Main Logo

Wednesday 27 January 2021

 

පැණිය බෙදා හැරීමට ක්‍රමයක් සකස් කළ යුතුයි.

 

ධම්මික වෙද මහතාගේ පැණිය පාරම්පරික වෙදකමේ හෙළ වෙදකමේ ආයුර්වේදයේ කොවිඩ් 19 රෝගීන් සඳහා ඇති එක් ප්‍රතිකර්මයක් පමණයි. තවත් ප්‍රතිකර්ම රාශියක් තියෙනවා. ඒත් ඒ එකකටවත් නොලැබුණු ප්‍රසිද්ධියක් ධම්මික වෙද මහතාගේ පැණියට ලැබුණේ එකම එක කාරණයක් නිසා. ඒ කාලි අම්මා පැණිය ගැන කී නිසා නො වෙයි. 

 

ධම්මික වෙද මහතාගේ පැණියට අනෙක් ප්‍රතිකාරවලට නැති ප්‍රසිද්ධියක් ලැබුණේ එය එක්තරා බටහිර වෙද මහතුන් පිරිසක් විසින් පරීක්‍ෂාවකට ලක් කෙරී සාර්ථක බව තහවුරු වූ නිසයි. ධම්මික වෙද මහතා බාසුන්නැහැ කෙනෙක් ද කපු මහත්තයෙක් ද කාලි අම්මා සම්‍යක් දෘෂ්ධික ද මිථ්‍යා දෘෂ්ඨික ද ආදී කිසිවක් එහි දී බලපෑවේ නැහැ. අර බටහිර වෙද මහතුන් පැණිය යම් ආකාරයක පරීක්‍ෂණයට ලක් නොකරන්න ධම්මික වෙද මහතාගේ පැණියටත් අනෙක් දේශීය ප්‍රතිකාරවලට අත් වූ ඉරණම ම අත් වෙන්න තිබුණා. අද සමාජයේ ආධිපත්‍යයේ ඇත්තේ බටහිර දැනුම මිස වෙනත් කිසිම දැනුමක් නොවෙයි. බුදුදහම දැනුමක් ගැන නොව නොදැනුමක් ගැන කතා කළත් බුදුදහම ද දැනුමක් ලෙස සලකා එය බටහිර ආධිපත්‍යයට යට කෙරෙනවා. බුදුදහම විද්‍යාත්මක කිරීමේ පදනම එයයි.

 

ජනමාධ්‍යයෙන් අර බටහිර වෙද මහතුන්ගේ සාක්‍ෂියට ප්‍රසිද්ධියක් දුන් බැවින් ධම්මික වෙද මහතාගේ පැණිය දේශපාලන බලවතුන්ගේත් අවධානයට ලක් වුණා. එයට යම් දේශපාලන අනුග්‍රහයක් ද ලැබුණා. එසේ නොවන්නට පැණිය පරික්‍ෂාවට ලක් කළ බටහිර වෙද මහතුන්ට සමහර විට ගෙදර යන්න සිද්ධ වෙන්නත් තිබුණා. එහෙත් එසේ වුණේ නැහැ. එක්තරා බලධාරිනියක් ඒ බටහිර වෙද මහතුන්ගෙන් නිදහසට කරුණු විමසීමට ද සූදානමින් සිටියා.

 

ධම්මික වෙද මහතාගේ පැණියට ප්‍රසිද්ධිය ලැබුණේ එය යම් බටහිර වෙදකමේ පරීක්‍ෂාවකින් තහවුරු වූ නිසයි. එසේ වූයේ බටහිර වෙදකම මෙරට හා සෙසු ලෝකයේ දරණ ආධිපත්‍යය නිසයි. දේශපාලන බලවතුන් ඒ දෙස බැලුවේ ද ඒ දැනුම පිළිබඳ ව බටහිරට ඇති ආධිපත්‍යය නිසයි. දේශපාලනඥයන් පෞද්ගලික ව කාලි අම්මාගෙන් අනාගතය දැන ගන්නවා ඇති. එහෙත් ප්‍රසිද්ධියේ කාලි අම්මා කී නිසා යමක් කරන්නේ නැහැ. ඒක ලංකාවේ තත්වය. අලුත් කාරයක් ගත් විට කතරගම යන තැනැත්තා ප්‍රසිද්ධියේ දෙවියන් ගැන විශ්වාසයක් නැහැ කියනවා.

