Main Logo

Sunday 19 September 2021

රනිල්ලා බල්ලකුටවත් පැවරුවෙ නැති ආරක්‍ෂාව

රනිල්ලා බල්ලකුටවත් පැවරුවෙ නැති ආරක්‍ෂාව

 

මා කලින් ලිපියේ කියා සිටියේ පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු කවුරුද යන්නයි. ඇතැමුනට එය අගක් මුලක් නැති කතාවක් වීමට ඉඩ ඇතත් ජාත්‍යන්තර ව සිදු වන්නේ එයයි. නෝර්වේ විවිධ පුද්ගලයන් හරහා මෙරට සිංහල මුස්ලිම් අරගල ඇති කිරීමට උත්සාහ කළා. එහෙත් ඔවුන් බලාපොරොත්තු වූ තරමින් ඒ කරගන්න බැරි වුණා. දිගාලා හා ඔවුන්ගේ එකල හිත මිතුරු ගිහි පැවිදි අය අසාර්ථක වුණා. අසු තුනෙන් පසු සිංහල මිනිසුන් උසිගැන්වීම පහසු නැහැ.

 

නෝර්වේ ඇතැම් විට රාජ්‍යයක් ලෙසත් ඇතැම් විට නෝර්වීජියානු පුද්ගලයන් හරහාත් ක්‍රියාත්මක වෙනවා. දෙමළ ජාතිවාදය සම්බන්ධයෙන් නම් ඔවුන් ක්‍රියාත්මක වූයේ රාජ්‍යයක් ලෙස. නෝර්වේ කියන්නේ එංගලන්තයේ බළල් අතක් පමණයි. අද නවසීලන්තයත් මෙරට මුස්ලිම් සම්බන්ධකම් ඇති අයට සරණාගත තත්ව ලබා දෙනවා. පසුගිය දා නවසීලන්ත සරණාගත තත්ව ලැබූ යුවළ මුස්ලිම් ත්‍රස්තවාදීන්ට කෙළින් ම ආධාර කර නැහැ. ඔවුන් කියන අන්දමට නම් කර ඇත්තේ කාගෙන් දෝ ලැබුණු මුදල් කාට දෝ ලබා දීමයි. එය ත්‍රස්තවාදීන්ට දැනුවත් ව කළ උපකාරයක් බව ඔප්පු කිරීම සඳහා සාක්‍ෂි නැහැ. එබැවින් ඔවුන් නිදහස් වෙලා.

 

එයින් එක් දෙයක් පැහැදිලි වෙනවා. මෙරට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත් අධිකරණයත් ක්‍රියා කරන ආකාරය ප්‍රශංසනීය බව. තමන්ට අවශ්‍ය යැයි හැඟෙන අයට දඬුවම් දීමක් එහි නැහැ. සමහර විට පරීක්‍ෂණ සඳහා අවුරුද්දක් දෙකක් තුනක් යන්න පුළුවන්. එහෙත් ඔප්පු කළ හැකි සාක්‍ෂි නෙමැති නම් අදාළ සැකකරුවන් නිදහස් කෙරෙනවා. ඒත් අද ඇතැම් බිෂොප්වරුන්ට හා විපක්‍ෂයට ඕනෑ වී ඇුත්තේ තමන්ට අවශ්‍ය පුද්ගලයන්ට කෙසේ නමුත් දඬුවම් කිරීමත් අනෙක් අය නිදහස් කිරීමත්.

 

අර යුවළ නවසීලන්තයට පැන ගත්තේ කෙසේ ද? ඔවුන් කියා ඇත්තේ ලංකාවේ සිටීම ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක් කියා. එසේ කී පමණින් නවසීලන්තය ඔවුන්ට සරණාගත තත්වය දීලා. නවසීලන්තය අපමණ හොඳ රටක්! එංගලන්තය මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නවසීලන්තය යොදා ගන්නේ මෑතක සිට. අවුරුදු තිහකට පමණ පෙර නෝර්වේ දෙමළ ජාතිවාදයට ආධාර කරන බව කියමින් අප එකී තානාපති කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණයක් කළා. වැඩි පිරිසක් පැමිණ සිටියේ නැහැ. රාජ්‍ය නොවන සම්බන්ධකම් ඇති එක් ජඩමාධ්‍යවේදියෙකු පැමිණ සිටියේ සභභාගි වූ පිරිස ගණන් කිරීමට.

