Main Logo

Thursday 14 February 2019

බැසිල්, රනිල් හා ව්‍යවස්ථා සභාව


බැසිල්, රනිල් හා ව්‍යවස්ථා සභාව



අර වොයිස්කට් ජනමාධ්‍යවේදය වෙනුවෙන් කවුද ජනමාධ්‍යවේදියෙක් බැසිල්ගෙන් අහලා ජාතික ආණ්ඩුව ගැන. බැසිල් ඒකට උත්තර දීල නැහැ. ඒකෙන් ආණ්ඩුවට පහරක් වැදේවි කියල ද දන්නෙ නැහැ. බැසිල් ඒ වෙනුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂක ගැන නැවතත් කියවලා. මීළඟ ජනාධිපති ලෙස පොහොට්ටුවේ අයකු දිවුරුම් දේවි කියලත් කියලා. මේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරය ගැන ජනමාධ්‍යවේදීන් ප්‍රශ්න කරපු බවකුත් පේන්න නැහැ. ජාතික ආණ්ඩුව ගැන ඇහුව ම බැසිල් ඒකට උත්තර නොදෙන්නෙ ඇයි?




බැසිල් රනිල් හා ආණ්ඩුව විවේචනය කිරීමට තමන්ට ලැබෙන අවස්ථා පවා මගහරිමින් මහින්ද මෛත්‍රිපාල සමගිය නැති කිරීමට කටයුතු කරන්නේ ඇයි ද යන්න ගැන පේන අහන්න ඕනෙ නැහැ. පළමුව සමගි සංධානය ගොඩ නගා දෙවනුව ජනාධිපති අපේක්‍ෂක කවුදැයි තීරණය කරනු වෙනුවට බැසිල් සමගිය ගොඩ නොනැගෙන ආකාරයේ ප්‍රකාශ කරන්නේ ඇයි ද යන්න අමුතුවෙන් කිව යුතු නැහැ. ඔහු මහින්දට බලපෑම් දමනවා. සමගිය කඩා දැමීම බැසිල්ගේ අරමුණ වී තිබෙනවා. මෙහි දී මහින්ද මෛත්‍රිපාල සමගිය තව තවත් ගොඩ නගා රනිල්ට අන්ත පරාජයක් හිමි කර දීමට කටයුතු කරන අය ප්‍රවේසම් විය යුතුයි. ඔවුනුත් සමගිය කඩාකප්පල් කරන ක්‍රියාදාමයන්ට යා යුතු නැහැ. බැසිල්ගේ වෙබ් අඩවිය උත්සාහ කරන්නේ සමගිය වෙනුවෙන් කටයුතු කරන අය සමගියට විරුද්ධ ව වැඩ කිරීමට පෙළඹවීමට.  



ඔක්තෝම්බර් 26 වැනි දා මහින්ද අගමැති කිරීමේ දී වෙනත් පොරොන්දු ගණුදෙනු (ඩීල්) සිදු වූවා දැයි අප දන්නේ නැහැ. බැසිල්ගේ අවශ්‍යතාව ඒ ගණුදෙනු කඩාකප්පල් කිරීම ද? බැසිල්ගෙ ව්‍යායාමය සාර්ථක වී යම් අයුරකින් ජනාධිපතිධුරය සඳහා තුන්කොන් සටනක් ඇතිවුවහොත රට අරාජික වෙනවා. අපේක්‍ෂකයන් තිදෙනා ම පරදිනවා. එක් අයකුටවත් සියයට පනහකුත් තවත් මනාපයක් ගැනීමට බැරි වෙනවා. මා තුන් කොන් සටනක් ලෙස හඳුන්වන්නේ ජ වි පෙ එක කොණක් ලෙස සලකමින් නො වෙයි. ජ වි පෙරමුණ ද තරග කළහොත් ජනාධිපතිවරණය අවසානයේ දී ඔවුන් ද තරග කර ඇති බව පමණක් සටහන් වේවි. ජ වි පෙ නායකයන්ට ඒත් මදැයි.