 

බටහිර වෙද මහත්තුරු සමස්තයක් ලෙස ගත්කල පැණියට විරුද්ධයි. පෞද්ගලික ව එය රෝගීන්ට ලබා දෙන බටහිර වෙද මහත්වරුන් කිහිප දෙනෙක් ඉන්නවා. එහෙත් ඔවුනුත් වැඩි දෙනා ප්‍රසිද්ධියේ ඒ බව පිළිගැනීමට බයයි. ඒ තමයි ඔවුන් තම ක්‍ෂෙත්‍රයේ ම ආධිපත්‍යයට යට වීම. බටහිර වෙද මහතුන් සමස්තයක් ලෙස පැණියට විරුද්ධ වුවත් දේශපාලන බලය ඉදිරියේ එක් වරම පැණියට විරුද්ධ වුණේ නැහැ. ඔවුන් ඒ සඳහා වෙනත් උපායක් අනුගමනය කළා. ඔවුන් කියා සිටියා පැණිය බටහිර වෙදකම අනුව ඊනියා විධිමත් පරීක්‍ෂාවකට ලක් කළ යුතු ය කියා. බටහිර වෙද මහතුන් කිහිප දෙනකු නිසා ම තමයි දේශපාලන බලවතුන් පැණියට ආකර්ෂණය වුණේ. බටහිර වෙද මහතුන් හා දේශපාලන බලවතුන් අතර ඇති මේ චක්‍රිය සම්බන්ධය අප තේරුම් ගත යුතුයි.

 

මා නම් මුල සිට ම එවැනි පරීක්‍ෂාවකට විරුද්ධ වුණා. අදත් විරුද්ධයි. බටහිර නොවන වෙදකමක ප්‍රතිකාරයක් ගැන බටහිර වෙදකම අනුව පරීක්‍ෂා කිරීමට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. එසේ පරීක්‍ෂා කෙරෙන්නේ බටහිර දැනුම අනුව සියල්ල මැණිය යුතු බවට ඇති ආධිපත්‍යය නිසා. ඇතැමුන් බුදුදහමත් විද්‍යාත්මක කරන්නේ ඒ මිනුම්දණ්ඩ යෙදා ගෙන. දේශපාලනඥයන් ද අවසාන වශයෙන් ක්‍රියා කරන්නේ බටහිර දැනුමට අනුව. ජනමාධ්‍ය හිමියන් ද කටයුතු කරනනේ ඒ අනුවයි.

 

බටහිර වෙද මහතුන් දේශපාලනඥයන්ට සෘජුව විරුද්ධ නොවී පැණිය තව තවත් පරීක්‍ෂාවට ලක් කළ යුතු ය කියා කිවුවා. දේශපාලනඥයන් එයට එකඟ වුණා. එහි දී විවිධ කමිටු පත් කෙරුණා. බටහිර විද්‍යාව ම අනුව පැණියේ වසක් විසක් නැති බව තහවුරු වුණා. ආයුර්වේද සූත්‍ර කමිටුව පැණිය ඖෂධයක් ලෙස අනුමත කළා. ආයුර්වේද කොමසාරිස් ධම්මික වෙද මහතාගේ ඖෂධාගාරය සූත්‍ර කමිටුව අනුමත කරන ඕනෑම ඖෂධයක් නිෂ්පාදනය කළ හැකි ආයතනයක් ලෙසට සහතිකයක් ලබා දුන්නා.

 

එ අතර රජරට විශ්වවිිද්‍යාලයේ ආචාරධර්මී කමිටුවට පැණිය යොමු වුණා. යම් කලක් ගත වී හරි කමිටුව පැණියට ආචාරධර්මි අවසරය ලබා දුන්නා. ඉන් පසු කළ යුතුව තිබුණේ බටහිර වෙදකම අනුව ඊනියා සායනික නැහැසුම් පැවැත්වීම. ඒ සඳහා අනුරාධපුරයේ යම් ආයතනයක් (රෝහලක්) තෝරා ගත් බවයි අපට දැන ගැනීමට ලැබී ඇත්තේ. ඒ සායනික නැහැසුම් දැන ගැනීමට ලැබී ඇති අයුරින් දැන් සති තුනකට වැඩි කාලයක් තිස්සේ කෙරී ගෙන යනවා. එහෙත් රෝගීන් පැණිය පානය කිරීම ප්‍රතික්‍ෂෙප කරන බව කියනවා. රෝගීන් කියනවා කියන්නේ පැණිය වස බවයි. අනුරාධපුරයේ කෙරෙන්නේ සායනික නැහැසුම් නො වෙයි. සායනික නැහැසුම්වලින් බටහිර වෙද කමේ කෙරෙන්නේ යමක් බෙහෙතක් ලෙස දීමට හැකි ද යන්න බැලීම සඳහා පරීක්‍ෂණ කිරීමයි. මෙහි දී වන්නේ බෙහෙතක් හරි ද කියා සොයා බැලීමක්. ඒ දෙක දෙකක්. මෙතන සම්පරීක්‍ෂණ අවශ්‍ය නැහැ. ඒත් බටහිර වෙද මහතුන් කරන්නේ කුමක් ද කියා දන්නේ නැතිව ඊනියා සම්පරීක්‍ෂණ කරනවා.

