Main Logo

Tuesday 19 January 2021

ග්‍රහ චලනය ගැන වචනයක්

 

ග්‍රහ චලනය ගැන වචනයක්

 

මට ජ්‍යොතිෂය ගැන ලියන්න හිතුණෙ කොළඹ විශ්වවිද්‍යාලෙ ඉගෙන ගත්ත ශිෂ්‍යයෙක් ඊයෙ අහපු ප්‍රශ්නයක් නිසා. ඔහු ශිෂ්‍යයකු වෙලා ඉන්න ඇත්තෙ මීට අවුරුදු තිහකටත් එහා. තාමත් ප්‍රශ්න. ප්‍රශ්න නැතිවෙන්න නිවන් සම්මාබෝධ කරන්න ඕන. දැනට ප්‍රශ්න තියෙන එකත් හොඳයි.

 

ඒ දවස්වල කොළඹ විශ්වවිද්‍යාලෙ පාඨමාලාවක් තිබුණ තාරකා විද්‍යාවට හැඳින්වීමක්  කියල. අමුතුවෙන් කියන්න ඕන නැහැ ඒක බටහිර තාරකා විද්‍යාව පිළිබඳ පාඨමාලාවක්. ඒ පාඨමාලාව සකස් කෙළෙ මම. මට මතක නැහැ ඒකෙ මොනවා ද තිබුණෙ කියලා. ඒකෙ දේශන පැවැත්තුවෙ නම් මම.

 

මා හිතන්නෙ ඔය දේශනවලදි මා රාහු කේතු ගැනත් කතා කරල තියෙනවා.  ඒ ශිෂ්‍යයා තමයි කියන්නෙ. ජී එල් පීරිස් ඒක දැන හිටිය ද කියල මා දන්නෙ නැහැ. බටහිර තාරකා විද්‍යාවෙ රාහු කේතු ඉන්නවා ද කියල අහන්න බැරි කමක් නැහැ. රාහු කේතු කියන්නෙ ග්‍රහයො දෙන්නෙක්. ඒත් එහෙම ග්‍රහ වස්තු නැහැ. ග්‍රහ වස්තු නැතිවත් අපට බලපාන්න පුළුවන් ද? ඒ මදිවට රාහු කේතු ආපස්සට යන්නෙ. අනෙක් ග්‍රහයො යන අතට නො වෙයි. අනෙක් ග්‍රහයොත් යන අත හිටපු ගමන් වෙනස් කරනවා. ඔවුන් වක්‍ර වෙනව කියනවා.

 

ග්‍රහ වස්තුවක් කියන්නෙ ග්‍රහයෙක් නො වෙයි. ග්‍රහ වස්තු කිවුවම බුධ කුජ නැත්නම් අඟහරු, පෘථිවිය, සිකුරු, බ්‍රහස්පතී, සෙනසුරු ආදීන් ඉන්නවා. ඒ අය සූර්යයා වටේ යනවා. නිවුටන් මොනව කිවුවත් සූර්යයාට සාපේක්‍ෂව අචල ඉලිප්සවල නම් නො වෙයි යන්නෙ.  ඉලිප්සත් කැරකෙනවා. ඒ කියල බටහිර භෞතික විද්‍යාඥයො නිවුටන් අහක දාන්නෙ නැහැ. ග්‍රහ වස්තු අහක දාන්නෙත් නැහැ.

 

ග්‍රහ වස්තු පොළොවට සාපේක්‍ෂව අහසෙ ඒ ඒ තැන්වල ඒ ඒ වෙලාවට ඉන්නවා. එහෙම ඉන්නෙත් නැහැ. ඉන්නව ඒ වගේ ම නැහැ. ඒ නිසා තමයි චලනය තියෙන්නෙ. ඉන්නෙ නැත්තෙ නැත්තන් යන්න බැහැ. පඬි නැට්ටන්ට ඒ කතාව තේරෙන්නෙ නැහැ. ඔවුන්ට එක්කො ඉන්න ඕන, නැත්නම් යන්න ඕන. ඔවුන්ට යනවා කියන එක ඉන්නවා කියන එකේ විරුද්ධ වචනෙ. ඇරිස්ටෝටල් කරපු වැරදිවලට අපි මොනව කරන්න ද?

