Main Logo

Saturday 2 January 2021

කොවිඩ් දේශපාලනය

 කොවිඩ් දේශපාලනය


මෙරට දේශපාලනයෙන් තොර කිසිම දෙයක් නැහැ. කොවිඩ් 19 සම්බන්ධයෙන් බටහිර වෙදකමට ඇත්තේ එන්නත පමණයි. ඒ සඳහා ප්‍රතිකාරයක් නැහැ. එහෙත් වෙනත් වෙදකම්වල ප්‍රතිකාර තියෙනවා. ප්‍රතිකාරය කියන්නෙත් එක ම දේකට නො වෙයි. චීනයේ කොවිඩ් 19 ට සාම්ප්‍රදායික වෙදකමක් තියෙනවා කියා හිතන්න පුළුවන්. ඒ ගැන අධ්‍යයනයක් අවශ්‍යයයි. අනෙක් රටවලත් විවිධ ප්‍රතිකාර තියෙන්න ඕන.  එහෙත් චීනයේ මෙන් ඒ ප්‍රතිකාරවලට තැනක් ලැබෙන්නේ නැහැ. යම් තරමින් හරි පිළිගැනීමක්් ඇත්තේ ලංකාවේ විය යුතුයි. 


චීනයේ රෝහල්වල බටහිර වෙදකම මෙන් ම චීන වෙදකම ද එකට කරන්න පුළුවන්. එයට නීතියෙන් බාධ්වක් නැහැ. බොහෝ විට අපට අමතක වන කරුණක් නම් අද  නීති හදන්නෙත් මිනිසුන් බව. ඇතැම් සංස්කෘතියක අතීතයේ දී නීතිය පිළිබඳ දැනුමත් යම් දෙවියකුගෙන්, මනුෂ්‍ය නොවන ප්‍රාණියකුගෙන් ලැබී ඇති බව පෙනෙනවා. එහෙත් බෞද්ධ සංස්කෘතියක නීතිය මිනිසුන්ගේ ම පමණක් සංස්කරණයක්. 


බුදුහාමුදුරුවන් විනය පිටකයක් දේශනා කරල සඟ සසුන පටන් ගත්තෙ නැහැ. සඟ සසුන පටන් අරන් අවුරුදු ගණනක් ගියාට පස්සෙයි විනය දේශනා කළෙ. එයත් සි්ද්ධියෙන් සිද්ධියට. ඒත් ශික්‍ෂාපද නම් තිබුණා. සමහර ශික්‍ෂාපද ඒ වන විටත් සමාජයෙ තිබුණ ඒවා. 


පාර්ලිමේන්තුවෙ ඉන්න අයට නීති සම්පාදකයන් කියල කියනවා. ඔවුන්ගෙ රාජකාරිය එය වෙන්න ඕන. ඒත් ඔවුන් අද හැම රාජකාරියක් ම කරනවා. ඔවුන් නොකරණ රාජකාරියක් නැති තරම්. අපේ පාරලිමේන්තුව මෙරට නීති සම්පාදනය කරන එක ම ආයතනය වෙන්න ඕන. ඒත් එහෙම වෙන්නෙ නැහැ. අපට ඊනියා ජාත්‍යන්තර නීති සමග බැඳෙන්න වෙනවා. ඒ නීති සමග බැඳෙන එක අනිවාර්ය නැහැ කියල කාට හරි කියන්න පුළුවන්. ඒත් ඒක එහෙම ම වෙන්නෙ නැහැ. අර ජාත්‍යන්තර සුපිරි සංස්ථාපනය මගින් නීති අප මත පැටවෙනවා. ඒවා එක්සත් ජාතීන්ගේ විවිධ ආයතන මගින් පැනවෙනව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ක්‍රම මගින් පැනවෙනව වෙන්න පුළුවන්. එලෙස නීති පනවන ආණ්ඩුවක් රජයක් නැහැ. ඒත් නීති පැනවෙනවා. 


අද කොවිඩ් 19 එන්නත් ගැන කියවෙනවා. විවිධ එන්නත් නිෂ්පාදනය කෙරී තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට ෆයිසර් එන්නත පමණක් අනුමත කරල. ඒ ඒ රටවල් විවිධ එන්නත් අනුමත කරගෙන තියෙනවා. අප දිය යුතු එන්නත කුමක් දැයි  තීරණය වී ඇත් ද කියන්න දන්නේ නැහැ. ඒත් එන්නත ගැන ආණ්ඩුවට විවිධ පැති බලන්න වෙලා. එහෙත් විපක්‍ෂය කියන්නේ එන්නත තවම ගෙනත් නැත්තේ ඇයි ද කියා. මේ දේශපාලනය මිසක් වෙන දෙයක් නො වෙයි. එන්නත ගැන මට විශේෂ වුවමනාවක් නැහැ. මා සඳහන් කරන්නේ එන්නත ආනයනය කිරීමේ දී ආණ්ඩුවට විවිධ අංශ ගැන කල්පනා කිරීමට සිදු වීම පමණයි. 


