Main Logo

Thursday 28 January 2021

මානව හිමිකම් නෝනා නා ගනියි

 මානව හිමිකම් නෝනා නා ගනියි


මාක්ස්වාදී මෙන් ම මාක්ස්වාදී නොවන බොහෝ ඊනියා සමාජවාදීන්ට අනුව යහපාලන ආණ්ඩුව හා මේ ආණ්ඩුව (පොදුවේ එ ජා ප ආණ්ඩු හා අනෙක් ආණ්ඩු) අතර වෙනසක් නැහැ. ඒ සියල්ල ධනපති ආණ්ඩු. ඒ එකකටවත් ප්‍රශ්න විසඳන්න බැහැ. ඔවුන්ට සමාජ අසාධාරණයට විසඳුම් නැහැ. විසඳුම් ඇත්තේ සමාජවාදීන් වූ තමන්ට හා තමන්ට පමණයි. එහෙත් ජනතාව ඊනියා සමාජවාදීන්ට බලය දෙන්නෙ නැහැ. ජනතාවට තම ප්‍රශ්න විසඳා ගැනීමට අවශ්‍ය නැති බවක් ඉන් ගම්‍ය වෙනවා ද කියා ඇහුවොත් කියන්න පිළිතුරක් ද තියෙනවා. ජනතාවට මේ ගැඹුරු දේ තේරෙන්නේ නැහැ. 


මේ ගැඹුරු දේ අපටත් නොතේරෙනවා වෙන්න පුළුවන්. අවුරුදු විස්සක් පමණ මාක්ස්වාදියකු ව සිටියත් මට කොමියුනිස්ට් ප්‍රකාශනයේ හැඳින්වීමවත් නොතේරෙනවා වෙන්න පුළුවන්. මට එය ප්‍රශ්නයක් නො වෙයි. මා දන්නා එක් කරුණක් තියෙනවා. අග්ගඤ්ඤ සූත්‍රයෙහි සඳහන් වන ආකාරයට යම් කිසි දිනයක සිට ලෝකයේ අසාධාරණය පවතිනවා. අග්ගඤ්ඤ සූත්‍රයට තව කොටසක් එකතු කරල කියන්න පුළුවන් මොන රජා පත්කර ගත්තත් මොන පාලකයා පත්කර ගත්තත් සමාජ අසාධාරණය නම් නැති වෙන්නෙ නැහැ කියල. සෝභිත හාමුදුරුවන් අග්ගඤ්ඤ සූත්‍රයෙහි ඒ එකතු කරන්න ඕන කොටස කියවල තියෙන්න විධියක් නැහැ. නැති දෙයක් කියවන්නෙ කොහොම ද? 


ඒ නිසා උන්වහන්සේ මැදිහත්වෙලා සාධාරණ සමාජයක් හදන්න ලැහැස්ති වුණා. ඒක නම් කමක් නැහැ කියමු. ඒත් යහපාලන ආණ්ඩුවකින් සාධාරණ සමාජයක් ඇති කරන්නෙ කොහොමද කියල උන්වහන්සේ කල්පනා කරන්න නැතිව ඇති. දැන් ඒ සාධාරණ සමාජ ව්‍යාපාරය නැද්ද? කාලෙකින් ඒකෙ සමහර නායකයන්ගෙ මුහුණු දැක ගන්න බැරි වුණා. ඒ ව්‍යාපාරයට ඕන කෙළෙ මහින්ද රාජපක්‍ෂ පරාජය කරන්න. ඒ සඳහා සාධාරණ හේතු තියෙන්න ඇති.  මහින්දගෙ ආණ්ඩුවෙන් සාධාරණ සමාජයක් බිහි නොවීම නොවැ සෝභිත හාමුදුරුවන්ටත් සාධාරණ නඩේටත් ප්‍රශ්නයක් වෙලා තිබුණෙ. 


ඔය සාධාරණ සමාජය ලංකාවෙ බිහි කරන්න ඕන අය තව ලෝකෙ හිටිය. ඉන්නවා. ඒ අය මාස හයකට සැරයක් සාධාරණ බෙරේ ගහනවා. ට්‍රම්පට් හඬවනවා කිව්වොත් වඩා හරියනව වෙන්න පුළුවන්. අර ඉංගිරිසියෙන් කතාවක් තියෙනව නෙ බ්ලෝ යුවර් ඔව්න් ට්‍රම්පට් කියල. ඔය කට්ටිය ඉන්නෙ සුන්දර ස්විට්සර්ලන්තයෙ ජෙනීවා නගරයෙ. අර ස්විට්සර්ලන්තයට ගිය ලංකාවෙ ස්විස් තානාපති කාර්යාලෙ වැඩ කළ ගානි නෝනයි නිශාන්ත ද සිල්වයි තවත් අයයි හොඳින් ඉන්නව ඇතැයි කියල විශ්වාස කරනවා. 


ජෙනීවා නගරය මුල් කරගෙන තියෙන එක්සත් ජාතීන්ගෙ සංවිධානයෙ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ලබන මාසෙ ලංකාව ගැන, කොමසාරිස්වරියගෙ වාර්තාව ප්‍රකාශ කරනවා. ඒක කොහොම හරි සමාජ මාධ්‍යයට ලැබිල. කොහොමද කියල දන්නෙ නැහැ. මානව හිමිකම් කොමසාරිස්වරිය ඔය අප වැනි රටවල මානව අයිතිවාසිකම් ගැන ලොකු උනන්දුවක් දක්වනවා. අපේ රටේ සාධාරණ සමාජයක් ඇති කරන්න ඇය වෙහෙසෙනවා. 


