Main Logo

Tuesday 28 September 2021

අකුරු තුනේ රනිල් හා උගත්තු

 

අකුරු තුනේ  රනිල් හා උගත්තු

 

අද බොහෝ දෙනා අකුරු තුනේ කතා කියනවා. UNP අකුරු තුන ගැන මා හිතන්නෙ නැහැ රනිල්වත් කතා කරනවා කියා. ඒත් රනිල් IMF ගැන කියවනවා. කලකට පෙර වෙළෙඳ දැන්වීමක එක් වයසක අයෙක් ප්‍රීතියෙන් කෑගහනවා ඉංගිරිසි අකුරු තුනක් ගැන. ඒ KFC . කෙන්ටකි ෆ්‍රයිඩ් චිකන්. එක්සත් ජනපදවල කෙන්ටකි ප්‍රාන්තයේ තමයි මේ කුකුල්මස් වෙළෙඳසල්වල මධ්‍යස්ථානය තියෙන්නෙ. වෙළෙඳ දැන්වීමෙන් කරන්නෙ අපට ඔවුන්ගෙ විධියට කුකුල්මස් කවන්න හදන එක. ඔය අස්සෙ තන්ජොරි චිකනුත් තියෙනවා. සමහරු ඒවත් කනවා. අපට දැන් නිකන් ඉන්නත් චිකන් ඕන. චිකන් කන්නෙ නැති අය ගෝත්‍රික සමාජයට අයත් ද කියල තාම පඬි නැට්ටකු කියා නැහැ.

 

සමහරු කියනවා දේශපාලනයට උගතුන් බුද්ධිමතුන් අවශ්‍ය කියා. ඒ කියන්නෙ මුලදි ම මා දේශපාලනයෙන් ඉවත් කරනවා කියන එක. ඒක වෙන්නැති 1994 දි කළුතර බුද්ධිමත් ජනතාව මට ඡන්දෙ නොදී මගේ ඇපෙත් නැති කෙළෙ. ඒ කොහොම වුණත් රනිල් පාසලේ දී හා විශ්වවිද්‍යාලයේ දී සාමාන්‍ය අර්ථදැක්වීමට අනුව දක්‍ෂ ශිෂ්‍යයකු ලෙස කැපී පෙනුනෙ නැහැ. මා දන්නා අය නම් කියන්නෙ රනිල් බොහෝ පොතපත කියවනවා කියල. ඒ කාලෝ ෆොන්සේකා බුදුදහම ගැන පොත් කියවූ අරමුණෙන් ද දන්නෙ නැහැ. කාලෝ මොන හේතුවාදියා වුණත් ස්වර්ගය විශ්වාස කළා. ධර්මසේකර (පැවිදි නම වෙනත් එකක්) හාමුදුරුවන්ගෙන් අහන්න.

 

රනිල් දක්‍ෂ දේශපාලනඥයකු කියා කියන්නත් බැහැ. ඔහුට දැන් නම් ඡන්දයකින් දිනන්න බැහැ. ඔහු බියගම අත්හැරලා කොළඹට ආවෙ බියගම ඔහුට බයගම වූ නිසාත් කොළඹ ඔහුගෙ ගම වූ නිසාත්. ඒත් රනිල් ගමෙත් ෆේල්. ඊයෙ (සැප් 27) රනිල් 360ට සහභාගි වෙලා. අද උදේ සංඛ ඉදිරිපත් කළ කොටසින් නම් පැහැදිලි වුණෙ ඔහු අර අකුරු තුනක් ගැන විශ්වාස කරනවා කියා. ඒ KFC නොවෙයි IMF. මෙරට බොහෝ ඊනියා ප්‍රාමාණික විශේෂඥ ජාත්‍යන්තර කීර්තියට පත් වී ඇතැයි කියන ආර්ථික විද්‍යාඥයන් දන්නෙත් අකුරු තුනයි. IMF.