ක්වොන්ටම් අංශුවල පිහිටීම හා ගම්‍යතාව එක්වර මැන ගත හැකි යැයි කාලෝ ෆොන්සේකාට ඉගැන්වූ ක්වොන්ටම් ජාගොඩ ආණ්ඩුව එන්නත් ගෙන එමට කටයුතු නොකරන බවට චෝදනා කරනවා. ජාගොඩ කියන දේ පාගොඩටවත් ඇහෙන්නෙ නැහැ. වමාලා අඩු ගණනෙ මවාලා පෙන්නන්නවත් දන්නෙ නැහැ. 


ඒත් මුස්ලිම් දේශපාලනඥයන් එහෙම නො වෙයි. ඔවුන් දන්නවා යමක් දේශපාලනීකරණයට ලක් කරන්නෙ කොහොමද කියල. ඔවුන්ට ජාත්‍යන්තරයෙත් සහාය ලැබෙනවා. අද ආදාහනය පිළිබඳ ප්‍රශ්නය ආගමික ප්‍රශ්නයක්වත් සංස්කෘතික ප්‍රශ්නයක්වත් නො වෙයි, තනිකර ම දේශපාලන ප්‍රශ්නයක්. මෙරට වෙනත් කිසිම ජනකොටසකට එය දේශපාලනික ප්‍රශ්නයක් නො වෙයි. මුස්ලිම් දේශපාලනඥයන් තම ශක්තිය පෙන්වා පාර්ලිමේන්තුවේ ඉතා අසාධාරණ විධියට යම් යම් දේ දිනා ගන්නවා. සජිත් හා චම්පක මේ මුස්ලිම් දේශපාලනඥයන් දිනා ගැනීමේ තරගයක යෙදී ඉන්නවා. 


ආදාහනය පිළිබඳ ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් කරනු ලැබුයේ මුස්ලිම් දේශපාලනඥයන් විසින්. ඔවුන්ට බටහිරීන් හා බටහිරින් මෙහෙයවෙන මුස්ලිම් රටවලින් අනුග්‍රහය ලැබෙනවා. මෙහි එකම අරමුණ ගෝඨාභය රාජපක්‍ෂ බලයෙන් පහකර සජිත් හරි වෙන බටහිරින් පාලනය වන්නකු හරි බලයට පත් කිරීමයි. ආදාහන විරේධය හුදු ගෝඨාභය විරෝධයක් පමණයි. අද ඔවුන්ට අවශ්‍ය සිංහල මුස්ලිම් කෝලාහලයක් නිර්මාණය කිරීමයි. 


අප මෙය පරාජය කළ යුතුයි. සිංහලයන් පමණක් නොව දෙමළ ජනයා ද මෙහි දී එකතු විය යුතුයි. ඒ ආණ්ඩුව රැකීමට නො වෙයි. රට රැකීමටයි. සාම්ප්‍රදායික කතෝලිකයන්ට ආදාහනය ද භූමදානය ද යන්න ප්‍රශ්නයක් නො වෙයි. සජිත් හදන්නේ බෞද්ධයන්ට පාංශුකූලය දෙන්නයි. මෙරට සාම්ප්‍රදායික නොවන කිතුණු නිකායන් අද බටහිර මුදලින් ක්‍රියාත්මක වන බව රහසක් නො වෙයි. බෞද්ධයන් පමණක් නොව හින්දුන් ද කතෝලිකයන් ද සාම්ප්‍රදායික ක්‍රිස්තියානීන් ද මේ යළි ඉපදෙන කණ්ඩායම්වල ග්‍රහණයට හසු වෙනවා. 


කොවිඩ් 19 අපට එකතු වීමට පැමිණි රෝගයක් ලෙස සලකන්න තිබුණා. එහෙත් ඇතැම් දේශපාලනඥයන් නිසා එය මගහැරී ගියා. එහෙත් අප තවමත් ප්‍රමාද නැහැ. කොවිඩ් 19 බෙදීමට නොව එකතු වීමට යොදා ගනිමු.