මෙවර ඇගේ වාර්තාවෙත් අර පරණ කතා ඔක්කොම වගේ තියෙනවා. දරුස්මාන්ගෙ වාර්තාව සහ තවත් දේ. අලුතෙන් එකතු කරල තියෙන්නෙ මධුෂගේ මරණය, කොවිඩ් හැදුණු මුස්ලිම් දේහ භූමදානය,  බන්ධනාගාරයෙ වෙඩි තැබීම් ආදිය. ඒ සියල්ල මෙරට අභ්‍යන්තර කරුණු. ඒ ගැන බලන්න සජිත් අනුර ආදීන් ඉන්නවා.  මානව හිමිකම් නෝනා හිතනවා ද දන්නෙ නැහැ සජිත්ල තමන්ගෙ රාජකාරිය හරියට කරන්නෙ නැහැ කියල. ඒ නිසා ඇය ලංකාවෙ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙන්න ඕන කියල හිතනව වෙන්න පුළුවන්. 


අර සමාජවාදීන්ට තේරෙන්නෙ නැති වුණාට මානව හිමිකම් නෝනට තේරෙනවා යහපාලන ආණ්ඩුවෙයි මේ ආණ්ඩුවෙයි වෙනසක් තියෙන බව. ඇය හරි ඇගේ පූර්වගාමීන් හරි යහපාලන ආණ්ඩුවට විරුද්ධ ව ඔය චෝදනා ගෙනෙන්නෙ නැහැ. එහෙම චෝදනා ගේන්නෙ නැතිව යහපාලන ආණ්ඩුවක් එක්ක එකතුවෙලා රාජපක්‍ෂලාට රණවිරුවන්ට චෝදනා කරනවා. මෙන්න මේ වෙනසත් නිසා තමයි මේ ආණ්ඩුවේ හිතවතුන් යහපාලනයට නොව මේ ආණ්ඩුවට ඡන්දෙ දෙන්නෙ. ඒ වෙනස හින්ද ම තමයි ඊනියා සමාජවාදීන් ද වෙනසක් නැහැයි කිච්වත් යහපාලනයට හරි ඒකෙ ම කොටසක් වූ අනුරලාට හරි ඡන්දය දෙන්නෙ. 


මේ වෙනස ජාතිකත්වය හා විජාතිකත්වය අතර තියෙන වෙනස. මානව හිමිකම් නෝනා ඒ වෙනස දන්නවා. අර සමාජවාදී පඬි නැට්ටනුත් වෙනසක් නැහැ කිව්වත් ඒ බව දන්නවා. ඔවුන් ද මානව හිමිකම් නෝන වගේ ම ජාත්‍යන්තරයෙ. මානව හිමිකම් නෝනා ජාත්‍යන්තරයෙ මධ්‍යයෙ. පඬි නැට්ටන් ජාත්‍යන්තරයෙ අගුපිලේ. ඒත් මොකෝ ජාත්‍යන්තරයෙ නොවැ. මා කියන්නෙ නැහැ රාජපක්‍ෂ ආණ්ඩු මුළුමනින් ම ජාතිකත්වයෙ කියල. ඒත් මානව හිමිකම් නෝනා දන්නවා මේ ආණ්ඩුව මට්ටු කරන්න ඕන කියල. ආර්ථික හා වෙනත් තහංචි පැනවීමට පසුබිම සකස් කිරීම තමයි මානව හිමිකම් නෝන තම වාර්තාවෙන් කරන්නෙ. 


මේ සියල්ලන් ම මානව අයිතිවාසිකම් නෝනගෙ ඉඳලා සමාජවාදී පඬි නැට්ටන් දක්වා සියල්ලන් ම රාජපක්‍ෂ ආණ්ඩුවලට එළව එළවා පහර දෙන්නෙ ප්‍රධාන වශයෙන් ම කොටි පරද්දපු නිසා. අර පණුවන් කන සාම පරෙවියන් වගේ කොටි එක්ක සාම කතා කර කර හිටිය නම් රට සහසන්ධීය කළා නම්  මානව අයිතිවාසිකම් නෝනවත් පඬි නැට්ටන්වත් රාජපක්‍ෂ ආණ්ඩුවලට විරුද්ධ වෙන්නෙ නැහැ. අප වැන්නන්ට එවිට කඩේ යන්නත් බැරි වෙන්න තිබුණ. 


කොටි පරාද කිරීම එංගලන්තය ප්‍රමුඛ මුළු මහත් බටහිර ම පරාජය කිරීමක්. එදත් අදත් එංගලන්තය සිංහලයන්ට විරුද්ධ ව කොටි ත්‍රස්තවාදයට හා දෙමළ ජාතිවාදයට ආධාර දුන්නා. එංගලන්තෙ විදේශ ඇමති ප්‍රංශෙ විදේශ ඇමති එක්ක තකහනියක් ම මහින්ද රාජපක්‍ෂ හමුවෙන්න ඇඹිලිපිටි ගියා හමුදා මෙහෙයුම් නතර කරන්න කියන්න. මහින්ද රාජපක්‍ෂ ඔවුන්ට සවන් දුන්න නම් ඔය මානව අයිතිවාසිකම් කඩවීම් ගැන චෝදනා නගන්නෙ නැහැ. 


මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ කළ දරුණු මානව අයිතිවාසිකම් කඩ කිරීම තමයි කොටි පැරද්දවීම. මානව අයිතිවාසිකම් නෝනටයි සමාජවාදී පඬි නැට්ටන්ටයි ඕන අද නම් සජිත් බලයට පත් කිරීම. ආර්ථික තහංචි දාල හරි ජනතාව අමාරුවෙ දාල ජනතාව මේ ආණ්ඩුවට විරුද්ධ ව මෙහෙයවන්න තමයි උත්සාහය. අනේ නෝනෙ නාන්නෙ නැහැන්නෙ ද?