 

බටහිර විද්‍යාව අනුව ම පැණියේ වසක් විසක් නැති බව රෝගීන්ට කියන්න බටහිර වෙද මහතුන් ඉදිරිපත් වන බවක් දැන ගන්නට නැහැ. රෝගීන් පැණිය වස කියා පානය නොකරන්නේ කාගේ බහකට ද යන්න ප්‍රශ්නයක්. රෝගීන් නිවසේ සිට ම පැණිය වස කියන මතය දරා ගෙන ආවද? නැත්නම් අනුරාධපුරයට පැමිණීමෙන් පසුව ඔවුන්ට පැණිය වස බව කිසිවකු පැවසුවා ද? එසේ පැවසුවා නම් ඒ කවුද? අප දැන ගැනීමට කැමතියි.

 

අද වන විට රෝගීන් කී දෙනකු පරීක්‍ෂාවට ලක් කර ඇත් ද? ඊනියා සම්පරීක්‍ෂණ ක්‍රමය අනුව පැණිය දී ඇත්තේ ඉන් අඩකට වෙන්න ඕන. මේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්න සෞඛ්‍ය බලධාරීන් පියවර ගන්නවා ද? පරීක්‍ෂාව සඳහා අවසානයේ රෝගීන් කී දෙනකුට පැණිය දීමට අදහස් කරනවා ද? අද පරීක්‍ෂාව කෙරී ගෙන ආකාරය අනුව ඒ ප්‍රමාණයට පැණිය දීමට කොපමණ කල් යාවි ද?

 

මේ පරීක්‍ෂාව අපට වුවමනා නිසා කෙරෙන්නක් නො වේ. අප පරීක්‍ෂාවට එදත් අදත් විරුද්ධයි.  පැණිය ඖෂධයක් ලෙස අනුමත වී තිබෙනවා. එමෙන් ම එය ආහාර පරිපූරකයක් බවටත් තීරණය කර තිබෙනවා. දේශීය සෞඛ්‍ය අමාත්‍යංශයට පැණිය බෙහෙත් කඩවල තබා විකිණීමේ හරි වෙනත් ක්‍රමයකට බෙදා හැරීමේ හරි ප්‍රශ්නයක් නැහැ. ඒ සඳහා අර ඊනියා සායනික නැහැසුම් අවසන් වන තෙක් බලා ඉන්න අවශ්‍ය නැහැ. ඊනියා සායනික නැහැසුම් අවශ්‍ය බටහිර වෙදකමේ පැණිය අනුමත කිරීමට මිස පාරම්පරික වෙදකමට නො වෙයි. සායනික නැහැසුම් අවසන් වන තෙක් පැණිය බෙදා හැරීම නොකළ යුතු යැයි කීම නීති විරෝධයි. ඒ අධිපතිවාදීයි.    පාරම්පරික වෙද කමේ අලුත් බෙහෙතක් හරි වෙන්නෙ ප්‍රත්‍යක්‍ෂයි අත්දුටුවයි ක්‍රමයට. 

 

අනුරාධපුරයේ පරීක්‍ෂා ඇදි ඇදී යන අතර බටහිර වෙද මහතුන් හා බටහිර දැනුම් ආධිපත්‍යයෙහි හෙංචයියන් ප්‍රචාරයක් ගෙන යනවා පරක්‍ෂා අසාර්ථක කියා. එය පට්ටපල් බොරුවක්. පැණිය අසාර්ථක බව පෙන්වන්න පුළුවන් නම් බටහිර වෙදකමේ බලධාරීන් මෙතරම් කල් බලන් ඉන්නේ නැහැ. රෝගීන්ට පැණිය නොබී ඉන්න ඉඩ දෙන්නෙත් නැහැ. පැණිය වස නොවන බව රෝගීන්ට කියා පැණිය දී පැණියේ අසාර්ථක බව මේ වන විටත් හෙළිදරවු කරලා. එහෙත් එසේ කරන්න බැහැ. අද කරන්න තියෙන්නේ පරීක්‍ෂාව දිග් ගැස්සීමත් ඒ අතර පැණිය අසාර්ථක ය කියා ප්‍රචාරය කිරීමත්.