 

ග්‍රහයන් කියන්නෙ ග්‍රහ වස්තුවලට නො වෙයි. ඉරත් ග්‍රහයෙක්. බටහිර තාරකා විද්‍යාවට අනුව ඉර තාරකාවක්. පඬි නැට්ටන් අහනවා තාරකාවක් ග්‍රහයෙක් වෙන්නෙ කොහොමද කියල. ඒ ඔවුන් ග්‍රහ වස්තුවලට ග්‍රහයන් කියන නිසා. ග්‍රහයන් අර්ථදැක්වෙන්නෙත් පෘථිවියට සාපේක්‍ෂව.  අපි ග්‍රහ වස්තුවක් ගනිමු. පෘථිවිය ග්‍රහ වස්තුවට  යා කරන රේඛාව  දික් කළොත් ඔය ඛගෝලය කියන එකේ පතිත වෙනවා. නැත්නම් අර රේඛාවත් ඛගෝලයත් ඡෙදනය වෙනවා.

 

ඛගෝලය කියන්නෙ පෘථිවිය (පෘථිවි කේන්ද්‍රය) කේන්දූ කර ගත් හිස් ගෝලයකට. ඛ කියන්නෙ හිස් බව දුක්ඛ කියන්නෙ අයහපත් හිස් බව. ඒ දුක්ඛ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තැන කියවෙන්නෙ. ඒ හිස් බව අප දන්නෙ නැතිව මායාකාරී වස්තුවලින් සමන්විත ය කියල හිතනවා.  ඛගෝලය කියන්නෙ ද්විමාන පෘෂ්ඨයක්. ඒ පෘෂ්ඨය අහසෙ ප්‍රක්‍ෂෙපණයක්.

 

ඈත අහසෙ තියෙන තාරකා මණ්ඩල ඔය ඛගෝලයෙ ප්‍රක්‍ෂෙපණය  කරාම තමයි මේෂ වෘෂභ ආදි රාශි නැත්නම් ලග්න ලැබෙන්නෙ. ඒ රාශියක තාරකා එක ම දුරින් පිහිටන්න ඕන නැහැ. එකිනෙකින් ඉතා ඈත තියෙන තාරකා අර ඛගෝලයෙහි එක ළඟ පිහිටන්න පුළුවන්. ඒකෙ ප්‍රශ්නයක් නැහැ. මේෂ රාශියෙහි හරි වෙන රාශියක හරි තාරකා පෘථිවියේ සිට එක ම දුරකින් පිහිටන්න ඕන නැහැ.

 

පහුගිය දවසක සෙනසුරු හා බ්‍රහස්පති එක ළඟට ආවා. එක ළඟට ආව කිව්වට ත්‍රිමානයේ තරමක දුරකින් පිහිටියෙ. ඒ එක ළඟට ආවෙ අර ඛගෝලයට ප්‍රක්‍ෂෙපණය කළාම.  ග්‍රහ යුද්ධ ග්‍රහ සංයෝග ආදිය සිද්ධ වෙන්නෙ ද්විමාන පෘෂ්ඨයක. ද්විමාන පෘෂ්ඨයක ප්‍රක්‍ෂෙපණ එක ළඟ තිබුණත් ත්‍රිමානයේ එහෙම ළඟින් වෙන්න ඕන නැහැ.

 

මට තේරෙන විධියට ජ්‍යොතිෂය ඔය ද්විමාන ඛගෝලයෙ ග්‍රහයන්  අර රාශි චක්‍රයට එහෙමත් නැත්තන් තාරකා රාශියක ඛගෝලයෙහි ද්විමාන පෘෂ්ඨයක ප්‍රක්‍ෂෙපණය වන්නෙ කොහොමද කියන එක පදනම් කරෙැගන ඇති ශාස්ත්‍රයක් නැත්නම් විද්‍යාවක්. ග්‍රහයන් චලනය වන්නෙ අර රාශි චක්‍රයට හා පෘථිවියට සාපේක්‍ෂව. පලාපල කියන්නෙ ඔය චලනය පදනම් කර ගෙන. අර ශිෂ්‍යයා දැන් ජ්‍යොතිෂය ඉගෙන ගෙන. ඔහු අමුතු  උපග්‍රහයන් ගැනත් කිවුව. මා නම් ඒ උපග්‍රහයන් ගැන කිසි දෙයක් දන්නෙ නැහැ. පස්සෙ වෙලාවක අහගන්න ඕන.