවැදගත් පුද්ගලයකු වීමට ඉඩ තියෙනවා. මා එදා එ ජා ප විරෝධියකු වූයේ එ ජා පක්‍ෂය (ගාමිණී දිසානායක ද ඇතුළත්) යටත්විජිතවාදී පක්‍ෂයක් වූ නිසා. මා අද එ ජා පක්‍ෂයට විරුද්ධ වන්නේ එය විජාතික චින්තනයක පක්‍ෂයක් නිසා. එ ජා ප විරෝධය මට හුදු සටන් පාඨයක් නො වෙයි. සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව බටහිර ක්‍රිස්තියානි නූතනත්වය වෙනුවෙන් පෙනී සිටින එ ජා පක්‍ෂය දේශපාලනයෙන් අතුගා දැමිය යුතුයි.



බැසිල්ගේ පක්‍ෂයේ සභාපති ජී එල් පීරිස් ද මා නොවැදගත් පුද්ගලයකු බවට සිතනවා ඇති. අද පොහොට්ටුව් සභාපති වුවත් ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති පදවිය දරද්දී ප්‍රේමදාසට සේවය කළ අයෙක්. ඔහු තමයි මගෙන් විශ්වවිද්‍යාලයේ ජාතික චින්තනය උගන්වන්නේ ඇයි ද කියා ප්‍රශ්න කෙළේ. ජාතික චින්තනය මගේ සංකල්පයක් නො වෙයි. එය ගුණදාස අමරසේකර බටහිර ලේඛකයකුගෙන් ලබා ගත් අදහසක් පමණයි. එයත් විජාතික සංකල්පයක්. මගේ සංකල්පය වූයේ චින්තනය යන්නයි. මගේ ලෝකයේ ඇත්තේ චින්තනය පිළිබඳ කතාව.  අවාසනාවකට රටේ අපට පක්‍ෂ මෙන් ම විපක්‍ෂ බොහෝ දෙනකු එදත් අදත් සිතන්නේ අමරසේකර මහතා හා මා කියන්නේ එක ම දෙයක් බවයි.  එය මට එදත් අදත් තරමක කරදරයක් වී ඇති නමුත් මා ජාතික චින්තන අදහස වෙනුවෙන් ද පෙනී සිටියා. මා එක්වර ම ජී එල් පිරිස් උපකුලපතිට කිව්වේ අනෙක් අයට විජාතික චින්තනය උගන්වන්න හොඳ නම් මා ජාතික චින්තනය ඉගැන්වීමේ ඇති වරද කුමක් ද කියා. මේ සාකච්ඡාවලින් ටික කලකට පසු මගේ වැඩ තහනම් කෙරී පසුව මා අස්කරනු ලැබුවා. ජී එල් පිරිස් බැසිල්ගේ පක්‍ෂයේ සභාපති වීම මට පුදුමයක් නො වෙයි.



ජී එල් පිරිස් දෙමළ ජනයාගේ ඊනියා ප්‍රශ්නය විසඳීම සඳහා පැකේජයක් ගෙන ඒමට චන්ද්‍රිකාට උදව් කළ අයෙක්. මංගලලා සමග සුදු නෙළුම් ගෙන අවලම් තවලම් ගිය අයෙක්. ජී එල්වත්  බැසිල්වත් තමන් ප්‍රතිපත්ති වෙනස් කර ගත් බවක් පවසා නැහැ. ඔවුන් තම ප්‍රතිපත්ති විවේචනය කර නැහැ. ජී එල් පීරිස් සමගාමි ලැයිස්තුව අස්කර ගන්නා බවට ලිපියක් දී ඇත්තේ වැඩි කලකට පෙර නො වෙයි. බැසිල් එකල ලඟ එන නන්දිකඩාල් ජයග්‍රහණය පාවාදිමේ ප්‍රධානියකු ලෙස ක්‍රියා කෙළේ 2008 - 2009 කාලයේදීයි.



අපි මේ සියල්ල සාකච්ඡා කරමු. අපට නොතේරෙන බැසිල්ට හා රාජ්‍ය නොවන පඬියන්ට තේරෙන ඊනියා දෙමළ ප්‍රශ්නය ගැනත් සාකච්ඡා කරමු. එහෙත් එයට පෙර පසුගිය දා බැසිල් මාධ්‍ය සාකච්ඡාවක දී කියා ඇති දෙයක් ගැන වචනයක් කීම වැදගත් වෙනවා. ඔහු කියා ඇති දෙය ලංකාලීඩ් නිව්ස් වෙබ් අඩවියේ සඳහන් වූයේ මෙසේයි.