 

අප නැවතත් කියන්නේ මේ පරීක්‍ෂා අපට අවශ්‍ය නැති බවයි. එහෙත් අප ප්‍රශ්න කරනවා පරීක්‍ෂා ඇදෙන්නේ ඇයි ද කියා. අපට අවශ්‍ය නූණත් පරීක්‍ෂා කෙරෙන්නේ මහජන මුදලින්. එබැවින් අපටත් අයිතියක් තියෙනවා පරීක්‍ෂා කල් ඇදෙන්නේ ඇයි ද කියා දැන ගැනීමට. මේ පරීක්‍ෂා කෙරෙන්නේ බටහිර වෙදමහතුන්ගේ අධීක්‍ෂණය යටතේ. පරීක්‍ෂා ඇදී යෑම ගැන ඔවුන් වග කියන්න ඕන. ඔවුන්ට පුළුවන්කම තියෙන්න ඕන රෝගීන්ට පහදා දෙන්න පැණිය වස නො වෙයි කියා. යමකුට අහන්න පුළුවන් රෝගීන් බටහිර වෙද මහතුනට පැණිය වස බවට දේශන පවත්වනවා ද කියා.

 

පැණිය පරීක්‍ෂාවට ලක් කරන්නේ බටහිර වෙද මහතුන්ගේ අධික්‍ෂණය යටතේ. අප අසා තිබෙන ප්‍රශ්නයක් නම් මෙරට බටහිර වෙද මහතුන් අවුරුදු 150 ක පමණ කාලයක් තිස්සේ අලුත් ප්‍රතිකාර කොපමණ හඳුන්වා දී ඇත් ද කියා. අප එයින් කියන්නේ පඬි නැට්ටන්ට තේරුණේ නැති වුවත් අලුත් බෙහෙතක් පරීක්‍ෂාවට ලක් කිරීමට පළමුව අලුත් බෙහෙත් හඳුන්වා දිය යුතු බවක් නො වෙයි. අප එයින් පෙන්නුම් කරන්නේ මෙරට බටහිර වෙද මහතුන්ගේ බටහිර වෙදකමට වී ඇති නිර්මාණශීලී දායකත්වයයි. මෙරට බටහිර වෙද මහතුන් දන්නා එක ම දේ අනෙක් බටහිර උගතුන් මෙන් ම සඟරා පොත්පත් මගින් ලැබෙන බටහිර දැනුම මෙරට ප්‍රචලිත කිරීම පමණයි. ඔවුන්ගේ ඊනියා නිර්මාණ ගැන අවබෝධයක් විවිධ පර්යේෂණ සැසි වාරවලට ඉදිරිපත් කෙරෙන පත්‍රිකා මගින් ලබා ගන්න පුළුවන්.

 

ආහාරයක් රස ද නැද් ද කියන්න ආහාර පිසීමට දැන ගෙන ඉන්න ඕන නැහැ. එහෙත් බටහිර හොට් ඩෝග් කන අය හරි හදන්න දන්න අය හරි කැවුම්  ගැන හොට් ඩෝග් හදන ක්‍රමය අනුව පරීක්‍ෂා කිරීම සදාචාරාත්මක නැහැ. අද ඇතැම් ජනමාධ්‍යවේදීන් හා බටහිර වෙද මහතුන් එකතු වී ධම්මික වෙද මහතා දඩයම් කිරීමට සැරසෙනවා. ධම්මික වෙද මහතාගේ මානසික තත්වය ගැන ඔවුන් ප්‍රශ්න කරනවා. අවසානයේ දී ඒ ගැන තීරණයක් ගන්නේත් බටහිර වෙද මහතුන්මයි. අනුරාධපුරයේ වාර්තාව කුමක් වුවත් අපට ඒ ගැනත් කිසිම විශ්වාසයක් නැහැ. ඕක බටහිර වෙදමහත්තුරුන්ගේ ව්‍යාජ ලේඛනයක් (ඩොක්ටර්ලා ඩොක්ටර් කරපු) වීමට ඇති ඉඩකඩ අධිකයි. ඔය වාර්තාව වැඩක් වන්නේ ඔවුන්ට පමණයි. පාරම්පරික වෙදකමට ඉන් වැඩක් නැහැ. 

 

ආණ්ඩුව පැණිය බෙදා හැරීමට වැඩ පිළිවෙළක් සකස් කරන්නේ නැත්නම් කවුරුන් හරි ඉදිරිපත් වෙලා ඒ බෙදා හැරිය හැකියි. විවිධ බෙහෙත් වර්ග බටහිර මෙන් ම දේශීය ඔසුහල්වල ද විකිණෙනවා. ඖෂධයකටත් වඩා ආහාර පරිපූරකයක් ලෙස පැණිය ලබා ගන්න ජනතාවට පහසුකම් සැලසිය යුතුයි. අර ඊනියා පාරිභෝගික අයිතිය අනුව යමකුට පැණිය වෙළෙඳපොලේ මිළ දී ගත හැකි විය යුතුයි.   පැණිය බෙදා හැරීමට ක්‍රමයක් සකස් කළ යුතුයි.

 

’