Main Logo

Saturday 18 September 2021

පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු

 පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු


කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවය කළ සුදත් බණ්ඩාර මිය ගිහින්. ඔහු ශිෂ්‍ය අවධියේ ජ වි පෙ දේශපාලනයෙහි නිරත වූවෙක්. කැලෑ සටන් කළ අයෙක්. ජ වි පෙ වෙනුවෙන් ඇප කැප වී වැඩ කළ අයෙක්. අද ඉන්නා ජ වි පෙ ඊනියා නායකයන්ට වඩා ජ්‍යෙෂ්ඨ එමෙන් ම විප්ලවයට කැප වූ අයෙක්. එහෙත් භීෂණ සමයෙන් කලකට පසු ඔහු ජ වි පෙ පෙරමුණේ ඊනියා විප්ලවය හරි යන්නෙ නැති එකක් බව තේරුම් ගත්තා.

ඒ අනුව ඔහු අප සමග එක් වී වැඩ කළා. යහපාලන විගඩම බලයට පත් වී ටික කලකින් ම මහින්ද නැවත අගමැති කළ යුතු යැයි සම්මන්ත්‍රණයකින් කියා සිටි එව බලව හා සිහළ සෙනග සංවිධානවල ඔහු කටයුතු කළා. මා හිතන්නේ ඒ සංවිධානවල නම් පවා ඔහුගේ. ඔහු ජ වි පෙරමුණෙන් කැඩුණු බොහෝ අය මෙන් නොව මාක්ස්වාදී ගඩුගුඩාවෙන් සම්පූර්ණයෙන් ම කැඩී වෙන් වූ අයෙක්.

කලක් රෝගාතුර ව සිටි සුගත් කොවිඩ් වැළඳී මිය ගිහින්. කොවිඩ් නිදන්ගත රෝග ඇති අයට මෙන් ම සෙම වැඩි අයට ද වඩාත් ම බලපාන බව පෙනෙන්න තියෙනවා. සුදත් බටහිර වෙද මහතාට අප ඉක්මන් නිවන් සුව පතනවා.

අද සිරිල් ගාමිණී පූජකතුමාට අවශ්‍ය පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු හඳුනාගන්න. මා ඔහු හඳුනනවා. එහෙත් ඔහු කියා කීවත් ඒ පුද්ගලයකු නො වෙයි. මගේ තොරතුරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට වැඩක් වෙන එකක් නැහැ. ගලබඩඅත්තේ හිමියන්ට ඇතැම් මුස්ලිම් සංවිධානවලින් ම තොරතුරු ලැබෙන බව පේනවා. උන්වහන්සේ කලක් ඩිලන්ත නම් අයකු ඇසුරු කළා. ඔහු ගැන ආරංචියක් නැහැ. ඔහු නෝර්වේ ගිහින් ද? දිගා චම්පක දැන් වෙන ම යනවා. මට තොරතුරු සපයන්නෙක් නැහැ. මා කියන්නේ හිතළු කියා කීවත් වරදක් නැහැ.

මා භූ දේශපාලන යථාර්ථය වැනි ගැඹුරු කතා දන්නේ නැහැ. මගේ ව්‍යවහාරයේ එවැනි වචන නැහැ. එහෙත් මට පේන කරුණක් තමයි මෙරට කතෝලික සභාව ද අද බෙදී ඇති බව. මට තේරෙන විධියට අද කතෝලික සභාවට ක්‍රිස්තියානි බලපෑම් තියෙනවා. එය කොල්ලුපිටියේ පල්ලියක් හරහා කෙරෙනවා ද නැත් ද යන්න මා දන්නේ නැහැ. එයට කරුමක්කාර බලලෝභී ඊනියා උරුම කාර සේනාංක දේශපාලනඥයෙක් ද හවුල් ද කියන එකත් මට කියන්න බැහැ. ජනාධිපති සිහිනය දකින ඔහු සාතන් සමග වුවත් එකතු වේවි. සාතන් දෙවියන් වහන්සේ බවට පත්කරන බවටත් පොරොන්දු වේවි.

