Main Logo

Saturday 11 September 2021

පාස්කු ප්‍රහාරය කාදිනල්තුමා අගමැති හා පාප්වහන්සේ

 

පාස්කු ප්‍රහාරය කාදිනල්තුමා අගමැති හා පාප්වහන්සේ

 

කාදිනල්තුමා කලක පටන් දේශපාලනයක නිරත වන බව පැහැදිලියි. එතුමා කලකට පෙර රත්නපුර බිෂොප් තනතුරට පත් වූ කාලයේත් ඊට පෙරත් එතුමා ගැන කතෝලික සභාව උනන්දුවක් දැක්වූ බවක් පේන්න තියෙනවා.  බොහෝ දෙනකු එදත් විශ්වාස කළා එතුමා කවදා හරි කොළඹ ප්‍රධාන බිෂොප් තනතුරට පත් වේ ය කියා. මා අගරදගුරු යන්න පාවිච්චි කරන්නේ නැහැ. මෙරට රදගුරුන් වූයේ භික්‍ෂූන් වහන්සේ. අගරදගුරු යන්න කෙසේ යොදා ගැණුනි ද යන්න මා දන්නේ නැහැ. ඉස්සර නම් දඹදිව බරණැස රජ කුමරුවන් තක්‍ෂිලාවේ රාජගුරුන්ගෙන්  ඉගෙන ගත්තා. ඇතැම් අවස්ථාවල මනමේ කුමරුට මෙන් සිප්සතර පමණක් නොව දූ කුමරිය ද ලැබුණා.

 

පාස්කු ප්‍රහාරය පිළිබඳ ව කාදිනල්තුමා  මෑතක දී කළ ප්‍රකාශයකින් ඇඟවෙන්නේ ආණ්ඩුව මෛත්‍රිපාල සිරිසේන වරදකරුවා කිරීම මගහැරීමට තැත්කරන බවයි. මෛත්‍රිපාල සිරිසේන යහපාලනයේ ජනාධිපති වූ බව සැබැයි. එහෙත් කවුරුත් දන්නා පරිදි යහපාලන ආණ්ඩුවේ ප්‍රධානියා වූයේ රනිල් වික්‍රමසිංහ. ඔහු බද්දේගම ක්‍රිස්තියානි පවුලකින් පැවත එන්නෙක්. මා හිතන විධියට පාස්කු ප්‍රහාරය ජාත්‍යන්තර වැඩක්. එහෙත් එය ලංකාවේ ක්‍රියාත්මක වූයේ යහපාලන ආණ්ඩුව මෙරට බුද්ධි අංශ දුර්වල කර තිබීම නිසයි.

 

ඒ සම්බන්ධයෙන් නම් පාස්කු ප්‍රහාරයට යහපාලන ආණ්ඩුව වග කියන්න ඕන. අද ඒ බව ඕමල්පේ සෝභිත හිමියන්ටත් අමතක වෙලා. උන්වහන්සේට ජනමාධ්‍යයෙන් විශාල ප්‍රචාරයක් ලැබෙනවා. ඇන්ටිජන් කට්ටලයේ සිට පාස්කුව දක්වා උන්වහන්සේ ප්‍රකාශ නිකුත් කරනවා. ඒවා ජනමාධ්‍යයේ ද රන් අකුරින් කෙසේ වෙතත් පොල් අකුරින් සඳහන් වෙනවා. පාස්කු ප්‍රහාරයට යහපාලන ආණ්ඩුව වග කියන්න ඕන නම් එයට මෛත්‍රිපාල සිරිසේන පමණක් ගාව ගන්න එක වැරදියි. රනිල් වික්‍රමසිංහ පමණක් නොව සියලු යහපාලන ඇමතිවරු එයට ගෑවිලා. රාජිතලා චම්පකලා ආදී සියල්ලන් එයට ගෑවිලා.

