Main Logo

Sunday 17 February 2019

කතානායක නිදි ද?

කතානායක නිදි ද? 

විනිසුරුවරුන් කිහිප දෙනකු තමන්ට නිසි උසස්වීම් (පත්වීම්) නොලැබුණු බව දන්වමින් ව්‍යවස්ථා සභාවට විරුද්ධ ව ශ්‍රෙෂ්ඨාධිකරණයට යෑමට බලාපොරොත්තු වන බවට වාර්තා වෙනවා. වාර්තා වන අන්දමට විනිසුරුවරුන් තම මානව අයිතිවාසිකම් කඩවීමක් පිලිබඳ පැමිණිලි කිරීමටයි සූදානම් වන්නෙ. තම ජ්‍යෙෂ්ඨත්වය නොසලකන්නේ නම් සලකන්නේ කිනම් සුදුසුකමක් දැයි දැනගැනීමට ඔවුන් කැමති වෙනවා ඇති. එය තම අයිතිවාසිකමක් ලෙසින් ද ඔවුන් සලකන බවයි පෙනී යන්නේ. මෙහෙමත් දේවල් රනිල්ගේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී පාරදෘශ්‍ය ආණ්ඩුවට පෙර අසන්න ලැබුණා ද?


අප කිහිප විටක් ම පෙන්නුම් කෙළේ ව්‍යවස්ථා සභාව යනු රනිල් තම අවශ්‍යතා ඉටු කර ගැනීමට පත්කර ඇති රූකඩයක් බවයි. එය ඔහුගේ බළල් අත. අපට පෙනෙන්නේ රුකඩය පමණයි. රූකඩය නටවන්නා පෙනෙන්නේ නැහැ. අපට බළලා කොස් ඇට බානවා පෙනෙනවා. එහෙත් බළලා ලවා කොස් ඇට බාවන්නේ කවුදැයි පෙනෙන්නේ නැහැ. රුකඩයවත් බළලාවත් ස්වාධීන නැහැ. රනිල් කෑ ගහ ගහා කියනවා රූකඩයත් බළලාත් ස්වාධීන කියල. ඒ කෑ ගැහිල්ලෙන් ම කියන්න පුළුවන් රූකඩයත් බළලත් හසුරුවන්නෙ කවුද කියලා.

මේ පාර්ලිමේන්තුවට තව අවුරුද්දයි මාස හතක් පමණ තියෙනවා. තව අවුරුද්දකින් පමණ ජනාධිපතිට එය විසුරුවා හරින්න පුළුවන්. එහෙත් මෛත්‍රිපාල සිරිසේන නැවතත් ජනාධිපති වුණොත් මිස ඒ වන විට ඉන්නේ වෙනත් ජනාධිපති කෙනෙක්. එයට කලින් විස්ස හරි මොකක් හරි සම්මත කර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට විධායක බලය ගෙනෙන්නත් ඉඩ තියෙනවා. දහනවයත් සම්මත වුණු එකේ අපට කිසි දෙයක් ගැනවත් කිසිවකු ගැනවත් විශ්වාසයක් තියන්න බැහැ.

රනිල්ට පාර්ලිමේන්තුවේ තියෙන්නේ ඡන්ද 103ක් පමණයි. ඔහුට හා ආණ්ඩුවට විරුද්ධව  කිසිවකු විශ්වාසංග යෝජනාවක් ගෙනන්නේ නැහැ. මහින්දගෙ ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනා ගෙනා ජ වි පෙ දැන් නිහඬයි. ඒ කියන්නෙ පාර්ලිමේන්තුවෙ හා පිටත අනුර දාසනායකලා මොන බයිලා කිව්වත් ආණ්ඩුව කෙරෙහි ඔවුන්ට විශ්වාසයක් තියෙන බවයි. ආණ්ඩුව ගැන ඔවුන්ට කිසිම අවිශ්වාසයක් නැද්ද?

ඉතා පැහැදිලිව ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවෙත් දෙමළ ජාතික සංධානයත් ජ වි පෙරමුණත් ආණ්ඩුව රකීවි. මහින්දට හා විපක්‍ෂයට පුළුවන් මොකද වෙන්නෙ කියල බලන්න ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගේන්න. අඩු ගණනේ කතානායක ඒක ගනීවි ද කියල බලන්නවත් පුළුවන්. මහින්දට විරුද්ධව විජිත හේරත් ගෙනාපු විශ්වාසභංග යෝජනාව කරුණාරත්න ජයසූරිය පිළිගත්තෙ කිසි වගවිභාගයක් නැතිව. කතානායකත් ස්වාධීනයි නෙ.

