Main Logo

Saturday 25 September 2021

වෙනස් වෙන විදේශ ප්‍රතිපත්තිය

 

වෙනස් වෙන විදේශ ප්රතිපත්තිය

 

ලංකාවේ විදේශ ප්රතිපත්තිය වෙනස් වෙමින් පවතින බව පේනවා. එයට වගකිවයුත්තන් කවුරුන්දැයි හරියට කියන්න බැහැ. එහෙත් අප රට භයානක පැත්තකට යොමු වෙමින් පවතින බව කියන්න පුළුවන්. මා දැන් හිටපු තානාපති කෙනෙක්. මට මගේ අදහස් ප්රකාශ කිරීමට බාධාවක් නැහැ. තානාපති ව කටයුතු කළත් මේ ටික කියන්න වෙනවා.

 

මා හොඳින් දන්නා කරුණක් පළමුවෙන් කියන්න ඕන. සෞභාග්යයේ දැක්ම ලියන්න විවිධ අය සහභාගි වෙන්න ඇති. එහෙත් එය කියවන්න එතරම් පිරිසක් උනන්දු වෙන්න නැතිව ඇති. මා ද එය සම්පූර්ණයෙන් කියවා නැහැ. කියවන්න ඕන කමකුත් නැහැ. ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන්නේ ඡන්දදායකයන් සෞභාග්යයේ දැක්ම කියවා නො වෙයි. ඒ ඡන්දය දීපු හැටනව ලක්ෂයෙන් ලක්ෂයක්වත් සෞභාග්යයේ දැක්ම කියවන්නෙ නැතිව ඇති.

 

ගෝඨාභය රාජපක්ෂ දිනුවෙ සිංහල ඡන්දවලින්. සිංහල බෞද්ධ මෙන් ම සිංහල කතෝලික/ක්රිස්තියානි ඡන්දවලින්. අපට ඒ ඡන්දයෙහි දී රැස්වීම් ඇමතීමට ආරාධනා ලැබුණේ කුරුණෑගල දිස්ත්රික්කයෙන් පමණයි. බොහෝ දෙනාට අප ලාදුරු රෝගීන් මෙන් වුණා. දැන් කියන විධියට නම් කොවිඩ් රෝගීන් මෙන් වුණා. ඒත් මා දැන සිටියා ගෝඨාභය රාජපක්ෂට සිංහල ඡන්ද විශාල සංඛ්යාවක් ලැබෙන බවත් සිංහල ඡන්දවලින් පමණක් ඔහුට දිනිය හැකි බවත්.

 

මා කියන දේ සුපුරුදු පරිදි විකාරයක් යැයි බොහෝ දෙනා හිතුවා. ජාතිකවාදීන් ද එයට හිනා වුණා. ඒ නොදත් දොස්තරලා පමණක් නො වෙයි. මට හිතවත් ජාතිකවාදීන් අතළොස්සෙන් ද වැඩි පිරිසක් හිතුවේ එය වෙන්න බැරි දෙයක් ලෙසයි. එහෙත් මගේ දේශපාලන ඉව මට කියා සිටියේ සිංහලයන් යහපාලනය ගැන මහා කළකිරීමකින් සිටි බවත් ඔවුන් ගෝඨාභය රාජපක්ෂගෙන් යම් සහනයක් බලාපොරොත්තු වූ බවත්.

 

තමන්ට පහර වැදෙන්නේ එ ජා ප ආණ්ඩුවලින් බව සිංහල බෞද්ධයන් දන්නවා. පසුගිය ජනාධිපතිවරණයේ දී සිංහල කතෝලිකයන්/ක්රිස්තියානින් ද ඒ බව දැන ගත්තා. අද තවමත් උතුරු පළාතේ සිංහලයන් පදිංචි කරන්න බැහැ. නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථානවලට පහර වදිනවා. ඇතැම් පෞරාණික පන්සල්වල දායක සභා අබෞද්ධයන්ගෙන් පුරවලා. දේශපාලන හිතවත්කම් උඩ ඇතැම් පන්සල්වල විහාරාධිපතිකම් ද මහානායක හිමිවරුන්ගේ කැමැත්තට නොව අබෞද්ධ දායක සභාවල ඕනෑ එපාකම් මත තීරණය වෙනවා. නායක පදවි ඇති කරනු ලැබුයේ ඉංගිරිසින් විසින් නිසා මා මේ ගැන වැඩිපුර යමක් කියන්නේ නැහැ. එහෙත් මේ ඉංගිරිසි නීතියෙන් පන්සල් බේරා ගැනීමේ වුවමනාව සිංහල බෞද්ධයන්ට තියෙනවා.

 

ඉංගිරිසින් සියල්ල වෙනස් කිරීමට පෙර මෙරට තිබුණේ සිංහල නීතිය. අද ඇත්තේ ඉංගිරිසි නීතිය මිශ්ර වුණු රෝම ලන්දේසි නීතිය. මුළු රටට ම එක නීතියක් කියන එකෙන් සිංහලයන් බලාපොරොත්තු වන්නේ සෑම තැන ම අර ඉංගිරිසි රෝම ලන්දේසි නීතිය ක්රියාත්මක කරන්න කියන එක නො වෙයි. සිංහල නීතිය මත පදනම් වූ නීති ක්රමයක් සකස් කිරීමයි. එයට ඉංගිරිසි රෝම ලන්දේසි නීතිය අවශෝෂණය කර ගැනීමේ වරදක් නැහැ. ඉංගිරිසි රෝම ලන්දේසි නීතිය මත ම රැඳෙන්න කියන්නෙ ඉංගිරිසින්ගෙ වහලුන් වෙන්න ඕන.

