Main Logo

Sunday 31 January 2021

හූල්ගෙ වූල් බල්ල

 හූල්ගෙ වූල් බල්ල 


සැමුවෙල් රත්නජීවන් හර්බට් හූල් කියන්නේ මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකයෙක්. ඔහු සිංහල බෞද්ධ විරෝධියෙක්. ඔහු දෙමළ ක්‍රිස්තියානි මහාචාර්යවරයෙක්. ඔහු කලක් විශ්වවිිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සාමාජිකයකු ද වෙලා හිටියා. ඔහු එතැනට පත් කරනු ලැබුයේ එකල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින්. පසු කලෙක මහින්ද රාජපක්‍ෂ ජනාධිපති යුගයක දී ඔහු යාපනය විශ්වවිිිද්‍යාලයේ උපකුලපති ධුරයට ද පත්කෙරුණා. එහෙත් හූල් ඒ පත්වීම ගත්තොත් කොටි ඔහුගේ හිස පෙට්ටියක දමා එවන බවට කළ ප්‍රකාශය නිසා එම ධුරයෙහි වැඩ භාර ගත්තේ නැහැ. 


හූල්ගේ පියා ක්‍රිස්තියානි පූජකවරයෙක්.  ඔවුන් ඇංග්ලිකන් සභාවේ. දෙමළ ජාතිවාදී නායකයන් බොහෝ දෙනකු ක්‍රිස්තියානි සභාවල සාමාජිකයන්. පොන්නම්බලම් රාමනාදන් හා ඔහුගේ සොහොයුරු අරුණාෂලම් හින්දු වුවත් ඔවුන්ගේ පරම්පරාව ක්‍රිස්තියානි. ලංකාව දෙකඩ කළ යුතු බව මුල් වරට යෝජනා කෙළේ දහනවවැනි සියවසේ මුල ගාල්ලට පැමිණි ක්‍රිස්තියානි පූජකවරුන්.  


දෙමළ වෙල්ලාල ජාතිවාදීන් මුල සිට ම මෙහෙයවනු ලැබුයේ විවිධ ක්‍රිස්තියානි පල්ලි මගින්. ඇංග්ලිකන් පල්ලිය හා   මෙතෝදිස්ත පල්ලිය ඒ අතින් ප්‍රධානයි. පංච මහා වාද ඇති වුණෙත් ඒ පල්ලිවල පූජකයන් හා ගිහි දේශකයන් සමගයි. ඉතා මෑතක දි ඇංග්ලිකන් පල්ලියේ එකල ප්‍රධානියා වූ කෙනත් ප්‍රනාන්දු පූජකවරයා ප්‍රභාකරන් මානුෂීය පුද්ගලයකු ලෙස හැඳින් වූ බව අපට මතකයි. 


මේ කතා මට මතක් වන්නෙ පහුගිය දා රත්නජීවන් හූල් ලියපු ලිපියක් නිසා. ඔහු කියා තිබුණා දෙවියන් වහන්සේට ජාතියක් ගැන විනිශ්චයක් දීමට අවශ්‍ය වූ විට කුරිරු පාලකයන් එවනවා කියා. ඔහු වැඩි දුරටත් කියා සිටියා තමා ප්‍රභාකරන් බල්ලකු ලෙස මැරූ බවට ගෝඨාභය රාජපක්‍ෂ පුරසාරම් දෙඩු බවත්. ඉන් පසු ඔහු කියා තිබුණා වැදගත් පවුලක අයකු බල්ලකුවත් මරන්නෙ නැහැ කියල. ඔහු නොකියා කියන්නෙ මොකක් ද කියන එක පැහැදිලියි.


හූල් ඉන් පසු යාපනය නාගරික සභාවේ අඩු ලුහුඬුකම් ගැන කියනවා. ඒ පාලකයන්ගේ කුරිරු බවක් නම් කියන්නේ නැහැ. දෙවියන් වහන්සේට නිල වශයෙන් දෙමළ ජනයා විනිශ්චය කිරීමට අවශ්‍ය නැතිව ඇති. හූල්ට අනුව උන්වහන්සේ  නිල නොවන වශයෙන් නම් දෙමළ ජනයා විනිශ්චයට ලක් කර ඇති බවයි පේන්න තියෙන්නෙ. ඒ ප්‍රභාකරන් දෙමළ ජනයා වෙත එවීම මගින්. ප්‍රභාකරන් නිල වශයෙන් දෙමළ ජනයාගේ නායකයා නොවන්න ඇති. එහෙත් දෙමළ නායකයන් සියල්ලන් ම වගේ ප්‍රභාකරන් තම නායකයා ලෙස පිළිගත්තා. හූල්ට අවශ්‍ය ම නම් මෙතෝදිස්ත සභාවේ ඒබ්‍රහම් සුමන්තිරන්ගෙන් අහල බලන්න පුළුවන්. 


