Main Logo

Monday 11 January 2021

පස්මහා බලවතුන් අත් හරින හරින්

 පස්මහා බලවතුන් අත් හරින හරින්  


විිද්‍යාඥයකු වීමට නොහැකි වූ මා හරින් ප්‍රනාන්දු විද්‍යාව හා මිථ්‍යාව ගැන කතා කරනු උන්දුවෙන් අහගෙන හිටියා. මේ අපේ හිටපු ඩිජිටල් ඇමති නේ ද කියල මට මතක් වුණා. අර බැලුනයට මොකද වුණෙ කියල දැන ගන්න විධියක් තිබුණෙ නැහැ. හරින් කතා කෙළෙ පාර්ලිමේන්තුවෙ. ඒත් එතුමගෙ කතාවෙන් මා හුඟක් දේ ඉගෙන ගත්තා. කිවුව දේට වඩා නොකිවුව දෙයින් ඉගෙන ගත්තා.


අද සමගි ජන බලවේගයෙ නායකත්ව ප්‍රශ්නයක් තියෙනවා. සජිත් කියන්නෙ දුර්වල නායකයකු බව සජිත් හැරෙන්න අනෙක් සියල්ලන් ම දන්නවා. සජිත්ට පුළුවන් ද හරින්ට වගේ කතා කරන්න. හරින් පක්‍ෂ නායත්වයට තරග කරන බව පැහැදිලියි. එහෙත් ඔහුට ප්‍රශ්නයක් තියෙනවා. ඔහු රෝමානු කතෝලිකයකු වීම. ඔහු පාර්ලිමේන්තුවේදි කිවුවෙ එහෙමයි. ඔහු මුරලිදරන් කඩුළු 800ක් ගත්තත් නායකයා කරන්නෙ නැහැ කිවුව. ඒත් දේශපාලනය ක්‍රිකට් සමග සංසන්දනය කරන එක වැරදියි. අද ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඇතුල් වෙන්න බෞද්ධයනට අමාරු බව කියැවෙනවා. හරින් රෝමානු කතෝලිකයකු නොවී සිංහල කතෝලිකයකු වුණා නම් කොපමණ හොඳ දැයි මට සිතුණා. සජිත් යළි ඉපදුණු බෞද්ධයෙක් ද? ඒ මොකක් වුණත් අද කතෝලික සභාවට ප්‍රශ්නය වී තියෙන්නෙ ඉවැන්ජලිකයන් කියන නව දේවධර්ම ප්‍රචාරකයන්. හරින්ට සජිත් ප්‍රශ්නයක් ද? ඒත් හරින් කාදිනල්තුමා ගැන මොක ද කියන්නෙ. ඔය නායකත්ව පොරේ චම්පකත් ඉන්නවා. 


හරින් ඉපදිලා තියෙන්නෙ වත්තල. ඉගෙන ගත්තෙ ශාන්ත ජෝසෆ් විද්‍යාලයෙ. පළාත් සභාවට ආවෙ බදුල්ලෙන්. ඩිලාන් පෙරේරාල නිමල් සිරිපාල සිල්වල විතරක් නොවෙයි නුවර ජෝර්ජ් සිල්වලත් ගම්පෙරළියෙ ජිනදාසට කලින් සිංහලේ ගිය උදවිය එක්ක සම්බන්ධයක් තියෙන අය. සිල්වල පෙරේරල ප්‍රනාන්දුල සිංහලේට ආවෙ කොහෙන් ද? අපේ මුත්ත කෙනෙක්වත් සිංහලේ ගිය නැත්තෙ මොකද කියල මට වෙලාවකට හිතෙනවා. පාණදුරෙන් නම් මට මන්ත්‍රී කෙනෙක් වෙන්න බැහැ. 