මෙය තරමක දිග කතාවක්. එහෙත් ඉතා කෙටියෙන් කියන්නම්. මෙහි ආරම්භය අර පිරෙන්ට්සි නගරයේ පුනරුදය කරා යනවා. තව පැත්තකින් එය 1453 කොන්ස්තැන්තිනෝපල් වැටීම දක්වා දිව යනවා. ඔටෝමාන් අධිරාජ්‍ය ගොඩ නැගීමත් මුස්ලිම් ක්‍රිස්තියානි (මුල දී කතෝලික) ගැටුම් වර්ධනය වීමත් ඉංගිරිසින් හෙම්ෆර් නමැත්තකු (නියම නම නොවේ) යොදා ගනිමින් දහඅට වැනි සියවසේ අබ්දුල් වහාබ් (1703- 92) මගින් වහාබ්වාදය පැතිරවීමත් මෙහි ආරම්භයේ තියෙනවා. ඉංගිරිසින්ට අවශ්‍ය වූයේ ඔටෝමාන් අධිරාජ්‍යය බිඳ දැමීමට මුස්ලිමුන් ම යොදා ගැනීමට. ඉංගිරිසින් පසු කලෙක විසිවැනි සියවසේ මුල ජෝන් ෆිල්බි හරහා සෞදි අරාබිය යොදා ගත් හැටි හිස්බුල්ලා කියා දේවි. ජෝන් ෆිල්බි බදුල්ලේ උපන්නෙක්. ජෝන් ෆිල්බිට් අරාබි සම්බන්ධකම් තිබුණා. ඔහු ජෙඩා නුවර පදිංචියට ගියා. වහාබ්වාදී අදහස් වහාබ්ට පෙරත් තිබුණු නමුත් ඒ තහවුරු වුණේ වහාබ්ගෙන් පසුවයි.

1517 මාටින් ලූතර් තම ප්‍රවාදය ඉදිරිපත් කිරීමත් සමග ඊනියා පුනරුදය ප්‍රතිසංස්කරණය බවට පත්වුණා. ඒ සමග කතෝලික සභ්‍යත්වයේ වැටීමත් ආරම්භ වුණා. අද ලෝකයේ ආධිපත්‍යය දරන්නේ ඉංගිරිසින්ගේ ක්‍රිස්තියානි නූතනත්වය මිස කතෝලික සභ්‍යත්වය නො වේ. ලංකාවේ කතෝලික බලපෑම ක්‍රිස්තියානි බලපෑමට වැඩියි. ඒ කතෝලික බලපෑම අවසන් කර නූතන ක්‍රිස්තියානි බෝන් අගේන් ව්‍යාප්ත කිරීමේ අදහස අද බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට තියෙනවා. එහෙත් ක්‍රිස්තියානි නූතනත්වයත් අද කඩා වැටෙමින් පවතින්නේ.

ඉංගිරිසින් වහාබ්වාදය පෝෂණය කළ නමුත් අද වහාබ්වාදය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට එරෙහි ව ක්‍රියා කරනවා. ලංකාවේත් ඇතැමුනට අමතක නොවුණු සැප්තැම්බර් 11 එයට හොඳ උදාහරණයක්. අද බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට අවශ්‍යයයි වහාබ්වාදය පරාජය කිරීමට. එහෙත් එය පහසු නැහැ. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට අද ඇති ප්‍රධාන අභියෝග දෙක නම් මුස්ලිම් (මූලධර්මවාදී) සභ්‍යත්වය හා චීන සභ්‍යත්වයයි.

අද ලංකාවේ සිට වියට්නාමය දක්වා චීන සභ්‍යත්වය මතු වීම වැළැක්වීමට බටහිරයන් මුස්ලිම් මූලධර්මවාදය හැකි අවස්ථාවල යොදා ගන්නවා. මේ කලාපය අස්ථාවර කිරීම බටහිරයන්ගේ එක් උපායක්. බටහිරයන් එමගින් කුරුල්ලන් දෙදෙනකු මරා ගන්නවා. මුස්ලිම් මූලධර්මවාදීන් යොදා ගැනීම මගින් මුස්ලිම් සභ්‍යත්වයට පොදුවේ නරක නමක් දීමට ද ඔවුන් උත්සාහ කරනවා. පිලිපීනය වැනි කතෝලික රටවල හා ලංකාව වැනි කතෝලික ප්‍රජාව වැඩි රටවල බටහිරයන් එක ගලෙන් කුරුල්ලන් තුන්දෙනකු මරා ගන්න උත්සාහ කරනවා. ඒ කතෝලික සභාව තුළට ක්‍රිස්තියානි නූතනත්වවාදී අදහස් ඒ ඒ පුද්ගලයන් ලවා ඇතුල් කිරීමෙන්.

