Main Logo

Thursday 14 January 2021

ගුරුවරුන්ට කියන නමක් යොදා ගන්නා බටහිර වෙද මහත්වරු

 ගුරුවරුන්ට කියන නමක් යොදා ගන්නා බටහිර වෙද මහත්වරු


අනිල් ජාසිංහට බටහිර වෙද මහතකු යැයි කීම ඔහුට කරන අපහාසයක් ද? මා මේ ප්‍රශ්නය නගන්නේ එංගලන්තයේ සිටින මෙරටින් ගිය බටහිර වෙද මහතකු එසේ කියා ඇති බැවින්. අද එංගලන්තයේ සිටින වෙද මහතා මෙරට ඉන්න කාලයේ ලංකාවේ තම ක්‍ෂෙත්‍රයේ ප්‍රධාන ම වෙද මහතෙක්. එංගලන්තයේ කොහොමද කියන්න මා දන්නේ නැහැ. ඒත් ප්‍රශ්නය එය නො වෙයි. බටහිර වෙදකම කරන අය බටහිර වෙද මහතුන් නො වේ ද? ඔවුන් වෙද මහතුන් නො වේ නම් කවුද? 


අපේ දෙමව්පියන් වෙද මහත්තයා යැයි කීවේ කිසිම අගෞරවයකින් නො වෙයි. ගුරුවරුන් වූ ඔවුන්ට ගම් වැසියන් සිසුන් හා අනෙක් අය කීවේ ඉස්කෝලේ මහත්තයා ඉස්කෝලෙ හාමිනේ කියායි. ඒ දවස්වල මගදි හමු වූ සමහරු මට කිවුවෙ ආ මේ ඩේලින් ඉස්කොලෙ හාමිනේගේ ලොකු පුතා නේ ද කියලයි. මට ඒක ගෞරවයක් මිස අපහාසයක් වුණේ නැහැ. අප බටහිර වෙද මහතුන්ට එකල කිවුවෙ දොස්තර මහත්තයා කියල. 


ඒ අර ඉංගිරිසි ඩොක්ටර් කියන එකෙන් ආපු එකක්. ඒත් ඒක දොක්තර මහත්තයා නොවී දොස්තර මහත්තයා වුණෙ කොහොමද කියන එක දන්නෙ නැහැ. උච්චාරණ පහසුව ද එහෙම නැත්නම් පෘතුගීසි හරි ලන්දේසි හරි ආභාසයක් ද කියන්න දන්නෙ නැහැ. doctor කියන එකේ c ස ලෙස කවුරුන් අතින් හරි උච්චාරණය වුණා ද දන්නෙත් නැහැ. calcium  කිව්ව ම පළමු c ක දෙවැනි c ස.  


දැන් ඔය ඩොක්ටර් කියන වචනයටත් ඉතිහාසයක් තියෙනවා. ඒක බිඳෙන්නෙ ලතින් වචනයකින්. ලතින් ක්‍රියා පදයක් තියෙනවා docere ඩොකරෙ කියල. ඒකෙ තේරුම උගන්වනවා කියන එක. ඉස්සර ඩොක්ටර් කියන වචනය යොදා ගෙන තියෙන්නෙ ගුරුවරයාට. ඒ පළමුවෙන් දේව ධර්මය උගන්වන අයට. පසුව නීතිය හා වෙදකම උගන්වන යටත්. ඊටත් පසුව අද මානව ශාස්ත්‍ර හා ශාස්ත්‍ර කියන විෂය උගන්වන අයට. ඉස්සර  DD (දේවධර්මය උගන්වන්නා) MD (වෙදකම උගන්වන්නා) ආදී වශයෙන් තිබිල තියෙන්නෙ. පස්සෙ philosophy කියල ඔය හැම ක්‍ෂෙත්‍රයකම යොදා ගෙන තියෙනවා. ෆිලොසොෆි කියන්නෙ love of wisdom  හෙවත් ඥානාශාව වගේ දෙයක් නෙ. මා කතා කරන්නෙ දැනුම ගැන මිසක් එක එක ඥානල ගැන නොවෙයි. ෆිලොසොෆි කියන එක දාර්ශනිකයො අයිති කර ගෙන තියෙන්නෙ පස්සෙ. 


ඒ වුණාට පීඑච්ඩී උපාධිය කියන්නෙ ඒ ඒ ක්‍ෂෙත්‍රයෙ ඥානාශාව නිසා ලබා ගත හැකි විශ්වවිද්‍යාලයක ඉහළ ම උපාධිය. ඒ ඒ ක්‍ෂෙත්‍රයේ ඉගැන්වීම තමයි මේ ඩොක්ටර්ලා අතින් කෙරුණෙ. ඩොක්ටර් කියන එක ආචාර්ය ලෙස සිංහලට පරිවර්තනය කිරීම හොඳ දෙයක්. ඒත් පීඑච්ඩී නැත්නම් ඩොක්ටර් ඔෆ් ෆිලොසොෆි කියන එක දර්ශනශූරී කියන එක නම් එච්චර හොඳ නැහැ. ඥානශූරි හරි වෙන මොකක් හරි කිවුව නම් හොඳය කියල හිතෙනවා. අද දර්ශනය කියන එකෙන් අදහස් කරන්නෙ වෙනත් දෙයක් නිසා.


