Main Logo

Thursday 21 January 2021

රන්ජන් දැන් මන්ත්‍රී නොවෙයි

 රන්ජන් දැන් මන්ත්‍රී නොවෙයි


රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්ෆොන්සො හෙවත් රන්ජන් රාමනායක ගැන දැන් පාර්ලිමේන්තුවේ කතා කෙරෙනවා. අර ප්‍රසිද්ධිය සඳහා විවිධ දේ කරන විවිධ කතා කියන තවත් පුද්ගලයකු වන හරීන් ප්‍රනාන්දු කලු සාටකයක් අරන් ඇවිත් පැළඳ ගෙන පස්සෙ ගලවල. වැදගත් පැළඳීම මිස ගැලවීම නොවන බව හරීන් ප්‍රනාන්දු දන්නවා. හරීන් වගේ ම ඔහුගෙ නායකයා සජිත් හා විපක්‍ෂයෙ තවත් අයත් කියන්නෙ රන්ජන් රාමනායකට පාර්ලිමේන්තුවට එන්න පුළුවන් බවත් ඔහු ගෙන්වීම තීරණය කරන්නේ කතානායක මිස නීතිපතිවත් විනිසුරුවරුන්වත් නොවන බවයි.

සම්මතය අනුව රටේ උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. රන්ජන් ගැනත් අවසාන වශයෙන් තීරණය කළ යුත්තේ ව්‍යවස්ථාවට අනුවයි. ව්‍යවස්ථාව කතානායකටත් නීතිපතිටත් උඩින් තියෙන්නෙ. හැබැයි ඉතින් ව්‍යවස්ථාව කවුරු හරි විසින් විවරණය කෙරෙන්නෙ ඕන. ඒ බලය අවසාන වශයෙන් තියෙන්නෙ විනිසුරුවරුන්ට. යම් කිසි අයකුට හරීන්ට හරි සජිත්ට හරි අර ඕන අයකුට යුද්ධ කරන්න පුළුවන් කිව් කිරිඇල්ලට හරි අධිකරණයට ගිහින් ඒ ගැන තීන්දුවක් ලබා ගන්න පුළුවන්. කතානායකට මේ සම්බන්ධයෙන් යමක් කරන්න පුළුවන් වෙන්නෙත් ව්‍යවස්ථාවට අනුව.

නීතිය ගැන කතා කරන්න නීතිඥයකු වන්න ම වුවමනාවක් නැහැ. දේශපාලනය ගැන කතා කරන්න දේශපාලන විද්‍යාඥයකු වෙන්න අවශ්‍ය නැහැ. මට හිතුණ රන්ජන් රාමනායක ගැන ව්‍යවස්ථාවට අනුව කියන්න පුළුවන් මොනව ද කියල බලන්න. ව්‍යවස්ථාවෙ 89 (ඈ) වගන්තියෙ මෙහෙම තියෙනවා.

"89 (ඈ) යම්කිසි තැනැත්තෙක් අවුරුදු දෙකකට නොඅඩු කාලයක් බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් කළ හැකි වරදකට කවර වූ හෝ අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබීමෙන් පසුව නියම කරන ලද හය මාසයකට නොඅඩු කාලයකට කවර වූ හෝ ආකාරයක බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණයෙන් ම විඳ සිටියේ නම් නැතහොත් මරණ දණ්ඩනයට යටත්ව සිටී නම් නැතහොත් එවැනි දණ්ඩන නියමයක් කියාවේ යෙදවීම වෙනුවට හය මාසයකට නොඅඩු කාලයකට බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණයෙන් විඳ සිටියේ නම් ඒ තැනැත්තා ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමක දී හෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයක දී හෝ ඡන්ද හිමියකු වීමට හෝ ජනමත විචාරණයක දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේ යඃ

එසේ වුව ද මේ ෙඡ්දය යටතේ නුසුදුස්සකු වූ කවර වූ හෝ තැනැත්තකුට කොන්දේසි රහිත සමාවක් දෙන ලද්දේ නම් ඒ සමාව දුන් දිනයේ සිට ඒ නුසුදුසුකම නැති වී යන්නේ ය."

දැන් රන්ජන් රාමනායක හයමාසයකට නො අඩු කාලයකට බන්ධනාගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටින අයෙක්. ඔහුට දැනට නියම වී ඇති අවුරුදු හතරෙ සිරදඬුවම හරි ද වැරදි ද කියන එක වෙන ම ප්‍රශ්නයක්. ඔහු මේ වගන්තියෙ කියන විධියට දැනට සිර දඬුවමක් විඳිනවා. එවිට ඔහුට ඡන්ද හිමියකු වන්න බැහැ. ඒ වුණත් කොන්දේසි රහිත සමාවක් ලැබුණොත් එදා සිට නුසුදුසුකම නැති වෙනවා. තාම එහෙම සමාවක් ලැබිල නැහැ.