 

රනිල් කියන කතාවෙ එක් ඇත්තක් තියෙනවා. 2024 වෙන තුරු සංචාරකයන් ලෝකෙ පුරා ඇවිදින්න යන්නෙ නැහැ. ඔය බුබුළු සංකල්පය එතරම් කාර්යක්‍ෂම නැහැ. සංචාරකයන්ට බුබුළක් ඇතුළෙ ඉන්න ඕන නැහැ. මා සංඛ්‍යාන දත්ත කටපාඩම් කර ගෙන නැහැ. මට ගාථාවක් ගීතයක් (ගාථා කියන්නෙත් ගීත තමයි) කටපාඩම් කරන්න බැරි එකේ ඔය දත්ත මතක හිටින්නෙ නැහැ. මා දන්නෙ නැහැ සංචාරකයන්ගෙන් ලංකාවට කෙතරම් ආදායමක් ඒ කාලෙ ලැබුණ ද කියල. ඒ ආදායම අද නැවතිලා. දැන් අපට ඩොලර් හිඟයක් තියෙනවා. සංචාරකයන් ගැන ඕනෑවට වඩා යැපෙන්න එපා කියන එකයි ඒකෙන් ලැබෙන පණිවුඩය. ඒත් ඒ පණිවුඩය අපට එන්නෙ වෙන විධියකට.

 

අපට පරිප්පු ගේන්න ඩොලර් නැහැ. කිරිපිටි ඉන්ධන සඳහා ඩොලර් ඕන. අපි පරිප්පු වවන්න උත්සාහ කරන්නෙ නැහැ. අප කිරි කෑ ජාතියක් මිසක් කිරි බිව් ජාතියක් නො වෙයි. එළකිරි එළ කියල හිතන්න එපා. පිටි නම් කොහොමටත් එළ නැහැ. ඒත් අප පට්ට ජාතියක්. ඒ කියන්නෙ පට්ට ගහන්න ඕන ජාතියක් මිස අද වන විට විශිෂ්ට ජාතියක් කියන එක නො වෙයි. අප වගා කළත් අතරමැදි මාෆියාව සියල්ල ගසා කාවි. ප්‍රජාතන්ත්‍රවාදය මාෆියාව රකිනවා.

 

රනිල් කියන්නෙ ඩොලර් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගන්න කියා. ඔවුන්ගෙ උපදෙස් ගන්න කියා. රට අද භයානක ආර්ථික අර්බුදයකට මුහුණ දී ඉන්නෙ. ඒකට වග කියන්න ඕනෙ මේ ආණ්ඩුව ද? රනිල්ලා යන විට ඔය එක එකාගෙ උපදෙස් මත ක්‍රියා කරල ඩොලර් කොච්චර ඉතුරු කරල ගියා ද? පහුගිය අවුරුදු එකහමාරක කාලය තුළ ආණ්ඩුවේ ආදායම අඩුවුණා. සංචාරකයන් ආවෙ නැහැ. අපේ අපනයන අඩු වුණා. ඒත් මධ්‍යම පංතියට අවශ්‍ය ආනයන අඩුවුණෙ නැහැ. රැවුල බාන්න ෂේවින් ක්‍රීම් අවශ්‍ය ම ද? පඬි නැට්ටන් ඒ ගැන විවිධ පඬි කතා කියාවි.  මා වෙනත් දේ ගැන කතා කරන්නෙ නැහැ. රනිල් හිටිය නම් එක පයින් රැවුලත් නොබා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දුවාවි.

 

අප දැන් දශක ගණනක් තිස්සෙ ක්‍රියාත්මක වුණෙ IMF උපදෙස් මත නො වේ ද? අපේ ආර්ථිකයට වෙලා තියෙන්නෙ මොකක් ද? අපේ ණයබර එන්න එන්න වැඩි වෙනවා. ඔවුන්ගෙ උපදෙස් අනුව අපේ සම්පත්වලට මොකක් ද කරන්න ඕනෙ. අනේ රනිල් කියන්න වෙන්නෙ මේ වගේ අවස්ථාවලට. ආර්ථික විද්‍යාඥයො කියන අයත් ඉතුරු වෙන්නෙ එක්කො ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ නැත්නම් ලෝක බැංකුවෙ එහෙමත් නැත්තත් ආසියානු සංවර්ධන බැංකුවෙ. ඔය මොන බැංකුවට ගියත් අපට ලැබෙන්නෙ බංකුව.

