Main Logo

Thursday 9 September 2021

මාෆියා මැඩලීම

 

මාෆියා මැඩලීම

 

සීනි හා හාල් මාෆියා මැඩලීමට ආණ්ඩුව ගත් තීරණයට ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ සඳහා හදිසි නීති යෙදා ගැනීමට සිදු වීම ආණ්ඩුවේ වරදක් නො වෙයි. පවත්නා සාමාන්‍ය නීති එහි දී වැඩදායක නැහැ. විපක්‍ෂය පවත්නා සාමාන්‍ය නීති ප්‍රමාණවත් යැයි කීවත් ඔවුන් ඒ නීති යොදා ගෙන කර ඇති දේ කුමක් ද? ඔවුන්ගේ පාලන සමයෙහි කොවිඩ් නැතුවත් ආහාර මිල වැඩි වුණා.

 

හංගාගෙන සිටි සීනි අත්අඩංගුවට ගැනීමෙන් පසු ආණ්ඩුව ඒ සීනි කිලෝවක් රුපියල් එකසිය දහයකට පමණ මිල දී ගැනීම ගැන ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. වරායට ගොඩබාන විට සීනි කිලෝවක් වන්නේ රුපියල් අසු ගණනක්. අර වැඩිපුර රුපියල් තිහක් පමණ ගෙවන්නේ ඇයි ද යන්නට සතුටුදායක පිළිතුරක් ලැබී නැහැ. ඩොලරයේ අගය වැඩි වුණා වගේ කතා බයිලා පමණයි.

 

ඒ කුමක් වුවත් දෙරණ උකුස්සා මගින් හරි සීනි හංගපු තැන් හොයා ගත්ත එක ලොකු වැඩක්. ඒ සීනි ගබඩා මුද්‍රා තැබීමෙන් පසු එක් තැනක මුද්‍රා කඩා දමා ඇති බවක් සඳහන් වෙනවා. අදාළ පුද්ගලයන්ට දැඩි දඬුවම් පමුණුවන්න ඕන. අපේ රටේ සාමාන්‍ය  නීතිය ඉතා දුර්වලයි. දක්‍ෂ නීතිඥයකුට රිංගා යන්න පුළුවන් හිල් නීතියේ යහමින් තියෙනවා. යහමින් මුදල් වියදම් කළ හැකි අයකුට දක්‍ෂ නීතිිඥයකුගේ සේවය ලබා ගැනීම අසීරු නැහැ.

 

ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් ලංකාවේ හදිසි නීති යොදා ගත් පළමු අවස්ථාව මෙය ද කියා මා දන්නේ නැහැ. එහෙත් මේ කොවිඩ් කාලයයි. ජනතාවට ආහාර ද්‍රව්‍යය සපයා ගැනීමට අසීරු කාලයක්. කොවිඩ් අස්සේ මඩිය තර කර ගන්නා අතරමැදියන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට සාමාන්‍ය නීතිය පණ මදි. පණ නැහැ කීම වඩාත් සුදුසුයි. ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම සම්බන්ධයෙන් හදිසි නීතිය පැනවීම නුසුදුසු යැයි කියන ස ජ බ හා එ ජා ප ඔවුන් ආණ්ඩු කරන කාලයේ හදිසි නීති පැනවූයේ ජනතාවට කණ්ඩ දෙන්න නොව උණ්ඩ දෙන්නයි. එයට ජ  වි පෙරමුණත් තම ඊනියා විප්ලව හරහා ආධාර කළා.

 

පොළොන්නරුවේ හාල් හා වී ගබඩාවල තිබූ තොග හදිසි නීති යටතේ රජයට පවරා ගැනීමත් යහපත් ක්‍රියාවක්. මේ ගොවියාත් නොවන සිල්ලර වෙළෙන්දාත් නොවන පිරිසක් අතරමැද අයුතු ලාභ ලබනවා. එය එළවළු වෙළෙඳාමෙත් දකින්න පුළුවන්. හාල් තොග වෙළෙඳාමට සම්බන්ධ ඇතැමුන් ආණ්ඩුවේ බලවතුන්. ඒත් රජය ඔවුන් සම්බන්ධයෙනුත් දැඩි ක්‍රියා මාර්ග ගෙන තියෙනවා. එය අගය කරන්න ඕන. විපක්‍ෂය නම් තමන් දකින දවල් හීනවල එහි නාට්‍යයක් දකීවි.

