Main Logo

Monday 6 September 2021

දෙවියන් වහන්සේ ලක්‍ෂ්‍යයක් ද?

 

දෙවියන් වහන්සේ ලක්‍ෂ්‍යයක් ද?

 

උගතකු බුද්ධිමතකු වියතකු නොවන මා කිසිවකුගේ ආගමික විශ්වාස ප්‍රශ්න කරන්නේවත් විවේචනය කරන්නේවත් නැහැ. ආගමික විශ්වාස තබා කිසිම විශ්වාසයක් ප්‍රශ්න කරන්නේ නැහැ. අප සියල්ලන් ම පදනම් වන්නේ යම් යම් විශ්වාස මත. ඒ ඒ විශ්වාස අදාළ චින්තනයෙන් සංස්කෘතියෙන් ලැබෙන දේ. මා විවේචනය කරනනේ තමන් විශ්වාසය මත පදනම් නොවන්නේ යැයි කියන්නන්ගේ එකී විශ්වාසයත් බටහිර හා වෙනත් රටවලින් විවිධ දේ අනුකරණය කිරීමත්. ඒ අනුකරණය නොකර අප සංස්කෘතියට අවශෝෂණය කරන්නේ නම් මට ප්‍රශ්නයක් නැහැ.

 

පසුගිය දා මියගිය මංගල ගැන ඔහුට විරුද්ධ දේශපාලන මත දැරූ අය පවා ගුණ කීවේ ඇයි ද යන්න මට ප්‍රශ්නයක් වූවා. පේරාදෙණියේ ඇත්තේ දර්ශන අධ්‍යයනංශයක් නොව ප්‍රදර්ශන අංශයක් යැයි කිව්වේ එහි මහාචාර්යවරයකු. අද මෙරට උගතුන් යැයි කියන්නන් සියල්ලන් ම පාහේ ප්‍රදර්ශකයන් වෙලා. තමන් කොහෙන් හරි අහුලාගත් දෙයක් අනෙක් අයට ප්‍රදර්ශනය කිරීම තමයි ඔවුන් කරන්නේ. අද සමාජයේ බටහිරට වඳින පුදන තත්වයක් ඇති වෙලා. බටහිර අනුකරණය කිරීම බටහිර දැනුම අවිචාරයෙන් පිළිගැනීම අද අනිවාර්ය වෙලා. අද මෙරට උගතුන් දහසයවැනි සියවසේ අපට ලැබෙන්න පටන් ගත් සංස්කෘතියේ හා චින්තනයේ සිරකරුවන් වෙලා. එහෙත් ඔවුනට එකී චින්තනයේ හිතන්න නම් බැහැ.

 

උගතුන්ගේ පෞද්ගලික චින්තනය සිතුම් පැතුම් කුමක් වුවත් ඔවුන්ට තමන් බටහිර අනුකරණය කරන බව ප්‍රදර්ශනය කරන්න වෙලා. ඔවුන්ගේ පෞද්ගලික ජීවිත හා ප්‍රසිද්ධ ජීවිත අතර පරස්පරයක් තියෙනවා. එය දීන බවේ ලක්‍ෂණයක්. පේරාදෙණියේ දර්ශන අධ්‍යනංශයේ ම එක්තරා මහාචාර්යවරයෙක් තමන් බටහිර නූතනත්වයටත් එහා ගිය කතා දන්නා බව ප්‍රදර්ශනය කරන අතර ගෙදර පින්කමක් වූ විට ධාතු කරඬුව හිස මත තබාගෙන යන්නේ මහා ශ්‍රද්ධාවෙන්.

 

මේ ප්‍රදර්ශනය තමයි මංගලගේ ගුණ වයන්නන් කරන්නෙත්. මංගල බටහිර ඊනියා දියුණු යැයි කියන සිතුම් පැතුම් අනුගමනය කළ අයෙක්. ඔහු ඒ නිසාමත් සිංහල බෞද්ධ විරෝධියෙක්. ඔහුට කිලී මහාරාජාට සුනිල් පෙරේරාට මෙන් ම සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමේ අවශ්‍යතාව තිබුණා. ඔහු බටහිර මත පුනරුච්චාරණය කළා. ඔහු ශාස්ත්‍රීය ව නව දැනුමක් තබා ශිල්පීය ව නව ඇඳුම් මෝස්තරයක්වත් නිර්මාණය කිරීමේ හැකියාවක් තිබූ අයෙක් නො වෙයි. ඔහු මෙරට මඩ දේශපාලනයේ නම් අවිවාදයෙන් ම නායකයා වූවා.