 

ඒ සියල්ලන් එකතු වෙලා තමයි බුද්ධි අංශ දුර්වල කෙළේ. බුද්ධි අංශ දුර්වල කරන විට කාදිනල්තුමා හරීි ඕමල්පේ සෝභිත හාමුදුරුවන් හරි ප්‍රකාශ නිකුත් කළා ද කියා දැනගන්න පුළුවන් ද? බුද්ධි අංශ නිලධාරීන් සිරගත කරන විට කාදිනල්තුමා හා සෝභිත හාමුුදුරුවන් කුමක් කෙළේ ද? ඒ අනුමත කෙළේ නම් පාස්කු ප්‍රහාරයට කාදිනල්තුමාත් සෝභිත හාමුදුරුවනුත් ගෑවිලා කියන්න වෙනවා ද?

 

අද විපක්‍ෂය අසමත්. මෙහමත් අසමත් විපක්‍ෂයක් මෙරට තිබී නැහැ. අද රටේ පවත්නා තත්වයට වග කියන්න ඕනෙ විපක්‍ෂයයි. ඔවුන් 2019 දී ඩොලර් කීයක් ඉතුරු කර ගියා ද? 2015 -2019 කාලයේ දී කොතරම් ණය ගත්තා ද? රනිල් වික්‍රමසිංහ මෙරටට කර ඇති සේවය කුමක් ද? අසමත් අදූරදර්ශී අකාර්යක්‍ෂම විපක්‍ෂය හදන්නේ පාස්කු ප්‍රහාරයෙන් බේරෙන්න. ඔවුන් අද තවත් කතාවක් හදන්න යනවා ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වීම සඳහා පාස්කු ප්‍රහාරය සැලසුම් කළ බව කීමට.

 

මට මෛත්‍රිපාල සිරිසේන බේරන්න වුවමනාවක් නැහැ. ඔහු ජනාධිපති වූ විගස ඔහු වැන්නකු යටතේ සේවය කරන්න බැරි බව කියමින් මා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමෙන් ඉල්ලා අස්වුණා. මා ඊනියා පෞද්ගලික හේතු කියා කීවේ නැහැ. කෙලින් ම හේතුව කිවුවා. එහෙත් යහපාලන ආණ්ඩුව බිඳ දමා මහින්දගේ අගමැතිත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවන්න ඕන බව අප කලක සිට කියා හිටියා. 2017 නොවැම්බර් 11 වැනි දා ආණ්ඩුව වෙනස් කළ යුතුයි වෙනස් කළ හැකියි මැයෙන් ලියූ ලිපියේ මෙසේ සඳහන් කළා.

 

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය ද සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  42 (4) වගන්තිය අනුව ජනාධිපතිට තම මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් දිනාගත හැකි අය අගමැති වශයෙන් පත්කළ හැකියි. මෙහි වැදගත් වන්නේ තම මතය අනුව යන්නයි. පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයක් ඇත් ද නැත් ද යන්න මෙහි දී බලපාන්නේ නැහැ.

 

43 (3) වගන්තියට අනුව ජනාධිපතිට අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය හා අමාත්‍යවරුන්ට භාර විෂය වෙනස් කළ හැකියි. 43 (1) හා 43 (2) වගන්ති අනුව ඇමතිවරුන් පත් කිරීමේ දී අගමැතිගේ අදහස් විමසිය යුතු බවට සඳහනක් ඇති නමුත් 43 (3) එවැනි සඳහනක් නැහැ. සමහරවිට මෙය නීතිපති දෙපාර්තමේන්තුවේ කෙටුම්පතේ අතපසු වීමක් වන්න පුළුවන්. එසේ වුවත් 43 (3) අනුව ජනාධිපතිට අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කළ හැකියි. ඒ අගමැතිත් ඇතුළුව.”