අප කලිනුත් ව්‍යවස්ථා සභාව පිළිබඳ ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ සඳහන් දේ උපුටා දක්වල තියෙනවා. අප එය නැවතත් උපුටා දක්වන්නෙ වැදගත් හේතුවක් නිසා.

“41අ. (1) පහත දැක්වෙන සාමාජිකයන්ගෙන් සමන්විත වන, (මේ පරිච්ඡෙදයේ ”සභාව” යනුවෙන් සඳහන් කරනු ලබන) ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවක් තිබිය යුත්තේ ය :-
(අ) අග‍්‍රාමාත්‍යවරයා,
(ආ) කථානායකවරයා,
(ඇ) පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකවරයා,
(ඈ) ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු එක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්,
(ඉ) අග‍්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා යන දෙදෙනාගේ ම නාමයෝජනා කිරීම මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු වූ ද, දෙදෙනෙක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයන් විය යුතු වූ ද, තැනැත්තන් පස් දෙනෙ ක්, සහ
(ඊ) අග‍්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා අයත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් හෝ නොවන පාර්ලිමේන්තුවේ නියෝජනය ඇති අනෙකුත් දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයන්ගේ බහුතරයේ එකාගත්වය මත නාම යෝජනා කොට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන එක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්.
(2) කථානායකවරයා සභාවේ සභාපතිවරයා විය යුත්තේ ය.
(3) මේ ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදය හෝ (ඊ) ඡේදය යටතේ වන පත්කිරීම් සඳහා වූ නාම යෝජනා, ඒ නාම යෝජනා කිරීමේ අවශ්‍යතාවය පැන නගින කවර හෝ අවස්ථාවන්හිදී සිදු කිරීමට වගබලා ගැනීම කථානායකවරයාගේ කාර්යය වන්නේ ය.”

මෙහි 1(ඉ) යටතෙ පස් දෙනකු පත් කෙරෙන්නෙ අගමැතිගෙ හා විපක්‍ෂ නායකගෙ නාමයෝජනා කිරීම මත. දැන් ඉන්නෙ සම්බන්ධන් විපක්‍ෂ නායක කාලෙ පත්කරපු අය. වාසුදේව කියල තිබුණ එසේ පත් කෙරුණු අය අස්විය යුතු ය කියා. ජයන්ත ධනපාල ඊනියා ඉංගිරිසි උගතුන් අතර ප්‍රසිද්ධ විශිෂ්ට පුද්ගලයකු ලෙස. ඔහු අස්වෙලා තමන්ගෙ විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරයි ද? ඕකෙ තව ඉන්නවා සෙල්වකුමාරන් කියල කොළඹ විශ්වවිද්‍යාලෙ නීති පීඨෙ හිටපු ආචාර්යවරයෙක්. ඔහු තාමත් ඉන්නවද දන්නෙ නැහැ. මා ඉන්න කාලෙ නම් හිටිය. ජී එල් පීරිස් ඔහුගෙන් වැඩත් ගත්ත. මට කොළඹ විශ්වවිද්‍යාලයෙන් එවපු චෝදනා පත්තරේ නීති පාරිභාෂික වචන යොදල සකස් කරළ තිබුණෙ.  ජී එල් පිරිස් දන්නව ඇති ඒක කෙටුම්පත් කෙළෙ කවුද කියලා. දැන්වත් ජී එල් ඒක කියන එකක් නැහැ. ඔහු මහින්දගෙ විශ්වාසය දිනාගත් සදාචාරාත්මක බුද්ධිමතෙක්. මං අහන්නෙ ජී එල්ගෙ මිත්‍ර සෙල්වකුමාරන් ව්‍යවස්ථා සභාවෙන් අස්වෙයි ද? ඔහුත් සදාචාරාත්මක ද?

මොවුන් අස් වුණත් නැතත් ඉහත සඳහන් (3) වැනි අනුව්‍යවස්ථාවෙ කියන්නෙ 1(ඉ) (ඊ) යටතෙ නාම යෝජනා සිදු කිරීමේ අවශ්‍යතාව පැන නගින අවස්ථාවක ඒ සිදු කිරීමට කතානායක වග බලාගත යුතුයි කියලා. දැන් විපක්‍ෂ නායක මහින්ද. එවිට 1(ඉ) (ඊ) යටතෙ අලුතෙන් නාම යෝජනා කිරීමේ අවශ්‍යතාවක් පැන නැගිල තියෙනවා. කතානායක කරුණාරත්න ජයසූරිය නිදි ද?   අර සීනුව නාද කරනවා ද? මා කිව්වෙ පාර්ලිමේන්තුවෙ සීනුව මිසක් ජ වි පෙ සීනුව නො වෙයි.