 

මෙරට මුහුණු පොතේ සැරිසරන තරුණ තරුණියන්ට අවශ්‍ය තමන් බටහිර ඊනියා දියුණු මත දන්නේ යැයි අනුගමනය කරන්නේ යැයි ප්‍රදර්ශනය කිරීම. ඔවුන් පෞද්ගලික ජීවිතයේ පන්සල් යන දාන මාන පින්කම් කරන අය. එහෙත් ප්‍රසිද්ධ ජීවිතයේ ඔවුන්ට අවශ්‍ය වෙනවා තමන් ඊනියා ප්‍රබුද්ධයන් බව ප්‍රදර්ශනය කිරීමට. එබැවින් ඔවුන් බටහිර අනුකරණය කරමින් සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට කටයුතු කළ මංගලගේ ගුණ ගයනවා. මෙහි දී හා පසුව පළවන ලිපිවල මට අවශ්‍ය වන්නේ බටහිර දැනුම් බැලුම පුපුරවන්න විතරයි. ඒ මිසක් ආගමික විශ්වාස ප්‍රශ්න කරන්න නො වෙයි.  අද බටහිර දැනුම කොවිඩ් 19 හමුවේ අසරණ වෙලා.

 

බටහිර චින්තනය නැත්නම් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය පදනම් වන්නේ චින්තන තුනක් මත. ඒ යුදෙව් චින්තනය, ග්‍රීක චින්තනය (ග්‍රීක පෞර රාජ්‍ය චින්තනය) හා ක්‍රිස්තියානි චින්තනය මත. ඒ නිසා මා බටහිර ක්‍රිස්තියානි නූතනත්ව චින්තනය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ලෙස හඳුන්වනවා. මෙහි ක්‍රිස්තියානි චින්තනය යනුවෙන් හැඳින්වෙන්නේ දහසයවැනි සියවසේ මාටින් ලූතර කතෝලික චින්තනයට එරෙහි ව ඉදරිපත් කළ පෞද්ගලිකත්වයේ නිදහස මත පදනම් වූ චින්තනයයි. අද එයත් ඔඩුදුවා ගොස්.

 

කතෝලික චින්තනය මත පදනම් වූ දේශපාලනය  අද ඉතාමත් දුර්වලයි. මුස්ලිම් චින්තනය මත පදනම් වූ දේශපාලනය  නම් ශක්තිමත්. මේ චින්තන දෙක ම පදනම් වී ඇත්තේ යුදෙව් චින්තනයෙහි. කතෝලික චින්තනය ක්‍රිස්තියානි චින්තනයට පරාජය වී පසුබැස ගොස්. එහෙත් මුස්ලිම් චින්තනය තවමත් ශක්තිමත් ව ක්‍රියාත්මක වෙනවා. මුස්ලිම් චින්තනයත් අවසාන වශයෙන් යුදෙව් චින්තනය මත පදනම් වෙනවා. එහෙත් මුස්ලිම් චින්තනය ප්‍රශ්න කිරීම නවත්තලා. යුදෙව් චින්තනය එසේ නොවෙයි. ඔවුන් දෙවියන් වහන්සේ පවා ප්‍රශ්න කරනවා.

 

බර්නාඩ් - හෙන්රි ලෙවි නම් ප්‍රංශ යුදෙව් දාර්ශනිකයා ලියා ඇති පොත් අතර (The genius of Judaism) යන්න ඉතා වැදගත් කෘතියක්. එහි ඔහු කියනවා ක්‍රිස්තියානින් හා යුදෙව්වන් අතර ඇති වෙනස නම් ක්‍රිස්තියානින් දෙවියන් වහන්සේ තමන්ගේ කර ගනිමින් පිළිගන්නා බවත් යුදෙව්වන් දෙවියන් වහන්සේ තේරුම් ගැනීමට උත්සාහ කරන බවත්. තේරුම් ගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න නම් ප්‍රශ්නයක්. අප යමක් තේරුම් ගන්නවා කියන්නේ එය වෙනත් දෙයින් ප්‍රකාශ කිරීමක්. ඒ වෙනත් දේ තේරුම් ගන්නේ කෙසේ ද? එහි කෙළවරක් නැහැ. එය සාකච්ඡා කිරීම පසුවට තබා යුදෙව්වන්ගේ, ක්‍රිස්තියානින්ගේ  හා මුස්ලිමුන්ගේ දෙවියන් වහන්සේ ගැන දැනට එක් කරුණක් පමණක් සාකච්ඡා කරමු.  කතෝලිකයන්ගේ දෙවියන්වහන්සේ තරමක් වෙනස්. බ්‍රහ්මන් ඊටත් වෙනස්.