පාස්කු ප්‍රහාරය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ වැඩක්. එහි මහා මොළ කරුවකු කියා පුද්ගලයකු හොයා ගන්න බැහැ. ඒ ඉංගිරිසි ඔත්තු සේවයේ වැඩක්. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය තරම් ඒ බව දන්නා පිරිසක් තවත් නැහැ. එබැවින් ම ඔවුන් මෙරට විවිධ පුද්ගලයන් ලවා කෑ ගස්සවනවා මහා මොළ කරු හොයන ලෙසට. කතෝලික සභාව ක්‍රිස්තියානි කිරීමේ වැඩ පිළිවෙළක් ද ඒ සමග ක්‍රියාත්මක වෙනවා. අද ක්‍රිස්තියානි නූතනත්වය කතෝලික බිෂොප් සභාව මගින් සිරිසේන පෙන්නමින් තම ක්‍රියා කලාපය වසන් කරන්න හදනවා.

මෙරට සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් ඉන්නවා. ඔවුන් අරාබියෙන් පැමිණ අවුරුදු අටසීයක් සිංහලයන් සමග හිටියේ ය කියා මා කියන්නේ නැහැ. මුස්ලිමුන් මෙරටට පැමිණ ඇත්තේ පහළොස්වැනි සියවසේ වත්මන් කේරළය හා තමිල්නාඩුව වෙන් කරන දේශසීමාවේ ප්‍රදේශයකින් කියා මා හිතනවා. ඉංගිරිසින් ඔවුන් ද සිංහලයන්ට විරුද්ධ ව ඇතැම් අවස්ථාවල යොදා ගත්තා. ඉංගිරිසින් ඇතැම් සිංහල බෞද්ධයන් ද සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව යොදා ගන්නා කල එය අරුමයක් නොවේ.

බෞද්ධ හින්දු කතෝලික මුස්ලිම් සංස්කෘතීන්හි පොදු ලක්‍ෂණයක් ඇත් නම් ඒ සාමූහිකත්වයි. ඉංගිරිසි ක්‍රිස්තියානි නූතනත්වය පදනම් වී් ඇත්තේ පෞද්ගලිකත්වය මතයි. ඉංගිරිසින් තම බෙදා පාලනය කිරීම හැමදාමත් කරනවා. ඔවුන් දෙමළ හින්දූන් සිංහල බෞද්ධයන්ට විරුද්ධ ව යොදා ගත්තා, යොදා ගන්නවා. අපට දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වුණත් එංගලන්තයෙන් පෝෂණය කෙරෙන දෙමළ ජාතිවාදය පරාජය කිරීමට බැරි වෙලා.

අද බටහිරයන්, විශේෂයෙන්ම ඉංගිරිසින් සිංහල මුස්ලිම් ගැටුමක් ඇති කිරීමට උත්සාහ කරනවා. එහි දී වහාබ්වාදයෙන් පෝෂණය වුණු මුස්ලිම් අන්තවාදීන් යොදා ගන්නවා. එහෙත් ඉංගිරිසින් ප්‍රසිද්ධියේ ඒ කිසිවක් කරන්නේ නැහැ. ඔවුන් එහි දී යොදා ගන්නා ප්‍රධාන රටවල් තුනක් නම් නෝර්වේ, නවසීලන්තය හා සෞදි අරාබියයි. ඉංගිරිසින් ලංකාවේ තව දුරටත් ක්‍රියාත්මක වෙමින් කතෝලික සභාවත් ක්‍රිස්තියානි කිරීමට මැදිහත් වෙනවා. අද ලෝකයේ ඇති ප්‍රශ්නවල මුල ඉන්නෙ ඉංගිරිසින්.

අද කළ යුත්තේ මේ උවදුර පරාජය කිරීමට කතෝලික, හින්දු, සාම්ප්‍රදායික මුස්ලිම් බැතිමතුන් සිංහල බෞද්ධයන් සමග එකතු වීමයි. ඔවුන්ට බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සභ්‍යත්වය යටතේ නැති ආරක්‍ෂාවක් සිංහල බෞද්ධ සංස්කෘතික ධජය යටතේ තියෙනවා. බෞද්ධයන් අන්‍යාගමිකයන් බලයෙන් හරි උපක්‍රමයෙන් හරි බෞද්ධ කරන්නේ නැහැ. උපාලි ගෘහපතියාට බූදු හාමුදුරවෙන් දුන් උපදේශය මතක් කර ගන්න. කලකට පෙර දෙමළ ජාතිවාදයට පක්‍ෂ ප්‍රතිපත්තියක් අනුගමනය කළත් සමහර විට කාදිනල්තුමාට මා කියන දේ තේරුම් ගිහින් ඇති.