Main Logo

Friday 15 February 2019

අනේ රනිල්


අනේ රනිල්



රනිල් කියන්නෙ එ ජා පක්‍ෂය එක අකුරක්වත් ව්‍යවස්ථාදායක මණ්ඩලයට ලියල නැහැ කියලා. ව්‍යවස්ථාදායක මණ්ඩලය කියන්නේ ව්‍යවස්ථා සභාව නො වෙයි. ව්‍යවස්ථා සභාවෙ තමයි ජයන්ත ධනපාල වැනි අය ඉන්නෙ. ව්‍යවස්ථාදායක මණ්ඩලය කියන්නෙ මුළු පාර්ලිමේන්තුව ම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා රැස්වෙන විට ඒ ආයතනයට කියන නම. ඒකෙ තමයි අර මෙහෙයුම් මණ්ඩලයක් හා තවත් අනුකමිටු හයක් තියෙන්නෙ.




අර විශේෂඥයන්ගෙ කමිටු වාර්තාවත් මෙහෙයුම් කමිටුවට තමයි ඉදිරිපත් කරල තියෙන්නෙ. පස්සෙ මෙහෙයුම් කමිටුව කල්පනා කළාලු ඒක ව්‍යවස්ථාදායක මණ්ඩලයට ම ඉදිරිපත් කරන්න. ඒ ඉදිරිපත් කෙරුවෙ වාර්තාවක් වූ කෙටුම්පතක් ද කෙටුම්පතක් වූ වාර්තාවක් ද කියන ප්‍රශ්නය නිරාකරණය කර ගන්න බැරුව ව්‍යවස්ථාදායක මණ්ඩලය දැන් රැස්වෙන්නෙ නැහැ. දැන් ඒ වෙනුවෙට මාකඳුරෙ මධුෂ් ඩුබායිහි රඟ දැක්වෙනවා. ඔය අතරෙ සේනා දළඹුවත් ආවා. ආවා කල්ලියත් ආවා. මාධ්‍ය පවත්වන්නෙ මොවුන් සඳහා ද? එහෙම නැත්නම් මොවුන් මාධ්‍ය පවත්වගෙන යනව ද? දේශපාලනඥයන්, පාතාලය, මාධ්‍ය, පොලීසිය, කලාව, වෘත්තියකයන් ආදී සියල්ල එකට බැඳිලා.



ජ වි පෙරමුණට ඇතැම් ජනමාධ්‍යවලින් තල්ලුවක් ලැබෙනවා. ඒකෙ ඉන්න තුන් හතර දෙනකු මාරුවෙන් මාරුවට වගේ දිනපතා ජනමාධ්‍ය මත කඩා පාත්වෙනවා. ඔවුන් ක්‍රමය වෙනස් කරන්න උත්සාහ කරන අය. එහෙමත් නැත්නම් සිස්ටම් චේන්ජ් කාරයො. මාධ්‍යවේදීන් දෙතුන් දෙනෙකුත් සිස්ටම් චේන්ජ් ප්‍රබුද්ධයන්. ඔවුන් ජ වි පෙ සිස්ටම් චේන්ජ් කතා ප්‍රචාරය කරලා ඒකට ලුණු ඇඹුලුත් එකතු කරනවා. අපි අහගෙන ඉන්නවා.



ජ වි පෙ පාතාලයත් එක්ක සම්බන්ධ නැතිලු. අමල් පෙරේරා ගැන මා දන්න දෙයක් නැහැ. අර ඉස්සර සරසවි සිසුන් අන්දපු (සරසවි සිසුන් අන්දන එක අමාරු වැඩක් නොවෙයි. ඔවුන් බොහෝ දෙනාට ජීවිත අත්දැකීම් අඩු කියන එක වැරදියි. ඔවුන්ට ඇත්තෙ ම නැති තරම්) කැඳවුම් කාරයො නම් ඒ ගැන දන්නවා ඇති. ඒ කොහොම වුණත් දේශපාලනඥයන්ට පාතාලය අවශ්‍ය වන්නෙ ප්‍රධාන වශයෙන් ම විරුද්ධවාදීන් මර්දනය කරන්න. මුදල් ජාවාරම්වලටත් අවශ්‍ය වෙනවා.



ජ වි පෙරමුණට විරුද්ධවාදීන් මර්දනය කරන්න පාතාලයක් අවශ්‍ය නැහැ. 1971 දි සහ 1987-90 කාලයෙ ඔවුන් ඒ බව මැනවින් ප්‍රදර්ශනය කළා. දැන් සිස්ටම් චේන්ජ් කරන්න මාධ්‍ය තියෙන නිසා ඔවුන්ට ආයුධ අවශ්‍ය නැහැ. ආවා කල්ලියටත් මාධ්‍ය සහාය ලබා දෙන එක ඒ අතින් බැලුව ම හොඳයි. ජ වි පෙ තමන්ගෙ වැඩ තමන් ම කර ගන්න පක්‍ෂයක්. ඔවුන්ට බාහිර පාතාලයක් අවශ්‍ය නැහැ.