 

මා දෙවියන් වහන්සේ විශ්වාස කරන්නේ නැහැ. එහෙත් මා දෙවියන් වහන්සේට කැමතියි. මගේ ලෝකය මගේ සංස්කරණයක් මිස දෙවියන් වහන්සේගේ හරි වෙනත් කාගේවත් හරි නිර්මාණයක්වත්  සංස්කරණයක්වත් නොවෙයි. ඔබේ ලෝකය මගේ ලෝකයෙන් වෙනස් වෙනවා. අප එකිනෙකා තම තමන්ගේ ලෝක සංස්කරණය කර ගන්නේ එකිනෙකාගේ චින්තනයෙහි එකිනෙකාගේ සංස්කෘතියට සාපේක්‍ෂ ව. දෙවියන් වහන්සේ යන්න ද බටහිර ආසියාවේ මිනිසුන්ගේ සංස්කරණයක්. ඔවුන් අතර යුදෙව්වන් ප්‍රධානයි.

 

යුදෙව් චින්තනයේ වෙන කිසිම චින්තනයක නැති වියුක්ත බවක් තියෙනවා. වියුක්තය  සිතින් මවා ගන්නවත් බැහැ. ස්ටීවන් වයින්බර්ග් ගැන සඳහන් ලිපියෙහි ඔහු රුප මගින් සිතුවේ නැති බව සඳහන් වුණා. යුදෙව් දෙවියන් වහන්සේ නැත්නම් යෙහෝවා කිසිවකුටවත් මවා ගන්නට බැහැ. දෙවියන් වහන්සේගේ රූප පිළිම නැත්තේ එබැවිනුයි. යුදෙව් හරි මුස්ලිම් හරි දේවස්ථානවල පිළිම නැහැ. එපමණක් නොව පරණ තෙස්තමේන්තුවට අනුව වෙනත් විශ්වාසවල දෙවියන්ගේ පිළිම කඩා දාන්න ඕන. බුදුහාමුදුරුවන් දෙවි කෙනකු ලෙස ගැනීම නිසා මුස්ලිමුන් පිරිසක් බාමියන් බුදු පිළිම විනාශ කළා.

 

ඒ කෙසේ වෙතත් බටහිර ගණිතයෙහි රූප නැතිව කල්පනා කරන්න ඕන. බටහිර ජ්‍යාමිතියෙහි රූප අඳින්නේ නැහැ. සරල රේඛාවක් කියන්නේ දිගක් පමණක් ඇති පළලක් ඝනකමක් නැති අනන්තයට විහිදෙන දෙයක්. ගණිතමය භාෂාවෙන් කිව්වොත් භූතාර්ථයක්. සරල රේඛාවක්, වෙනත් ජ්‍යාමිතික වක්‍රයක්, වෘත්තයක් මේ කිසිවක් අඳින්න බැහැ. හිතෙන් මවා ගන්නවත් බැහැ. ඒ වියුක්ත සංකල්ප.

 

යෙහෝවා දෙවියන් වහන්සේ ද  එසේමයි. දෙවියන් වහන්සේගේ රූප අඳින්න බැහැ. පිළිම තනන්න බැහැ. හිතෙන් මවා ගන්නත් බැහැ. ලෙවි කුමක් කිව්වත් මට හිතෙන විධියට තේරුම් ගන්නත් බැහැ. යුදෙව්වන් හිතනවා තේරුම් ගන්න පුළුවන් කියා. ඔවුන් අවුරුදු දහස් ගණනක් තේරුම් ගන්න උත්සාහ කරනවා වෙනන පුළුවන්. එහෙත් ඒ කරන්න බැහැ.

 

සරල රේඛාවක්, ලක්‍ෂ්‍යය දිග අනන්තය ආදී සංකල්ප යොදා ගෙන තේරුම් ගන්නවා කියනවා. ඒත් ලක්‍ෂ්‍යය තේරුම් ගන්නේ කෙසේ ද? තවත් සංකල්ප යොදා ගෙන ද? එය කෙළවරක් නැහැ. අවසානයේ දී කියනවා ලක්‍ෂ්‍යයක් යනු අර්ථ නොදක්වන ලද භූතාර්ථයක් කියා. කවුරුන්වත් අහන්න එපා අර්ථ දක්වනවා කියන්නෙ මොකක් ද භූතාර්ථයක් කියන්නෙ මොකක් ද කියල. අපට එක තැනකින් පටන් ගන්න බැහැ. දැනුම චක්‍රීයයි.

 

කෙසේ වෙතත් දෙවියන් වහන්සේ කිසිම ආකාරයකින් අර්ථ දක්වන්න බැහැ. එසේ අර්ථදක්වන්න නම් වෙනත් සංකල්ප අවශ්‍ය වෙනවා. ඒත් දෙවියන් වහන්සේට කලින් සංකල්ප කොහෙන් ද? යුදෙව් චින්තනය රේඛීයයි. එහි මුලක් තියෙන්න ඕන. ඒ මුල තමයි දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ තමයි වියුක්ත යුදෙව් චින්තනයෙහි අග්‍ර ඵලය. මා විශ්වාස නොකළත් දෙවිියන් වහන්සේට කැමති එබැවිනුයි. එහෙත් ඒ චින්තනයෙහි කඩා වැටීම ඇත්තේත් එතැනයි.