මේ වෙද්දි නොයෙකුත් දේශපාලකයින් මැතිවරණ සම්බන්ධයෙන් විවිධ අදහස් දක්වමින් තිබෙනවා. සමහරෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්නොවුණොත් මැතිවරණ ජය ගන්න නොහැකි බව සමාජගත කරන්න උත්සාහ කරමින් සිටින බව පේනවා.



මේ වැරදි මතය නිවැරදි විය යුතුයි. පොහොට්ටුව හා අත සලකුණු එකතු නොවුණත් අපිට මැතිවරණ ජය ගැනීමේ හැකියාව තියෙනවා. අපි ඒ බව ඔප්පු කරලා තිබෙනවා. හැබැයි මේ පක්ෂ දෙක එකතු වුණොත් එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට පත්කිරීමේ හැකියාව තිබෙනවා.



මා ද ක්‍රියාකාරී දේශපාලනයේ නිරත නොවූවත් පොහොට්ටුවට ශ්‍රී ල නි ප/ එ ජ නි ස සමග එක්නොවුණොත් මැතිවරණ ජයගැනීමට බැරිය කියන මතයේ සිටින අයෙක්. මට එය සමාජගත කිරීමට ජනමාධ්‍ය ඉඩ දෙන්නේ නැහැ. නැත්නම් මාත් කැමතියි ඒ මතය සමාජගත කිරීමට. 2018 ඔක්තෝම්බර් 26 වැනි දා රනිල්ගේ ආණ්ඩුව පන්නා මහින්ද ව්‍යවස්ථානුකූල ව  අගමැති කිරීමට හැකි වූයේ මේ එක්වීම නිසයි. එහෙත් එක්වීම තහවුරු කිරීමට කටයුතු නොකළ අය විජාතික බලවේගවලට විරුද්ධ කඳවුරේ හිටියා.



පසුගිය පෙබරවාරි මැතිවරණයෙන් පොහොට්ටුවට අනෙක් පක්‍ෂවලට වඩා ඡන්දයක් ලැබුණු බව ඇත්ත. එහෙත් ඔවුන්ට තනිිව ම පළාත් ආයතන කීයක බලය අල්ලා ගැනීමට හැකි වුණා ද? ඔවුන්ට තනිව ම  මැතිවරණ ජයග්‍රහණය කිරීමේ හැකියාවක් ඇති බවක් ඔවුන් ඔප්පු කර නැහැ. එදා ඔවුන්ට 46% ක පමණ ඡන්දයක් ලැබුණා. ශ්‍රී ල නි පක්‍ෂයට හා එ ජ න සංධානයට 16%ක පමණ ඡන්දයක් ලැබුණා. අද ජනාධිපතිවරණයක් තිබ්බොත් සහ පොහොට්ටුව හා බුලත් කොළය වෙන ම තරග කළොත් පොහොට්ටුවට ජයගත හැකි යැයි සිතනවා ද? රනිල්ගේ අපේක්‍ෂකයකු ද සහභාගි වන තුන්කොන් සටනක දී කිසිවකුට 50%ක ඡන්දයක් ලැබෙන එකක් නැහැ. අද එදාට වඩා මෛත්‍රිපාලට ඡන්ද තියෙන බවත් ඒ වැඩි ඡන්දවලින් වැඩි ප්‍රමාණයක් පොහොට්ටුවෙන් ලැබී ඇති බවත් මගේ විශ්වාසයයි. තුන්කොන් තරගයක් තිබ්බොත් රාජපක්‍ෂලාගේ දේශපාලනය අවසන් වනු ඇති. එහෙත් මා එය අපේක්‍ෂා කරනවා නො වෙයි.  



බැසිල් කියනවා පොහොට්ටුව හා බුලත් කොළය එකතු වුණොත් එ ජා පක්‍ෂය අන්තපරාජයකට පත් කිරීමේ හැකියාව තියෙනවා කියා. එහෙම නම් කිය කිය ඉන්නෙ නැතිව එකතුව සඳහා උද්‍යොගයෙන් ක්‍රියාකාරී විය යුතුයි. ඇල් මැරෙන ප්‍රකාශ කෙරීමෙන් වැඩක් වන්නේ විජාතික බලවේගවල එ ජා පක්‍ෂයට මිස එයට විරුද්ධ කඳවුරට නො වෙයි. (මතු සම්බන්ධයි)