 

පොළොන්නරුවේ  ඇතැම් තොග වෙළෙඳුන් රජයේ ක්‍රියා මාර්ගයට විරුද්ධ ව උද්ඝෝෂණ කිරීමට සංඝයා වහන්සේ හා ගොවීන් පිරිසක් යොදා ගෙන. අද ඇතැම් හාමුදුරුවරු ඇන්ටිජන් කට්ටලයේ සිට වී හා හාල් වෙළෙඳාම දක්වා තමන් වහන්සේ හරියට නොදන්නා දේ ගැන දේශපාලනඥයන්ගේ වුවමනාවට ප්‍රකාශ නිකුත් කිරීම උද්ඝොෂණ කිරීම සසුනට හානියක්. කරුණු නොදැන ප්‍රකාශ නිකුත් කිරීමෙන් පසු, ඊනියා වොයිස් කට් දීමෙන් පසු, උද්ඝෝෂණය කිරීමෙන් පසු තමන් වහන්සේට ඒ කිසිවකු විසින් කියන ලද්දක් කියා අර හානිය මකා දාන්න බැහැ. සීනි සම්බන්ධයෙන් එක්තරා ප්‍රසිද්ධ භික්‍ෂූන් වහන්සේ නමක් ප්‍රකාශ කර ඇත්තේ බුද්ධ පූජාවට සීනි කිලෝවක් ඇත් ද වගේ දෙයක්. මට මතක් වන්නේ එක්තරා උපාසක මහතකු බුදුහාමුදුරුවන් මුංඇට වළඳන්නේ නැහැයි කියා බුද්ධ පූජාවට තැබූ මුංඇට අනුභව කිරීමේ පුවතයි.  

 

පොළොන්නරුවේ උද්ඝෝෂණ කළ ගොවීන් කියන්නේ කුමක් ද යන්න පැහැදිලි නැහැ. වී රුපියල් හැටට ගැනීම ද ප්‍රශ්නය. වී සම්බන්ධයෙන් ගොවීන්ට හොඳ මිලක් දිය යුතු බව අවිවාදයෙන් පිළිගන්න ඕන. ආණ්ඩුව වී මිල දී ගැනීමට මැදිහත් වෙන්න ඕන. ඒ රජයේ ආයතන ඇති කිරීමෙන් නො වෙයි. රාජ්‍ය සේවයේ දක්‍ෂ නිලධාරීන් ඉන්න බව සැබැයි. එහෙත් රාජ්‍ය සේවය සමස්තයක් ලෙස ගත් කල අකාර්යක්‍ෂමයි දූෂිතයි.

 

අද පැරණි ධනපති සමාජවාදී කතා හරියන්නේ නැහැ. රාජ්‍යය ද ඇතැම් අවස්ථාවල පුද්ගලයකු ලෙස සලකා ක්‍රියා කිරීමට හැකි ක්‍රමයක් සොයා ගන්න ඕන. රජය හා පුද්ගලයන් එකට ඒකාබද්ධ ව ව්‍යාපාර පවත්වාගෙන යෑමට ඇති හැකියාව සොයා බලන්න ඕන. ඒ ඒකාබද්ධ ආයතනවලට පෞද්ගලික අංශය සමග තරග වැදීමට හැකි වෙන්න ඕන.

 

මෙහිි දී මට පාසල් පවත්වා ගෙන යෑම මතක් වෙනවා. අද සමහර පාසල් පවත්වාගෙන යන්නේ රජයේ ආධාරයෙන්. එහෙත් අධ්‍යාපන අමාත්‍යාංශය හැටියට ගන්නා තීරණ හැරුණු කොට පාසල් පවත්වාගෙන යෑමේ දී රජය සාධකයක් වන්නේ නැහැ. පාසල පවත්වාගෙන යෑමට රජයට එයට වඩා මැදිහත් වන කුමයක් තියෙන්න ඕන.

 

ගොවීන්ට වී වලට හොඳ මිලක් දෙන අතර පාරිභෝගිකයාට අඩු මිලකට හාල් ලබා දෙන්න ඕන. අර රාජ්‍ය-පෞද්ගලික ආයතනවලට මේ අවස්ථා දෙකේ දීම තරග කරුවකු ලෙස මැදිහත්වන්න පුළුවන්. රාජ්‍ය-පෞද්ගලික ආයතන පවත්වා ගෙන යා යුත්තේ අයුතු ලාභ නොලබන පාඩු නොවිඳින ආයතන ලෙස. මෙය හුදෙක් මූලික අදහසක් පමණයි.

 

කෙසේ වෙතත් මේ සෑම තැනක ම බෙදා හැරීමේ ප්‍රශ්නය තියෙනවා. අපට තවම එළවළු බෙදා හැරීම හරියට කර ගන්න බැහැ. මේ කළමනාකරණය පිළිබඳ ප්‍රශ්න. ඒ ප්‍රශ්න විසඳීමට කළමනාකරණ පීඨවලට හැකි යැයි මා හිතන්නේ නැහැ. කොවිඩ් රෝගයට විසඳුම් වෛද්‍ය පීඨවලට නැහැ. විශේෂඥ වෙද මහතුන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකයන් රසායනාගාර සහායකයන් ජනමාධ්‍යවේදීන් සියල්ලන් ම කියන්නේ එකම කරුණු. බටහිර දැනුමේ කඩා වැටීම නොපිළිගන්නා අයට සප්තවාර්ෂික නිවාඩු (සබත් නිවාඩු - sabbatical leave) දුන්නත් කමක් නැහැ.  සබත් කියන්නේ යුදෙව් කතාවක්.