ශාන්ත ජෝසප් විද්‍යාලෙ තමයි ආර් ප්‍රේමදාසත් ඉගෙන ගත්ත කියන්නෙ.  ශාන්ත ජෝසප් විද්‍යාලෙ ඉගෙන ගත්ත හරින් ශාන්ත තෝමස් විද්‍යාලෙ ඉගෙන ගත්ත හිස්බුල්ල ගැන කියල. තෝමියන්ල හිස්බුල්ල ගැන කියන්නෙ නැතිළු ඔහු මුස්ලිම් හින්ද. ජී එල් අහගෙන ද හිටියෙ. ඒත් හිරාන් කිසි දේකට බය නැහැ. ඔහු හිස්බුල්ල වෙනුවෙන් කතා කළා. අර රෝයලිස්ට් එරාන් වික්‍රමරත්නත් කතා කරල තියෙනවා. හිස්බුල්ල ශාන්ත තෝමස් විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයලු. ඔහු ඒ පාසලේ වෝටර් පෝලො කණ්ඩායමේ නායකයා වෙලා ඉඳලා. එවැන්නකු අතින් වරදක් වෙයි ද? හරින් අහන්නෙ ඒකයි.  එරාන් රාජකීය විද්‍යාලෙ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙලා ඉඳලා තියෙනවා. ක්‍රිකට් කණ්ඩයමේ කඩුළු රකින්නා. හරින් මොනව ද ක්‍රීඩා කෙළෙ. 


මේ පාසල් පමණක් නොවෙයි ගාල්ලෙ රිච්මන්ඩ් විදුහලේ ඉඳලා ආනන්ද විද්‍යාලය හරහා මධ්‍ය මහා විිද්‍යාල ඇති කරල තියෙන්නෙ රටට සාපේක්‍ෂව හිතන්න නොවෙයි. ජී එල්ලාගෙ ආච්චි කෙනකු පිහිටෙව්ව විශාකා විද්‍යාලයෙ ප්‍රධාන ශිෂ්‍ය නායිකාවක් හැටියට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉඳලා තියෙනවා. හරින් තමන් සමග එකට පාර්ලිමේන්තුවෙ හිටපු හිරුණිකා ගැන දන්නව ඇති නොවැ. ඔය හැම පාසලිකන් ම සුද්දන්ට එරෙහිව ගිහින් රට ගැන හිතන අයත් විජාතික මනස් ඇති අයත් දාර හොරුත් බිහි වෙලා තියෙනවා. ධර්මපාලතුමා වගේ ම ජේ ආර්ල රනිල්ලත් එකම පාසල්වල ඉගෙන ගත් අය. 


හිස්බුල්ල විවාහ වෙලා තියෙන්නෙ ඊජිප්තු කතක් සමග කියල කියන්නෙ. ඔය පාස්කු ප්‍රහාරයට ඊජිප්තු අයිසිස් කණ්ඩායමක් සම්බන්ධ කියනවා. මා කියන්නෙ හිස්බුල්ල ඒ නිසා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කියල නො වෙයි. ඒක හොයන එක අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තවෙ වැඩක්. ඒකට ශාන්ත තෝමස් විද්‍යාලෙ වෝඩ්න්ගෙ සහතික අවශ්‍ය නැහැ. හිස්බුල්ල ගැන කියනවාට වඩා දෙයක් හරින් නන්දසේන රාජපක්‍ෂ ගැන කියනවා. කිසිම දේශපාලන පළපුරුද්දක් නැති අයකු ජනාධිපති වීම ගැන හරින් කියනවා.  බණ්ඩාරනායක මැතිණියගෙ කාලෙ අර පාසල් රජයට ගත්ත කාලෙ හරින් ඉපදිලත් නැහැ. ඉපදිල තිබුණ නම් මැතිණිගෙ පළපුරුද්ද ගැන මොනව කියාවි ද? හරින් ඉපදිල තියෙන්නෙ 1978 ඔක්තෝම්බරයෙ දි. ඔහුගෙ රවි නීචයි. මගෙත් රවි නීචයි. ඒකට කමක් නැහැ. ඩී එස්ගෙ ඔලිවර් ගුණතිලකගෙ ආදීන්ගෙත් රවි නීචයි. හරින්ට බලාපොරොත්තු තියා ගන්න පුළුවන්. මට නම් දැන් බලාපොරොත්තුවක් නැහැ.   


හරින් කියනව දැන් රට ආණ්ඩු කරන්නෙ පස්දෙනෙක් කියල. ඒ දිලිත් ජයවීර, උදයංග වීරතුංග, නිස්සංක සේනාධිපති, ධම්මික හා අනුරාධපුරේ කවු ද. හරින්ගෙ පස්මහා බලවතුන්. ඒ අය කවුරුන්වත් ප්‍රාදේශීය සභාවක හිටිය ද කියන එක ප්‍රශ්නයක්. ඒ කියන්නෙ ජනාධිපති නන්දසේන අසමත් ම අසමත්. ධම්මික කියන්නෙ කෑගල්ලෙ ධම්මික වෙද මහතා වෙන්න ඇති. අනුරාධපුරේ අය ඥානක්ක ද? ඒ මොනව වුණත් සේනාධිපති ලංකාවෙ වෘත්තික නොවන බේස්බෝල් සංගමයෙ සභාපති හැටියට පහුගිය දා පත්වුණා. මේ කාගෙවත් රවි නීච නැතිව ඇති. 


