Main Logo

Tuesday 12 January 2021

යාපනයේ දෙමළ ජාතිවාදය

 යාපනයේ දෙමළ ජාතිවාදය 


සිංහල බෞද්ධ විරෝධීන්ට ඉහේ මලක් පිපිලා. හරියට උතුරු පළාතේ ඊළම පිහිටෙවුව වගේ ඔවුන්ට දැනිලා. යාපනය විශ්වවිද්‍යාලයෙ උදුරපු විරු ස්මාරකය නැවත ඉදිකරන්න උපකුලපති තීරණය කරලා. එය සතුටු වෙන්න කාරණයක් නො වෙයි ද? මෙච්චර කල් බැට කකා ඉඳලා යමක් ලැබිච්ච වෙලාවෙ සතුටු වෙන්නෙ නැතුව මොනව කරන්න ද කියන්නෙ. 


දැන් කියැවෙන හැටියට උපකුලපති තමයි කියල තියෙන්නෙ ස්මාරකය උදුරල දාන්න කියල. ඒක ආණ්ඩුවෙ වැඩක් නොවෙයි. ඒ ස්මාරකය තියෙන එක සිංහල සිසුන්ට ප්‍රශ්නයක් වෙයි කියල හිතල තමයි උපකුලපති උදුරන්න නියම කරල තියෙන්නෙ. ඒත් ඉදිරිල්ල නිසා දෙමළ සිසුන්ට රිදිල. ඔවුන් උපවාස කළා. නගරවල හර්තාල් සංවිධානය කරන්න සමහරු පෙළඹුණා. ඒත් වවුනියාවෙ සහ සමහර පළාත්වල හර්තාලෙ සාර්ථක වෙලා නැහැ.


අද යාපනයෙ සිංහල සිසුන් ඉන්නවා. ඒක පඬි නැට්ටන් යුද්ධෙට විරුද්ධව කරන ලද සටනක් නිසා ඇති වෙච්ච දෙයක් නො වෙයි. ඔවුන් කිවුව විධියට සාම කතා කර කර හිටිය නම් මෙළහකට සමහර විට  සහසන්ධීය රාජ්‍යයක් ඇති වෙලා. අද දෙමළ ජාතිවාදය, දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරිලා. පඬි නැට්ටන්ගෙ දෙමළ මතවාදයත් පරාජය කෙරිලා. අද තවමත් තියෙන්නෙ එංගලන්තයෙ හා ඉන්දියාවෙ ආධාරය ලබන දෙමළ මතවාදයක්. එය යාපනයෙ දෙමඃළ ජාතිවාදී උගතුන් පෝෂණය කරනවා. පද්මනාදන් වැනි ඉතිහාසඥයන් ඊනියා නාග කතා කියමින් දෙමළ ජනයාට නැති ඉතිහාසයක් මවන්න හදනවා. ඔය පඬි නැට්ටන් කී දෙනකු පද්මනාදන්ට විරුද්ධ ව අඩු තරමෙන් සිංහලෙන්වත් ලියල තියෙනවා ද? ඉංගිරිසියෙන් හරි දෙමළෙන් හරි ලියන්න හිතන්නෙවත් නැහැ. 


අපේ පැත්තෙන් අප කරන වරද තමයි යක්‍ෂ නාග උරුමය ඔවුන්ට ලබා ගන්න ඉඩ දීල නිහඬ ව සිටීම. තවමත් බටහිර අනුග්‍රහයෙන් පද්මනාදන් වැනි අයට පුළුවන් දෙමළ තරුණයන්ට බොරු ඉතිහාස කතා කියල සිංහල බෞද්ධයන්ට එරෙහි ව ඔවුන් උසි ගන්නන්න. අද යාපනයෙ වෙන්නෙ ඒකයි. පඬි නැට්ටන් ඔය බොරු ඉතිහාසයට විරුද්ධ ව යාපනේ ගිහින් මොනවද ලියල තියෙන්නෙ කියල තියෙන්නෙ. 


මා කලින් දවසක කිවුව ස්මාරකය ඉදිරීම හරිය කියා. අදත් කියනවා. අද උපකුලපති අඩියක් පස්සට අරගෙන. ඒකට කරන්න දෙයක් නැහැ. ඒව සිදුවෙනවා. ඒකෙයි කියල සාම කතා නැවත ආරම්භ කරන්නෙ නැහැ. අඩු තරමෙ 13+ දෙන්නෙවත් නැහැ. දහතුනත් අහෝසි කිරීමටයි අපේ සටන. 