ආණ්ඩුව කෙතරම් පරස්පර කතා කියනවා ද? ඔවුන්ගේ කතා හා කෙරුවාව අතර ඇත්තේ ලොකු වෙනසක්. එහෙත් බැසිල්ට ඒ විවේචනය කරනවාට වඩා මහින්ද මෛත්‍රිපාල සමගිය කඩා බිඳ දැමීම වැදගත්. බැසිල් අවසාන වශයෙන් සේවය කරන්නේ රනිල්ට හා ආණ්ඩුවට. නන්දිකඩාල් ජයග්‍රහණය ඊට පසු දින ම පාවා දුන් ට්‍රොයිකාවට නායකත්වය සැපයුවේ බැසිල්. මේ ට්‍රොයිකාව (ත්‍රිත්වය) ගැන මා කලින් ලියූ ලිපිවල සඳහන් කර තිබෙනවා.



මේ අතර රනිල් විපක්‍ෂ මන්ත්‍රීවරුන්ට සැඟවූ තර්ජන එල්ල කරනවා. අධිකරණයේ ස්වාධීනත්වය ගැන ඔහු ලොකු කතා කියනවා.  එහෙත් විජයදාස රාජපක්‍ෂ ව්‍යවස්ථා සභාව අන්ත දූෂිත ආයතනයක් බව කියනවා. ව්‍යවස්ථා සභාව ඊනියා ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීමේ දී අපක්‍ෂපාත ව ක්‍රියා කර ඇත් ද? විජයදාස රාජපක්‍ෂ විශේෂයෙන්, විනිසුරුවන් පත් කිරීමේ දී ව්‍යවස්ථා සභාව ක්‍රියා කර ඇති ආකාරය විවේචනය කරනවා . 



මේ ලෝකයේ කොහේවත් ඊනියා ස්වාධීන පුද්ගලයන්, අපක්‍ෂපාත පුද්ගලයන්, වාස්තවික ව හිතන පුද්ගලයන් නැහැ. ඊනියා වාස්තවිකත්වයක් නැති විට මේ කිසිවකු ඉන්න විධියක් නැහැ. අප හැමෝ ම යම් මතයක, අදහසක ඉන්නවා. ඒ මත බොහෝ විට අපේ නිර්මාණ නො වෙයි. පඬියන් කියවන්නේ බටහිරයන් නිර්මාණය කළ මත. ඒ කෙසේ වෙතත් ඒ ඒ අය ඒ ඒ අවස්ථාවල දරණ මත තියෙනවා. ව්‍යවස්ථා සභාවේ පුද්ගලයන්ටත් දේශපාලන හා වෙනත් මත තියෙනවා. ඔවුන් ඒ සභාවට පත් කෙරෙන්නේ ම ඔවුන් දරණ මත නිසයි. ව්‍යවස්ථා සභාව පසුගිය කාලයේ ක්‍රියා කර ඇති ආකාරයෙන් ඒ බව පේනවා.



රධිකා කුමාස්වාමි, ඒ ටී ආරියරත්න, ජයන්ත ධනපාල ආදීන් ව්‍යවස්ථා සභාවට පත් කෙරුණේ ඔවුන් මධ්‍යස්ථ නිසා ද? ව්‍යවස්ථා සභාවෙ සමහරු ඉතා පැහැදිලිව සිංහල බෞද්ධ විරෝධීන්. සමහරු අර සිකුරාදා සංසදය හෙවත් ෆ්‍රයිඩේ ෆෝරම් නමින් හැඳින්වෙන බටහිර ක්‍රිස්තියානි නූතනත්ව දාස පිරිසකගේ සංවිධානයක සාමාජිකයන්. ඒ සංසදයේ අය අතර නිදහස් අධ්‍යාපනයේ හා ශිෂ්‍යත්වවල පිහිටෙන් උගත් සාමාන්‍ය පවුල්වලින් පැවත එන කිහිප දෙනකුත් ඉන්නවා. එහෙත් බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය යටතේ තැනක් ගැනීමට, ඊනියා බුද්ධිමතුන් ලෙස පෙනී සිටීමට ඔවුන්ට ආශාවක් තියෙනවා. මේ පිරිස් සාමාන්‍යයෙන් ලියන්නේ ඉංගිරිසියෙන්. අද සමාජයේ මතයක් ඇති කරල තියෙනවා මේ අය උගත් අචංක බුද්ධිමත් අපක්‍ෂපාත පුද්ගලයන් කියල. ඒ මතය ඇති කළේ කවුද? ඉංගිරිසි ක්‍රිස්තියානි නූතනත්ව දාස සමාජයෙන්. මේ අය තරම් නිවටයන් පිරිසක් සමහර විට මෙරට ඉතිහාසයේ කිසි දිනෙක බිහිවෙලා නැතිව ඇති. මේ දොන් ජුවන් ධර්මපාලටත් එහා ගිය පුද්ගලයන්. මොවුන් බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සමාජයේ දැරූ තනතුරු ගැන ඉහළින් කතා කිරීමට ඒ සමාජය විසින් ම ජනමතය සකස් කිරීමට කටයුතු කෙරෙනවා. මොවුන් ප්‍රධාන වශයෙන් ම බිහි කෙරුණෙ ජෙනිංග්ස්ගෙ විශ්වවිද්‍යාලයෙන්. අවාසනාවකට අනෙක් විශ්වවිද්‍යාල කරන්නෙත් ජෙනිංග්ස් අනුගමනය කිරීම.    