 

අපේ ජාත්‍යන්තර කීර්තියට පත් බටහිර වෙද මහත්තුරු වෙද නෝනල මොක ද කරන්නෙ. ඒ ගොල්ල තවත් අකුරු තුනක් මත යැපෙනවා. ඒ WHO. ලෝක සෞඛ්‍ය සංවිධානය. ඒකෙන් ලැබෙන නිවේදන කියවන එක තමයි ඔවුන්ගෙ විශේෂඥකම. මේ බටහිර ගැති අධ්‍යාපනයෙන් අපට අන්තිමේ දි කියන්නෙ කෙන්ටකි ප්‍රයිඩ් චිකන් කාලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ හා ලෝක සෞඛ්‍ය සංවිධානයෙ උපදෙස් මත ජීවිකාව කර ගන්න කියල. ඔය හැමෝම කරන්නෙ තම තමන් ගැන වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කරන එක.  ඔවුන් අපට කියන්නෙ ඔවුන්ට ඕන විධියට ජීවත් වෙන්න කියල. පඬි නැට්ටන් ඒකට එක පයින් කැමතියි. අප එක එකාට විකිණෙන එක විතරයි වෙන්නෙ. අපි ඔවුන්ගෙ වෙළෙඳ දැන්වීම්වලට රැවටිලා ඔවුන්ගෙන් ගන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙස අපි විකිණෙනවා.

 

අර ගුරබොරුවන් තම ඉල්ලීම් දිනා ගන්න කොවිඩ් එනකම් හිටිය. යහපාලන කාලෙ ඔය වාර්තා ක්‍රියාත්මක කරවන්න බැරි වුණා ද? ඊයෙ හෙදියො පැය කිහිපයක් වර්ජනය කළා. ඒ කාගෙ වෘත්තීය සමිතිවල සාමාජිකයන් ද කියා අමුතුවෙන් කියන්න ඕන නැහැ. කොවිඩ් අස්සෙ කැරොල් නටන්න පටන් ගත්තෙ පාදෙණියගෙ වෘත්තීය සමිතිය. වර්ජන රැල්ලට කිසිම වගකීමකින් තොරව ක්‍රියාකරන ඔවුන් වග කියන්න ඕනෙ. එන්නත ගැන අප මොන මතයක් දැරුවත් මේ ආණ්ඩුව ඉතාමත් ප්‍රශංසනීය අකාරයකට ජනතාවට එන්නත ලබා දීල තියෙනවා. ඒවටත් යන්නෙ රජයේ මුදල්.  ආණ්ඩුව ඒ මුදලුත් හොයන්න ඕන.

 

එක අතකින් ගුරුබොරුවන් වර්ජනය දිගට ම ගෙන යන එක හොඳයි. මේ අකුරු තුනේ අධ්‍යාපනය දෙන්න එච්චර කාලයක් අවශ්‍ය නැහැ. ඔය නිවේදනයක් කියව ගන්න දැනුමකුයි එකතු කරන්න අඩු කරන්න සියයට ගණන් හදන්න දැනුමකුයි මුහුණු පොතේ අකුරු කොටන්න දැනුමකුයි දුන්න ම මදැයි. තචත් ඕන නම් නැති බැරි කම් කියල හිඟාකන විධියත් උගන්නන්න පුළුවන්. එක්සත් ජාතීන්ගෙ සංවිධානය අපට අනුකම්පා කරන එකක් නැහැ. ඒකත් අකුරු තුනක්. UNO. ඒකෙ කෞතුකාගාරයෙ රනිල්ගෙ UNP ප්‍රදර්ශනය කරන්න පුළුවන්.