එතකොට රනිල්ට. රනිල් වැඩ කරන්නෙ අමුතු ම විධියකට. ඔහු වැඩ කරන්නෙ නැති බවයි කියන්නෙ. ඔහුට පාතාලයක් තියා පක්‍ෂයවත් අවශ්‍ය නැහැ. ඔහු පක්‍ෂය කියන්නෙ හත්අට දෙනකුට. පක්‍ෂයෙ විධායක සභාව පත් කරන්නෙ එයා. ඊට පස්සෙ සෑම දෙයක් ම කෙරෙන්නෙ විධායක සභාවෙන්. රනිල් ඒ කිසිවක් දන්නෙ නැහැ. ව්‍යවස්ථාදායක සභාව පත් කෙළෙ රනිල්ට අවශ්‍ය විධියට. ඔහු ඊට පස්සෙ එහි කටයුතුවලට ඇඟිලි ගහන්නෙ නැහැ. ස්වාධීන කොමිසම් ඔහුගෙ අනුදුනුමෙන් තොර ව පත්වෙනවා. රනිල් මොන තරම් ප්‍රජාතන්ත්‍රවාදියෙක් ද? ඔහු කිසිම දෙයක් කරන්නෙ නැති තත්වයට පත්වෙලා. ඔහු මොනවද කරන්නෙ කියන එකයි දැන් ප්‍රශ්නය.



අර මෙහෙයුම් කමිටුව පත් කිරීමේ දී විශේෂඥ කමිටු පත් කිරීමේ දි රනිල් කිසිවක් කරළ නැහැ. ජයම්පතියි සුමන්තිරනුයි වෙන්න ඇති ඔක්කොම කෙරුවෙ. අර කෙටුම්පතක් වූ වාර්තාව හෙවත් වාර්තාවක් වූ කෙටුම්පත ඉදිරිපත් කරන විට රනිල් දැන සිටිය ද දන්නෙ නැහැ. කොහොමටත් එ ජා පක්‍ෂය ඔය කිසිවක් ගැන කිසිම මණ්ඩලයකට අකුරක්වත් ලියල නැහැ. ජයම්පති එ ජා පක්‍ෂයෙ නො වෙයි. ඔහු එ ජා පෙරමුණෙ. රනිල් ඒකෙත් නායකයා. ඒත් රනිල් ඒකාධිපතියකු නො වෙයි. ඔහු ඔය කිසිවක් දන්නෙ නැහැ. ඔහු තමන්ට අවශ්‍ය විධායක සභා ආදිය පත් කරනව විතරයි. මා හිතන්නෙ පහුගිය කාලයෙ රනිල් ජයම්පතිවත් සුමන්තිරන් එක්කවත් නව ව්‍යවස්ථාව ගැන කිසිම දෙයක් කතා කරළවත් නැති ව ඇති. ඕන ම නම් ජයම්පතිගෙනුයි සුමන්තිරන්ගෙනුයි අහන්න.



රනිල් කියන්නෙ මේ ඔක්කොම මහින්දගෙ වැඩ කියලා. මහින්ද පත් කෙරුව සර්ව පාක්‍ෂික සමුළුවේ වාර්තාවක් අනුව තමයි නව ව්‍යවස්ථාව සම්පාදනය වෙන්නෙ කියල රනිල් කියනවා. මහින්ද සර්ව පාක්‍ෂික නියෝජිත සම්මේලනය කියා එකක් නම් පත් කෙරුව. මාත් ඒකෙ හිටියා. තවත් ජාතිකවාදීන් හිටියා.  ඒත් ඒකෙන් කිසිම අවසාන නිල වාර්තාවක් ඉදිරිපත් කෙරුණෙ නැහැ. ඒ සම්මේලනයෙන් විවිධ අය විවිධ අවස්ථාවල දි යන්න ගියා. මට සම්මේලනය අවශ්‍ය වුණෙ හමුදාවට බලය එන තෙක් කල් මරන්න පමණයි. හමුදාව කිලිනොච්චියට ඇතුල් වුණාට පස්සෙ ඒ සම්මේලනයට කිසිම වැදගත් කමක් නැති වුණා. ජය සිකුරු බව තේරුණා. මාත් සම්මේලනයෙන් අයින් වුණා. සම්මේලනයෙදි  ඔහෙ කතා කර කර ඉන්න එක තමයි ඊට පස්සෙ වෙලා තියෙන්නෙ. ඒක ඉවසන්න බැරුව තොණ්ඩමන් වෙනුවෙන් පෙනී හිටපු යෝගරාජයි හකීම්ගෙ මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් පෙනී හිටපු කාරියප්පරුයි සම්මේලනයෙ වාර්තාවක් කියල ඒ දෙන්න සකස් කරපු වාර්තාවක් ජනාධිපති මහින්දට යවල තියෙනවා. රනිල් කියන්නෙ ඒ වාර්තාව ගැන ද දන්නෙ නැහැ. යෝගරාජා දැන් ඉන්නෙ එ ජා පක්‍ෂයෙ. හකීම් ඉන්නෙ ආණ්ඩුවේ.



රනිල් කිසිම දෙයක් කරන අයෙක් නො වෙයි. ඉස්සර ප්‍රේමදාස කාලෙ මේ කවුද මොනවද කරන්නෙ කියල දැන්වීම් ලංකාව පුරා තාප්පවල අළවල තිබුණා. රනිල් ගැන කියන්න තියෙන්නෙ මොකක් ද? හොඳම යෝජනාව ඉදිරිපත් කරන අයට අර කෙටුම්පතක් වූ වාර්තාවෙ හෙවත් වාර්තාවක් වූ කෙටුම්පතේ පිටපතක් ලබා දෙනවා.