එංගලන්තෙ ආචාර්ය උපාධි දෙන්න පටන් අරන් අවුරුදු සීයකට වැඩිය නැහැ. කලකට පෙර පීඑච්ඩී නැත්නම් ආචාර්ය උපාධිය ගන්න යුරෝපයට යන්න වෙලා. පීඑච්ඩී කියන එකෙන් වෙදකම ඉගැන්වීමත් කියැවුණා. එංගලන්තෙ හිටපු සමහර අය quack  නමින් කියැවෙන පුහුණුවක් නොලැබ වෙදකම් කළ අය තමන් ඩොක්ටර් කියල හඳුන්නගෙන තියෙනවා. ඒ කියන්නෙ සමහර බාසුන්නැහැලත් තමන් ඩොක්ටර් කියා හඳුන්නගන්න ඇති. කමක් නැහැ සුදු බාසුන්නැහැල නොවැ. 


පස්සෙ කාලෙක දි 1838දි තමයි එංගලන්තයෙ වෛද්‍යවරුන්ගෙ රාජකීය සංවිධානය (Royal College of Physicians ) තීරණය කරල තියෙන්නෙ වෙන උපාධියක් තිබුණත් නැතත් තමන් දුන් ඩිප්ලෝමාව ඇති අයට පමණක් ඩොක්ටර් කියල නම් කිරීමට. පසුව ඔවුන් ඒ තීරණය වෙනස් කරල MD (ඩොක්ටර් ඔෆ් මෙඩිසින්) තියෙන අයට පමණක් ඩොක්ටර් කියල යෙදීමට තීරණය කරල. ඒත් ඔය මොන තීරණ තිබුණත් විවිධ වෙදකම්කළ අය ඩොක්ටර් කියල යොදා ගත්ත. 1905 දී ශල්‍ය වෛද්‍යවරුන්ගෙ රාජකීය මණ්ඩලය (Royal College of Surgeons)  යෝජනා කරල අර වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය ඒකාබද්ධ උපාධිය (Bachelor of Medicine and Bachelor of Surgery  - MBBS) උපාධිය තියෙන අයට ඩොක්ටර් කියල යොදන්න. ඔය බැචරලර් කියන එකටත් ඉතිහාසයක් තියෙනවා. දැන් ලිපිය දිග වැඩි වුණා. ඒක කියන්න බැහැ.


මූල දි වෛද්‍යවරුන්ගෙ මණ්ඩලය ශල්‍ය වෛද්‍යවරුන්ගෙ මණ්ඩලයෙ යෝජනාවට එකඟ වෙලා නැහැ. පස්සෙ 1912 දි තමයි MBBS උපාධිධාරීන්ට ඩොක්ටර් කියල යොදන්න නීති හදා ගෙන තියෙන්නෙ. වැඩි කාලයක් නැහැ. ලංකාවෙ බටහිර වෛද්‍ය විද්‍යාලය පටන් අරන් තියෙන්නෙ 1870. ඒකෙන් වෛද්‍යකර්ම හා ශල්‍ය වෛද්‍යකර්ම කරන්න බලපත්‍රයක් (LMS) දුන්න. ලංකාවෙ නම් ඒ අයටත් ඩොක්ටර් කිවුව.  


බටහිර වෙද මහතුන්ට ඩොක්ටර් කියන එකේ ඉතිහාසයෙන් බිඳක් තමයි කිවුවෙ. ගුරුවරුන්ට කියන නමක් වෙද මහත්වරුනට කියන්න හදාගෙන. ඉංගිරිසියෙන් ඩොක්ටර් කියන එක ක්‍රියා පදයක් හැටියටත් යෙදෙනවා. ව්‍යාජ ලේඛන සකස් කිරීම වැනි දේ එයින් කියැවෙනවා. බටහිර වෙද මහතුන් ඩොක්ටර් කියන එක ඩොක්ටර්ඩ් කරගත් දෙයක් කියල මා කියන්නෙ නැහැ. ඒත් මා හිතනවා බටහිර වෙද මහතා කියන එක වඩා හොඳයි කියලා.


කවුරු හරි කියන්න බැරි නැහැ ඉතිහාසය කුමක් වුවත් අද ඩොක්ටර් කියන එක ගෞරවනීය අදහසක් දෙනවා කියලා.  ව්‍යවහාරය අනුවත් අප වැඩ නොකරනව නො වෙයි. ඒත් ඉතින් වෙද මහත්තයා කියන එක අපහාසාත්මක දේකුත් නො වෙයි. මා පාරම්පරික වෙද මහතුන්ට ගරු කරනවා. මා වෙද මහතා කියන්නේ අපහාස කරන්න නො වෙයි.


බටහිර වෙද මහතුන්ගෙන් යම් පිරිසක් ඉන්නව සිංහල පාරම්පරික වෙදකමට හා වෙනත් වෙදකම්වලට ගරු කරන. ඒ අයට මා ගරු කරනවා. එහෙත් බොහෝ දෙනා එසේ සිතන්නේ නැහැ. අනිල් ජාසිංහට බටහිර වෙද මහතකු යැයි කීම අපහාසයක් යැයි සිතන්නේ පාරම්පරික වෙද මහතුන් තමන්ට වඩා පහත් යැයි සිතන බටහිර වෙද මහතුන්. අද ඔවුන්ගේ ආධිපත්‍යය බිඳ වැටෙමින් තියෙනවා. බටහිර වෙද කමෙනුත් ප්‍රයෝජන තියෙනවා. ඒත් ආධිපත්‍යය අපට අවශ්‍ය නැහැ. ධම්මික වෙද මහතා අඩුම තරමෙන් පැණියක් හදල. ලංකාවෙ බටහිර වෙද මහතුන් බටහිර වෙදකමට අලුතෙන් එකතු කරල තියෙන්නෙ මොනවා ද? දැන ගැනීමට නොඉවසිල්ලෙන් ඉන්නවා.