 

ඒ ක්‍රියා දාමයෙහි ප්‍රතිඵලයක් ලෙස 2018 දින පනස්දෙකේ ආණ්ඩුව පිහිටුවනු ලැබුවා. මා එසේ කියන්නේ කිසිවකුගෙන්වත් පොදුවේ රටෙන්වත් පිළිගැනීමක් හරි ගෞරවයක් හරි බලාපොරොත්තුවෙන් නො වෙයි. මේ රටෙන් සමාජයෙන් මට කිසිම පිළිගැනීමක් නොලැබෙන බව මා දන්නවා. මා උගතකුවත් බුද්ධිමතකුවත් වියතකුවත් නො වෙයි. බොහෝ දෙනාට අනුව මිථ්‍යා මත ධාරියෙක්.  මා දැක්කා අද ගුණදාස අමරසේකර ජාතික සංවිධාන එකමුතුවක් වෙනුවෙන් කියමින් සජිත් ප්‍රේමදාසට ලිපියක් යවා ඇති බව. එයට ප්‍රචාරයක් ද ලැබෙනවා. එහෙත් ඒ ලිපියෙහි ඇති අත්සන ඒ මහතාගේ නොවන බව මා සහතික වශයෙන් ම දන්නවා. වෙනත් අය මගේ නමින් නම් ලිපි ලියන්නේ නැහැ. මට මගේ නමින් ලියන ලිපිවලටවත් ජනමාධ්‍යයෙහි ප්‍රචාරයක් ලැබෙන්නේ නැහැ.

 

කෙසේ වෙතත් දින පනස්දෙකේ ආණ්ඩුව මෙරට වෙනසක් ඇති කිරීමට සමත් වුණා. ඒ සම්බන්ධයෙන් බටහිර බලවේග හා ඔවුන්ගේ මෙරට නියෝජිතයන් මෛත්‍රිපාල සිරිසේනට සමාවක් දෙන්නේ නැහැ. අද කාදිනල්තුමා රනිල් වික්‍රමසිංහ බේරා මෛත්‍රිපාල සිරිසේන පමණක් පාස්කු ප්‍රහාරයට ඈඳීමට හදන්නේ එහි කොටසක් ලෙස ද? ඒ යහපාලන ආණ්ඩුවේ නායකයා රනිල් වික්‍රමසිංහ බව අප මොහොතකටවත් අමතක කරන්නේ නැහැ. එමෙන් ම රාජිත චම්පක වැන්නන් ද අපේ මතකයේ චිරාත් කාලයක් වැජඹෙනවා.

 

කාදිනල්තුමා ප්‍රකාශ කරලා අගමැති මහින්ද රාජපක්‍ෂ පාප්වහන්සේ හමු වී පාස්කු ප්‍රහාරය ගැන ඇත්ත වසන් කිරීමට තැත් කරන්න යන බව. කාදිනල්තුමාට ඒ ආරංචිය වතිකානුවෙන් ලබුණා ද? නැත්නම් එය මෙරට බිෂොප්වරුන්ගේ හිතළුවක් ද? අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිල ප්‍රකාශයකින් නම් කියැවෙන්නේ අගමැතිට පාප්වහන්සේ හමු වීමේ සැලැස්මක් නොතිබූ බවයි. අගමැති ඉතාලියට යන්නේ 1088 දී පිහිටුවන ලද බොලොඤ්ඤා සරසවිියේ පැවැත්වෙන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශනය පැවැත්වීමට බව කියනවා. බටහිරයන්ට අනුව බොලොඤ්ඤා විශ්වවිද්‍යාලය ලෝකයේ පැරණිතම විශ්වවිද්‍යාලයයි. ඔවුන්  මහා විහාරය ගැන තබා නාලන්දාව ගැනවත් වචනයක් කියන්නේ නැහැ. 1088 වන විට මහා විහාරයේ බෞද්ධ පොත්පත් බුරුමයේත් (මියන්මා) යොදා ගෙන තියෙනවා.

 

පාස්කු ප්‍රහාරයේ ජාත්‍යන්තර සම්බන්ධකම් සෙවීම වැදගත්. එයට බටහිර රටවල් සම්බන්ධ ද? වහාබ්වාදය තම අවශ්‍යතා සඳහා යොදා ගන්නේ කවු ද? පාස්කු ප්‍රහාරය ලංකාවේ ක්‍රියාත්මක වූයේ යහපාලනයේ වරදින් බව කියන්න පුළුවන්. එහෙත් එයට වරදකරුවා මෛත්‍රිපාල සිරිසේන පමණක් නම් නො වෙයි.