ඒත් දැන් මැතිවරණත් ජනාධිපතිවරණත් නැහැ. ඒ මදිවට ඔහු මැතිවරණයක දි මන්ත්‍රීවරයකු වශයෙන් පත්කර ගත් අයෙක්. මෙරට ජනතාව මන්ත්‍රීවරුන් පත්කර ගැනීමේ දී විවිධ සුදුසුකම් බලනව ඇති. දැන් මන්ත්‍රීවරයකු ගැන තීරණයක් ගන්න වෙන්නෙ 91 (1) (අ) වගන්තියට අනුව. ඒ වගන්තිය මෙහෙමයි.

"91. (1) (අ) යම්කිසි තැනැත්තකු 89 වැනි ව්‍යවස්ථාවේ දක්වා ඇති කවර වූ හෝ නුසුදුසුකමකට යටත් වේ නම් නැතහොත් එවැනි නුසුදුසුකමකට භාජන වුවහොත් ඒ තැනැත්තා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වශයෙන් තෝරා පත් කර ගනු ලැබීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේ දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේ ය."

රන්ජන් රාමනායකට ඒ අනුව පාර්ලිමේන්තුවේ අසුන් ගන්නවත් ඡන්දය දීමටවත් බැහැ. ඔහු 89 වැනි වගන්තිය අනුව නුසුදුසු කමකට භාජනය වෙලා.

කතානායකට නො වෙයි විපක්‍ෂ නායකටවත් කාටවත් රන්ජන් රාමනායකට පාර්ලිමේන්තුවේ වාඩි කරවන්න බැහැ. පඬි නැට්ටකු අහන්න බැරි නැහැ පාර්ලිමේන්තුවට ඇවිත් හිටගෙන ඉන්න පුළුවන් ද කියල. පඬි නැට්ටකු ඇහුවත් ඒක වැදගත් ප්‍රශ්නයක්. ඒත් හිටගෙන හිටියත් ඡන්දෙ දෙන්න බැහැ.

රන්ජන් රාමනායකට දඬුවම් නියම වී ඇත්තේ 105 (3) වගන්තිය යටතේ. ඒ මෙසේයි.

"105 (3) ශ‍්‍රී ලංකා ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ ශ‍්‍රී ලංකා ජනරජයේ අභියාචනාධිකරණය යන එක් එක් අධිකරණය ලේඛනෝපගත කිරීමේ ජ්‍යෙෂ්ඨ අධිකරණයක් වන්නේ ය. අධිකරණයේ දී ම නැතහොත් අන් ස්ථානයක දී ඒ අධිකරණයකට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභියාචනාධිකරණය සුදුසු යයි සලකන පරිදි බන්ධනාගාරගත කිරීමෙන් හෝ දඩයකින් හෝ බන්ධනාගාරගත කිරීම සහ දඩය යන දඬුවම් දෙකින් ම හෝ දඬුවම් කිරීමේ බලය ද ඇතුළුව එබඳු අධිකරණයක සියලූ බලතල ඒ අධිකරණයන්ට ඇත්තේ ය. ........"

දැන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. රන්ජන්ට පාර්ලිමේන්තුවට එන්න බැහැ තමයි. ඒත් ඔහුගෙ මන්ත්‍රීකම තියෙනව ද කියල. එහෙම තියෙනව නම් අජිත් මාන්නම්පෙරුමට මන්ත්‍රී වෙන්න බැහැ. ඒ කතාව තීරණය වෙන්නෙ ව්‍යවස්ථාවෙ 66 වැනි වගන්තියෙන්. ඒකෙ වෙනත් දේ අතර මෙහෙමත් කියනවා.

"66 (ඈ) ඃ මන්ත‍්‍රීවරයකු 89 වැනි ව්‍යවස්ථාවේ හෝ 91 වැනි ව්‍යවස්ථාවේ සඳහන් යම් ආකාරයකින් නුසුදුස්සකු වීමෙන්ෂ හෝ .........

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගේ අසුන හිස් වන්නේ ය."

ඒකෙන් කියන එක ඉතා පැහැදිලියි. රන්ජන් 89, 91 වගන්ති අනුව නුසුදුස්සකු වෙලා. එවිට ඔහුගේ අසුන අහිමි වෙනවා. රන්ජන් රාමනායක දැන් මන්ත්‍රීවරයකු නො වෙයි. ඒ බව කියන්නෙ ව්‍යවස්ථාව. හරීන්ටවත් සජිත්ටවත් ඒක ඉක්මවා යන්න බැහැ. අර කලු සාටකය ගත්තෙ කොහෙන් ද? ඒකෙන් වැඩක් නැහැ.

පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. බැරි වෙලාවත් අජිත් මාන්නම්පෙරුම මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්නට පස්සෙ රන්ජන් රාමනායකට සමාවක් ලැබුණොත් මොකද වෙන්නෙ. මට නිකම් අහන්න හිතුනා.