මගේ ලිපියෙ මා මෙවැන්නක් කිවුව. “අපි හිතමු දෙමළ ත්‍රස්තවාදීන් සටන් කෙළෙ සිංහල රාජ්‍යයෙන් නිදහස ලබා ගන්න කියා. දැන් ඔය තියනව කියන සිංහල රාජ්‍යය ඔවුන්ගෙ ඊනියා නිදහස් සටන පරාජය කරලා. සිංහල රාජ්‍යය ඔවුන්ගෙ ඊනියා විරයන් වෙනුවෙන් ස්මාරක හදන්න ඉඩ දෙන්න ඕන ද? අප ඉංගිරිසින්ට විරුද්ධ ව සටන් කළා. 1817-18 අපේ පළමු නිදහස් සටන සිදු වුණා. අපි පැරදුණා. පසුව 1848දිත් පැරදුණා. ඉංගිරිසින් අපට එකල අපේ විරුවන් සැමරීමට ස්මාරක හදන්න ඉඩ දේවි කියල හිතනවා ද? 1817-18 ඉතා දරුණු ඝාතනයක් ඉංගිරිසින් සිංහලයන්ට විරුද්ධව කෙළේ.  ඉංගිරිසින් කැප්පෙට්ටිපොළ නිළමෙ, පුරන් අප්පු සැමරීමට එකල ඉඩ දෙන්න තිබුණ කියල හිතනවා ද? අනෙක් අතට ඔවුන් අදටත් ඔවුන්ගෙ විරුද්ධවාදී හිට්ලර් මුසොලිනි ආදීන් සැමරීමට ඉඩ දෙනවා ද?   


මෙරට නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ තමයි ජනාධිපති. ඔහු යළි ඉපදිලා නැහැ. තවමත් මෙරට තියෙන්නෙ බටහිර ක්‍රිස්තියානි රාජ්‍යයක්. නීතිය රෝම ලන්දේසි. දැනුම් ආධිපත්‍යය බටහිර ක්‍රිස්තියානි. වැඩ කෙරෙන්නෙ ඒ විධියට. එළාරගෙ සැමරුම හැදුවෙ සිංහල බෞද්ධ රාජ්‍යයක. සිංහල බෞද්ධ රාජ්‍යයක් පිහිටුව ම අපි කල්පනා කරන්නන් සමරන්නෙ කාව ද කියන එක ගැන. ඒත් එකක් කියන්න ඕන. සිංහල බෞද්ධ රාජ්‍යයෙ එළාර වෙනුවෙන් සැමරුමක් ඉදි කළාට චෝල චෝල වෙනුවෙන් සැමරුමක් ඉදි කෙළෙ නැහැ. ඉදිරියේදි චෝලවාදී ත්‍රස්තවාදීන් වෙනුවෙනුත් සැමරුම් ඉදි කෙරෙන එකක් නැහැ."


මෙයින් කියන්නෙ අප බටහිරයන් කරන විධිය බලාගෙන ස්මාරක හදන්න ඉඩ දෙන්නෙ නැහැ කියන එක නො වෙයි. මේ රටේ දැන් තියෙන්නෙ බටහීර ක්‍රිස්තියානි රාජ්‍යයක් නිසා එහි කටයුතු කෙරෙන කළ යුතු විධිය, සිංහල බෞද්ධ රාජ්‍යයක කටයුතු කෙරෙන ආකාරය මා වෙන ම ලියල තියෙනවා. අප එළාරට ස්මාරකයක් හැදූ බවත් කියනවා. ඒත් ඒ අතර කියනවා චෝල චෝල වෙනුවෙන් ස්මාරක නොහැදූ බවත්. ප්‍රභාකරන්ල වෙනුවෙන් හැදෙන්නෙ නැති බවත් කියනවා. ඒ බටහිරයන් දිහා බලාගෙන නොවෙයි. චෝල චෝල ගැන වැඩ කරපු විධියටයි. පඬි නැට්ටන්ට ඕව තේරෙන්නෙ නැහැ. සමහර පඬි නැට්ටන් ඉන්නව ලිපිය කියවන්නෙ නැතිව ලිපියෙ මාතෘකාව කියවල ප්‍රතිචාර දක්වන අය. 


සිංහලයන් උතුරේ හා නැගෙනහිර සෘජු ව දේශපාලනය කරන්න ඕනෙ. එය දෙමළ නායකයන්ට පමණක් පවරන එක වැරදියි. සෘජුව දේශපාලනය කිරීමට ක්‍රමයක් හදා ගන්න ඕන. ගජේන්ද්‍ර පොන්නම්බලම් පළාත් සභා වැඩක් නැහැ කියල කියනව. දෙමළ ජාතිවාදී දේශපාලනය ටිකෙන් ටික උතුරෙන් නැති වේවි. ශ්‍රී ල නි පක්‍ෂයට ආධාර කරන්න ඕන උතුරෙ සෘජු දේශපාලනය කිරීමට. ඒ අතර පද්මනාදන් වැනි දෙමළ ජාතිවාදීන් පරාජය කිරීමටත් කටයුතු කරන්න ඕන. ඔහු කලක් පේරාදෙණියෙ ඉතිහාස අධ්‍යනංශයෙ හිටියා. ඒ වගේ ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උපසභාපති වෙලත් හිටිය. ඔහු ව්‍යාජ වීරයකු වෙන්න හදනවා. ඔහු පරාජය කිරීම යාපනය විශ්වවිද්‍යාලයේ යහපතටත් හේතු වේවි.