 

සිංහලයන් බලාපොරොත්තු වෙච්ච තව දෙයක් තමයි සියළු ම ත්රස්තවාද නැති කිරීම. පාස්කු ප්රහාරය සිදුවුණේ යහපාලන කාලයේ බව සිරිල් ගාමිණී රොහාන් සිල්වා පූජකවරුන්ට අමතක ද කියා මා දන්නේ නැහැ. එහෙත් මෙරට කතෝලික බහුතරයට නම් එය අමතක නැහැ. මුස්ලිම් ත්රස්තවාදය පමණක් නොව දෙමළ ත්රස්තවාදය ද එංගලන්තය මුල් කරගෙන ඇති වුණා. දෙමළ ත්රස්තවාදයට ඉන්දියාව ද උඩගෙඩි දුන්නා. අද මෙරට විදේශ ප්රතිපත්තිය සම්බන්ධයෙන් මර්මස්ථාන හතරක් තියෙනවා. ඒ වොෂිංටන්, ලන්ඩන්, දිල්ලිය හා ජෙනීවා.

 

සිංහලයන්ට අවශ්යයි රණ විරුවන් ඊනියා මානව අයිතිවාසිකම් චෝදනාවලින් නිදහස් කර ගන්න. එයට එක් ක්රමයක් තමයි ඊශ්රායලය මෙන් මිෂෙල් නෝනලා කියන දේ ඇමරිකන් රාජ් දෙපාර්තමේන්තුව දිල්ලිය කියන දේ මායිම් නොකර සිටීම. අනෙක රණ විරු විරෝධීන්ට පිළිතුරු දීම. එහෙත් අප වොෂිංටනයේ තානාපතිකමට පත්කර ඇති මහින්ද සමරසිංහ ඒ කාර්යය කරන අයෙක් ද? ඔහුගේ ඉතිහාසය රණවිරු විරෝධී ඉතිහාසයක්. ඔහු කලක් විදේශ අමාත්යාංශයේ සේවය කර තිබෙනවා. ඕස්ත්රේලියාවේ පළමු ලේකම් ලෙසත් ජෙනීවාහි නිත්ය නියෝජිත ලෙසත් කටයුතු කර තියෙනවා. ඔහු ජෙනීවාහි කරන ලද කතා ජුගුප්සාජනකයි. ඔහු වොෂිංටන්හි තානාපති කිරීමෙන් බලාපොරොත්තු වන්නේ ඇමරිකන් රාජ්ය දෙපාර්තමේන්තුවට අවශ්ය පරිදි රණවිරුවන් දඬු ගසේ ගැහීම ද?

 

මහින්ද සමරසිංහට ඇමතිකමක් තබා රාජ්ය ඇමතිකමක්වත් ජනාධිපතිතුමාගෙන් ලැබුණේ නැහැ. ඒ එතුමාට මේ මහින්ද ගැන අවබෝධයක් තිබුණ නිසා වෙන්න ඕන. එහෙත් දැන් ඔහුට ඉතා වැදගත් තනතුරක් වොෂිංටනයේ ලැබෙනවා. ඔහු රණවිරු විරෝධියෙක්. ඔහු සිංහලයන්ට පක්ෂව කර ඇත්තේ කුමක් ද?. ඔහු පත්කිරීම පිළිබඳ සතුටු වන්නේ කවුද? මේ පත්කිරීමත් විසිරුණු දෙමළ ජනයා සමග සාකච්ඡා කරන බව ජනාධිපති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම්ට පෙරොන්දු වීමත් අතර සම්බන්ධයක් තියෙනවා. දිනේෂ් ගුණවර්ධන විදේශ ඇමති ව සිටිය දී මේ එකක්වත් සිදු වූයේ නැහැ. මා මිත්ර ජී එල් පීරිස් සුද නෙළුමෙක්. තවලම් කාරයෙක්.

 

තිස් ගණන්වල සිට දෙමළ නායකයන් සමග සාකච්ඡා කර තිබෙනවා. එහි විකාශයක් ලෙසයි ප්රභාකරන් බිහි වුණෙ. අදත් මේ සාකච්ඡා ආරම්භ කරන්න යන්නේ තවත් ප්රභාකරන් කෙනකු බිහි කිරීමටයි. ඇමරිකන් රාජ්ය දෙපාර්තමේන්තුවට කියන්න නට්සිවරුන් සමග වහාම සාකච්ඡා අරඹන්න කියා. මහින්ද සමරසිංහට ඒ බව කියන්න පුළුවන් ද? ජී එල් ඒ බව කියාවි ද?

 

විදේශ ප්රතිපත්තියේ ඇති වෙන වෙනස්කම්වලට වග කිව යුත්තේ කවුද කියා මා දන්නේ නැහැ. එහෙත් මේ වෙනස්කම් නම් රටට කිසිසේත්ම හිතකර නැහැ කියන එක එතරම් වැඩකට ඇති කියමනක් නො වෙයි. මේ වෙනස්කම් රටට විශේෂයෙන් ම සිංහලයන්ට භයානක ප්රතිඵල අත්කර දේවි. මේ සියල්ල පිටුපස බෝන් අගේන් හස්තයක් ක්රියාත්මක වෙනවා ද?