ඒත් හූල්ට අනුව එසේ වුවත් දෙවියන් වහන්සේ දෙමළ ජනයා එවැනි විනිශ්චයකට භාජනය කළා කියා හිතන්න බැහැ. සමහර විට දෙමළ නායකයන් විනිශ්චයකට ලක් කරන්න දෙවියන් වහන්සේ ප්‍රභාකරන් ඔවුන් වෙත එවුවා ද දන්නේ නැහැ. මා හිතන්නේ දෙවියන් වහන්සේට දෙමළ නායකයන් ගැන නම් හොඳ විනිශ්චයක් තියෙන්න ඇති. අද දෙමළ නායකයන් කියල කියන්න පුළුවන් පිරිසක් නැහැ. පොදුජන පෙරමුණ ශ්‍රී ල නි පක්‍ෂය වැනි පක්‍ෂ තවමත් දෙමළ ජනයාගේ නායකත්වය භාර ගැනීමට කටයුතු නොකරන්නේ ඇයි ද යන ප්‍රශ්නය නම් දෙමළ ජනයාට තියෙන බව පැහැදිලියි. දෙමළ ජනයා ක්‍රමයෙන් තමන්ට ඊනියා දෙමළ නායකයන් නැති බව තේරුම් ගනිමින් සිටිනවා.


හූල් කියන විධියේ ප්‍රකාශයක් ජනාධිපති ගෝඨාභය කියා නැහැ. මා දන්නා තරමට එතුමා ප්‍රභාකරන් බල්ලකු සේ මරා දැමී යැයි කොතැනකවත් කියා නැහැ. කියා ඇත්තේ නන්දිකඩාල් කලපුවෙන් බල්ලකු වගේ උස්සන් ආපු එකයි. උස්සන් එන්න මරන්න ඕන නේද කියල ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අවශ්‍ය ම නැහැ. ප්‍රභාකරන් නන්දිකඩලා කලපුවෙ මැරුණ ද දන්නෙ නැහැ. අනිත් මිනිස්සුන්ට සයනයිඩ් දීපු මිනිහ තමන් ළඟත් සයනයිඩ් තියා ගන්න ඇති. තවත් සමහර විට ප්‍රභාකරන් දෙමළ ජනයාට කරන ලද විනාශය නිසා ඔහුගෙ ම ත්‍රස්තවාදියකු නායකය කෙරෙහි කළකිරීමෙන් මැරුව ද දන්නෙ නැහැ.  හූල් සිද්ධ වූණු දෙය හරියට ම දන්නවා ද? 


ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවෙ පීනන්න ගිහින් ගිලිල මළා ද කියලත් දන්නෙ නැහැ. අපි දන්නෙ ප්‍රභාකරන් උස්සන් ආපු එක විතරයි.  මා මේ කතා කියන්නෙ හුදෙක් තර්කය සඳහා නො වෙයි. කොහොමටත් ඔය ඇරිස්ටෝටලීය තර්ක ගැන මගේ විශ්වාසයක් නැහැ. 


හූල් කියා තිබුණා වැදගත් පවුල්වල අය බල්ලකුවත් මරන්නෙ නැහැ කියල. ඒක නම් මා දන්නෙ නැහැ. ඉස්සර විශ්වවිද්‍යාලෙ බයිලාවක් තිබුණා (විශ්වවිද්‍යාලෙ බයිල තියෙන එක අමුතුවෙන් කියන්න ඕන. ඒකෙ තියෙන්නෙ බයිල විතරයි) බල්ලො මරා හරි සල්ලි හොයා ගෙන  ඩිග්‍රී ගහන්නෙ කෙල්ලො නිසයි වගේ කතාවක්. ඒ කාලෙ විශ්වවිද්‍යාලයට ආවෙ වැදගත් පවුල්වල අය නොවන්න ඇති. ඒ කොයි හැටි වෙතත් ඔය වැදගත් පවුල්වල බ්‍රවුන්රිග්ලා ටොරින්ග්ටන්ල වගේ ආණ්ඩුකාරයො නම් බල්ලො මරපු බවට ආරංචියක් නැහැ. ඔවුන් සිංහල ගිහියන් හා සිංහල හාමුදුරුවරුන් නම් මැරුව. ඒ ආණ්ඩුකාරයො ඇංග්ලිකන් ක්‍රිස්තියානි. හුල්ගෙ පල්ලියෙ අය. ඔවුන්ට දෙමළ වෙල්ලාලයන් මරන්න ඕන වුණෙ නැත්තෙ ඇයි කියල හූල්ගෙන් ඇහුවට කමක් නැද්ද? 


හූල්ට මේ දවස්වල රස්සාවක් නැත්නම් අර ජිනීවා මානව හිමිකම් නෝනගෙ කන්තෝරුවෙ රස්සාවක් හොයා ගන්න බැරි වෙන එකක් නැහැ. එතැනට අවශ්‍ය හූල් වගේ මිනිස්සු.