දැන් මේ විධායක සභාව පත් කෙරුණේ කවුරුන් විසින් ද? දේශපාලනඥයන් විසින්. ඔවුන් මධ්‍යස්ථ මතධාරීන් ද? ඔවුන් අපක්‍ෂපාති ද? ඔවුන් ස්වාධීන ද? තමන් ස්වාධීන නොවී (එසේ වීමට හැකි යැයි කියනවා නොවෙයි) ඊනියා ස්වාධීන පුද්ගලයන් පත් කරන්නේ කෙසේ ද? මෙය මහා ප්‍රෝඩාවක්. ව්‍යවස්ථා සභාව ඇති කිරීම ම රනිල්ගේ තවත් ප්‍රෝඩාකාරී අදහසක් ක්‍රියාත්මක කිරීමක්. එය රනිල්ට බටහිරින් ලැබුණු අදහසක් බව පැහැදිලියි. රනිල් ව්‍යවස්ථා සභාව මගින් කළේ ජනාධිපතිට තිබූ සමහර බලතල තමන් අතට ගැනීමයි.



ඔහු තමන්ට අවශ්‍ය ආකාරයට වැඩ කරන ව්‍යවස්ථා සභාවක් පත් කරල ඉන් පසු තමන් ඊනියා ස්වාධීන කොමිසන් සභා පත් කරල ඒවට නිදහසේ වැඩ කරන්න ඉඩ දීිල තියෙවා කියා මොර දෙනවා. ව්‍යවස්ථා සභාව හා ඊනියා ස්වාධීන කොමිසන්  සභාවල සාමාජිකයන් පහුගිය අවුරුදු තුනහමාරක විතර කාලයෙහි ක්‍රියා කරල තියෙන්නෙ කාට ඕන විධියට ද?



ඒත් මට තේරෙන්නෙ නැත්තෙ විජයදාස රාජපක්‍ෂලා ව්‍යවස්ථා සභාව ගැන කියවන්නෙ නැතිව ඒක වෙනස් කරන්න කටයුතු කරන්නෙ නැත්තෙ මොක ද කියලා. මේ ව්‍යවස්ථා සභාව පත්කෙළෙ සම්බන්ධන් විපක්‍ෂ නායක කාලෙ. දැන් මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක. ව්‍යවස්ථා සභාවෙ දහදෙනාගෙන් පස් දෙනකුම පත් කෙරෙන්නෙ අගමැතිගෙ හා විපක්‍ෂ නායකගෙ නිර්දේශ මත. දැන් තියෙන්නෙ මූලික වශයෙන්ම රනිල්ගෙ හා සම්බන්ධන්ගෙ ව්‍යවස්ථා සභාවක්. ඒකෙ කාලය දැන් ඉවරයි. ව්‍යවස්ථා සභාවට අවුරුදු තුනක් ඉන්න පුළුවන් කියල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ නැහැ. අවුරුදු තුන තමයි උපරිම කාලය. විපක්‍ෂ නායක වෙනස් වුණා ම ව්‍යවස්ථා සභාවෙ සංයුතිය වෙනස් වෙන්න ඕන. මහින්ද ව්‍යවස්ථා සභාවෙ සංයුතිය වෙනස් කරන්න කටයුතු කරන්නෙ නැත්තෙ ඇයි?