 

ජාත්‍යන්තර සම්බන්ධකම් උඩ සිරිල් ගාමිණි පූජකතුමා මිෂෙල්ට ලියුම් යවනවා. කාදිනල්තුමාටත් නැති අමාරුවක් සිරිල් ගාමිණී පූජකතුමාට ඇත්තේ ඇයි? ඔහු මිෂෙල්ට කියා සිටින්නේ ලංකාවේ පාස්කු ප්‍රහාරය ගැන නිසි පරීක්‍ෂණයක් නොකරන බවත් අර මුස්ලිම් නීතිඥයකු කාලයක් තිස්සේ අත්අඩංගුවේ පසුවන බවත්. පාක්‍යසෝති ආදී දෙමළ ජාතිවාදීන් කියන්නේත් එයයි. ඔය නීතිඥයා ප්‍රභූ පැළැන්තියේ වීම නිසා වරදක් නොකරන්නේ ද? ප්‍රභූ පාසලක ඉගෙන ගත් බැවින් වරදක් නොකරන්නේ ද? ඔහු වරදකරුවකු ද නැද්ද යන්න තීරණය කරන්නේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා අධිකරණණය මිස සිරිල් ගාමිණී පූජකතුමාවත් පාක්‍යසෝතිවත් මිෂෙල්වත් නො වෙයි. ප්‍රමාණවත් සාක්‍ෂි නොමැති නම් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔහු නිදහස් කරාවි. ප්‍රමාණවත් සාක්‍ෂි ඇත්නම් අධිකරණයට ඉදිරිපත් කරාවි. අධිකරණය තම මිනුම්දඬු අනුව ඒ සාක්‍ෂි ප්‍රමාණවත් ද නැත් ද කියා සලකා බලාවි. මිෂෙල්, එක් එක්කෙනා කීවාට ඔයා කලබල වෙන්නෙ නැතිව ඉන්න. ඔයා කලබල වෙන විට අපට දුකයි.

 

අද බටහිරයන්ට හා ඔවුන්ගේ මෙරට ගැත්තන්ට හා නියෝජිතයන්ට අවශ්‍ය මෛත්‍රිපාල සිිරිසේන වරදකරුවා කර රනිල් බේරන්න. පාස්කු ප්‍රහාරය ඒ දෙදෙනාගෙන් එක් අයකුගේවත් වැඩක් නො වෙයි. එය බටහිරයන්ගේ වුවමනාව මත ක්‍රියාත්මක වූ මෙරට මුස්ලිම් අන්තවාදීන්ගේ වැඩක්. එය මුස්ලිම් ප්‍රභූන්ගේ හා දේශපාලනඥයන්ගේ ආධාරය අනුග්‍රහය නැතිව කරන්න පුළුවන් දේකුත් නො වෙයි. එහෙත් යහපාලන විගඩම එයට ගෑවෙන්නේ මෙරට ආරක්‍ෂාව ඔවුන් බල්ලකුටවත් පවරා නොදුන් නිසයි. ගෙවල්වල ආරක්‍ෂාව සමහර විට බල්ලන්ට පවරනවා. ඒත් රටේ ආරක්‍ෂාව බල්ලකුටවත් පැවරුවේ නැහැ. එ බටහිරයන්ගේ අවශ්‍යතාවට වෙන්න පුළුවන්.

 

දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳ ව බටහිරයන්ට ඇත්තේ දරාගත නොහැකි කෝපයක්. ඔවුන් මෙරට බුද්ධි අංශ දුර්වල කරන්න බුද්ධි අංශ ප්‍රධානීන් අත්අඩංගුවට ගැනීමට යහපාලන විගඩමට උපදෙස් දෙන්න ඇතැයි කියා හිතන්න පුළුවන්. උපදෙස් නැතත් රනිල් වැන්නකු එසේ කිරීමට ඉඩ තියෙනවා. රනිල්ට මවගේ පාර්ශ්වයෙන් සිංහල බෞද්ධ සම්බන්ධකම් තිබුණ නමුත් පිය පාර්ශ්වයෙන් ක්‍රිස්තියානි. ලේක්හවුසියේ එස්මන්ඩ් වික්‍රමසිංහ ඔහුගේ පියා. එකල ලේක්හවුසියේ මංගල සමරවීරගේ මව වූ ඛෙමා එස්මන්ඩ් යටතේ සේවය කළා. මංගල සිංහල බෞද්ධ විරෝධියෙක්. ඔහු රනිල්ට පක්‍ෂපාති වුණා.