හරින් කියන්නෙ දැන් විද්‍යාව වෙනුවට මිථ්‍යාව රජ වෙලා කියල. ඒ අතරෙ කියනව තමා උඩ ඉන්න දෙවියන් විශ්වාස කරනව කියා. මා නම් උඩ ඉන්න දෙවියනුත් බිම ඉන්න දෙවියනුත් ගැන දන්නවා. අප බූමාටු දෙවියන් ගැන අහල තියෙනවා. මට තේරෙන විධියට අද රටේ එක දෙවියකු ගැන විශ්වාසය තැබීම මිථ්‍යාව නො වෙයි. ඒත් බොහෝ දෙවියන් ගැන විශ්වාස කිරීම මිථ්‍යාවක්. ඊනියා නිරාගමික පඬි නැට්ටනුත් ඒ සමග එකඟ වන බවක පේනවා. බහුදෙවා මනුස්සාච ගැන කියන මහාමංගල සූත්‍රය මිථ්‍යාවක් වෙන්න ඕන. දෙවා නාගා මහිද්ධිකා ගැන කීමත් මිථ්‍යා වෙන්න ඕන. 


හරින් මිථ්‍යා කතා කියන්නෙ නැහැ. ඔහු ඩිජිටල් විද්‍යාවෙ නෙ වැඩ කළෙ. හරින් කියනවා නන්දසේන රාජපක්‍ෂගෙ පාස්කු ප්‍රහාර කුමන්ත්‍රණයක් ගැන. ඒ වගේ ම අයිසිස් සම්බන්ධකම් තියෙන අය ගැනත් කියනවා. හරින් කියන්නෙ වටිනා සම්පතක්. කා ළඟවත් නැති තොරතුරු ඔහු ළඟ තියෙන පාටයි. මා හිතන්නෙ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හරි වෙනත් බලය ලත් ආයතනයක් හරි හරින් ගෙන්නල මේ තොරතුරු ලබා ගත යුතු කියල. හරින් කිසි දේකට බය නැති පුද්ගලයෙක්. ඔහු මේ තොරතුරු දෙන්න පැකිළෙන එකක් නැහැ. 


අර පාස්කු කුමන්ත්‍රණ කතාව වැදගත්. පාස්කු ප්‍රහාරය සිද්ධ වුණෙ 2019 අප්‍රේල් මාසෙ. නන්දසෙන රාජපක්‍ෂ ජනාධිපති වෙලත් නැහැ.  ඒ කුමන්ත්‍රණෙ ගැන හරින්ගෙ තාත්තත් දැන හිටිය ද? අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වහාම හරින්ගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඒ ඔස්සෙ පරීක්‍ෂණ පවත්වන්න ඕන. 


අර පැණිය නම් සෘණ ප්‍රතිඵල දෙනව කියනවා. සෘණ ප්‍රතිඵල කියන්නෙ පීසිආර් ධන තිබුණු අය සෘණ කරන එක. ඒක ගැන දැන් බටහිර වෙදමහත්වරු පරීක්‍ෂා කරනවා. ඒත් ඒකට අකුල් හෙළන අය තමයි බහුතරය. ඔවුන් රෝගීන්ට දෙන උපදෙස් ගැන අපට ආරංචි ලැබෙනවා. ඔවුන්ට අවශ්‍ය පැණිය නවත්තල එන්නත ගෙන්නල කොමිස් ලබා ගන්න. මට නම් පරීක්‍ෂා අවශ්‍ය නැහැ. මා ළත වෙන්නෙ මට මියන්මාරයට පැණිය ගෙන්න ගන්න බැරි වීම ගැන. අපේ රේගුව දැඩි නීති පණවල කියනවා. අපට මියන්මාරයෙ පැණිය විකුණන්න පුළුවන් ද? නැත්නම් පැණිය හදන්න පුළුවන් ද? මී පැණි හා සාදික්කා හොයා ගන්න පුළුවන් වෙයි. ලංකාවට අක්කර දෙකේ ඉඩම් දෙකක් තියෙනවා. පැණිය හදන්න කිසිම කරදරයක් නැහැ. පස්මහා බලවතුන් මොකද කියන්නෙ.