 

රනිල් බටහිරයන්ට අවශ්‍ය ආකාරයට ක්‍රියා කරන්නෙක්. බටහිරයන්ගේ අවශ්‍යතාවට රට බෙදන්නට වුවත් ඔහු ලැහැස්තියි. ඔහු 2002 පමණ තාවකාලික ආණ්ඩුවේ ඉන්න කාලයේ තමයි සටන් විරාම ගිවිසුම් අත්සන් කෙළේ. ඔහු ප්‍රභාකරන් එක්ක ගිවිසුම් අත්සන් කරන්න නෝර්වේ තානාපති සමග කිලිනොච්චි ගියා. බොහෝ දෙනා මා සමග කියා තියෙනවා රනිල් පොතපත කියවන බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තකු කියා. ඔහු මහාවංසය කියවා ඇති. කාලෝ ෆොන්සේකා බුදුදහම ඉගෙන ගත්තා. ඔහු පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයෙන් උපාධියක් ද ලැබුවා. ඒ කුමක් සඳහා දැයි හිතනවා ද? එහෙත් ඔහුට බුදුදහමට අත තියන්නවත් බැරි වුණා. ඔහු සසරක් ගැන නොව ස්වර්ගයක් ගැන විශ්වාස කළා. කාලෝටත් වඩා  හේතුවාදියකු වූ ගුණදාස අමරසේකර ඒ දෙකෙන් එකක්වත් විශ්වාස කරන්නේ නැහැ. ඒ ඔහුගේ ජාතික චින්තනය වෙන්න ඇති.

 

යහපාලන විගඩමේ ජනාධිපති මෛත්‍රිපාල වුණත් ප්‍රධානියා වුණෙ රනිල්. බුද්ධි අංශ දුර්වල කිරීම පිළිබඳ සියලු වගකීම් රනිල් හා එ ජා ප ඇමතිවරුන් දරන්න ඕන. පාස්කු ප්‍රහාරය ජාත්‍යන්තර සැලසුමකින් ලංකාවේ ක්‍රියාත්මක වූයේ මෙරට ඇතැම් මුස්ලිම් දේශපාලනඥයන්ගේ හා ප්‍රභූන්ගේ ආධාරයෙන් වෙන්න ඕන. එහෙත් එසේ ක්‍රියාත්මක වීමට හැකි වූයේ බුද්ධි අංශ දුර්වල කර තිබූ නිසා. එයට වග කිව යුත්තේ මෛත්‍රිපාල හා ශ්‍රී ල නි ප නොව රනිල් හා එ ජා පක්‍ෂයයි.

 

බටහිරයන්ට අද රනිල් බේරා මෛත්‍රිපාල දඬුකඳේ ගැසීමට අවශ්‍යයයි. ඒ අන් කිසිවක් නිසා නොව මෛත්‍රිපාල රනිල් පන්නා මහින්ද අගමැති කළ නිසයි. එකල ජ වි පෙරමුණේ යටත්විජිත දුවගෙන ගෙස් පාර්ලිමේන්තු ලේකම්ට විශ්වාසභංගයක් භාර දුන් අයුරු බටහිර තානාපතිවරු වියනා සම්මුතිය අමු අමවේ ම උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුවේ ප්‍රීති ඝෝෂා පැවැත්වූ අයුරු කාට නම් අමතක වේ ද? බටහිරයන්ට තම ඒජන්තයා වූ රනිල් බේරන  අතර මෛත්‍රිපාල වරදකරුවා කිරීමට අවශ්‍යයි. සිරිල් ගාමිණී පූජකවරයාට කිව යුතු කරුණ නම් පාස්කු ප්‍රහාරය සිදු වුණේ යහපාලන කාලයේ බවත් ප්‍රභූන් ද අපරාධ කරන බවත්.

 

හැටදෙකේ දී මැතිණියගේ ආණ්ඩුවට විරුද්ධ ව කුමන්ත්‍රණ කළ අය ප්‍රභූ විදුහල්වල ඉගෙන ගත් හමුදාවේ හා පොලීසියේ උසස් නිලධාරීන් බවත් ඔවුන් ලංකාවේ අධිකරණයෙන් වරදකරුවන් වුවත් එංගලන්තයේ රැජනගේ අධිකරණයෙන් ඊනියා තාක්‍ෂණික ප්‍රශ්නයක් උඩ නිදහස් වූ බවත් මෙරට බොහෝ දෙනකුට අමතක වන්නේ නැහැ.