අංගො හාමිගේ දුව ෆයිසර් අරගෙන ද?
එන්නත ගැන විවිධ මත පළවෙනවා. ඒ සෑම මතයක් ම යම් බටහිර මතයක පුනරුච්චාරණයක්. බටහිර ප්‍රධාන ධාරාවේ මතයට අමතර ව විවිධ මත පළවෙනවා. වඩා හරියන (හරි නොවෙයි) මතය කුමක් ද කියා දැන් ම කියන්න බැහැ.
එන්නත වඩා බලවත් ප්‍රභේද බිහිකිරීමට හේතු වෙනවා කියා ඇතැම් ප්‍රකට බටහිර විද්‍යාඥයන් ම පවසනවා. එය කෙතෙක් දුරට හරියන හිතළුවක් ද කියා මා දන්නේ නැහැ. මට අහන්න ඇති ප්‍රශ්නය අනෙක් එන්නත් මගිනුත් එසේ සිදුවනවා ද කියා. එසේ නම් එය එන්නත් පිළිබඳ සාධාරණ (පොදු යන තේරුමෙන්) නිරීක්‍ෂණයක් ද? එහෙම නැත්නම් එය කොවිඩ් 19 හා සම්බන්ධ එන්නත්වලට හරි එන්නත් සමහරකට හරි පමණක් බලපාන සුවිශේෂ දෙයක් ද? එය එසේ සුවිශේෂ නම් එයට හේතුව කුමක් ද?
මා මෙහි හේතු ඇහුවට ඒවා ඊනියා හේතු ද කියන එක ප්‍රශ්නයක්. පොල් වැටෙන්න හේතුව ගුරුත්වාකර්ෂණ බලය ද? එහෙත් ග්‍රහ වස්තු නිවුටන්ට අනුව ගමන් කරන්නේ නැහැ. හේතුව කියන්නේ හිතළුවක් පමණයි. එය යමකිසි නිරීක්‍ෂණ කුලකයකට හරියන කතන්දරයක්. මේ යම් ආකාරයක පොදු කතන්දර හැදීම තමයි බටහිර විද්‍යාවේ කෙරෙන්නේ.
බටහිර විද්‍යාවේ පියා ගැලීලියෝ කියා කියනවා. ඒ ඔහු ඊනියා පරයේෂණ හා විද්‍යාත්මක ක්‍රමය හඳුන්වා දුන් නිසා කියා කියනවා. එහෙම විද්‍යාත්මක ක්‍රමයක් කියා එකක් නැහැ. ලංකාවේ නම් සමහරු වැසිකිළියට යන්නෙත් ඊනියා විද්‍යාත්මක ක්‍රමයකට. එන්නත දීම ඇමති මණ්ඩල හැදීම, මහා බැංකු අධිපති පත් කිරීම ආදී සියල්ල විද්‍යාත්මක ක්‍රමයට කෙරෙන්න ඕනළු.
මා ඔය කියන විද්‍යාත්මක ක්‍රමය මොකක් ද කියා දැන් ටික දොහකට ඉස්සෙල්ලා ඇහුවා. ඒකට තවම පිළිතුරක් නැහැ. ගැලීලියෝ අමුතු පර්යේෂණ ක්‍රමයක් හඳුන්වා දුන්නේ නැහැ. මිනිසුන් අනාදිමත් කාලයක ඉඳන් පරයේෂණ කරනවා. නුපුරුදු හාලක් ගෙනා විට කොපමණ වතුර තියන්න ඕන ද කියල දැන ගන්නේ පරයේෂණයෙන්. එහෙම නැතුව හාල් මාෆියාවෙන් අහල නො වෙයි.
එහෙනම් ගැලීලියෝ මොකක් ද කෙරුවෙ. ඔහු තනි තනි සිද්ධිවලට කතා හදන්නෙ නැතිව සිද්ධි සමුහයකට කතා හදන්න ගත්තා. ඒ තමයි විද්‍යා කතන්දර ලිඳ ළඟ කතන්දරවලින් වෙනස වෙන තැන. ලිඳ ළඟ කතන්දර හදන්නෙ තනි තනි සිද්ධිවලට. නිරීක්‍ෂණය කරන්නෙත් තනි තනි සිද්ධි. අහවලා නැවක් අරගෙන. ඒක නිරීක්‍ෂණයක්. ඒකට කතාවක් හදනවා. ඔය බෙහෙත් ගෙන්නල ලබා ගත්ත කොමිස්. ඒක හිතළුවක්. එය හරියන්න පුළුවන්. ඒත් ඒකෙන් නැව් ගන්න අය සියලු දෙනා ම නැව් ගන්නෙ කොහොම ද කියා කියන්න බැහැ.
ගැලිලියෝ තම දුරේක්‍ෂය වංචා සහගත ව නමුත් පෙන්නලා පොළොවේ සිදුවන දේ හා අහසේ සිදුවන දේ එක ම ආකාරයේ කියා කිවුවා. එය පොදුකරණයක් නැත්නම් සාධාරණීකරණයක්. නිවුටන් එය වැඩි දුරටත් ගෙනියල පොළොවෙ වස්තුවලටයි අහසෙ වස්තුවලටයි බලපාන පොදු හිතළුවක් ගුරුත්වාකර්ෂණ නියමය නමින් ප්‍රකාශ කළා. ඒත් එය එහෙම ම නොවන බවත් ග්‍රහවස්තු පොළොවට පොල් (ඇපල්) වැටෙන ආකාරයෙන් ම චලනය නොවන බවත් පැහැදිලි වුණා.
අපට කියන්න පුළුවන් බටහිර විද්‍යාවෙ කතන්දර හදන්නෙ යම්කිසි සීමිත නිරීක්‍ෂණ කුලයකට සන්නිකර්ෂණ ව හරියන්න කිියා. බටහිර විද්‍යාවෙ කතා නිරීක්‍ෂණ කුලකයකට යම් ප්‍රමාණයකට හරි යනවා. ඒත් කුලකයෙන් පිට ගියා ම හරියන්නෙ නැහැ. ඔය කතා ලිඳ ළඟ කතාවලින් වෙන් වෙන්නෙ ඒ නිසයි. ලිඳ ළඟ කතා එක් සිද්ධියකට පමණක් සීමා වෙනවා. බටහිර විද්‍යාවෙ කතා සිද්ධි කිහිපයකට ළඟින් යන්න හරියනවා.
නිවුටන් ඊනියා සර්වත්‍ර නියමයක් (universal law) ලෙස ගුරුත්වාකර්ෂණ නියමය ඉදිරිපත් කළත් එය ග්‍රහවස්තුවලට හරි ගියේ නැහැ. එන්නත් කතා ඒ තරමටවත් පොදු නැහැ. ඒවා ලිඳ ළඟ කතා පමණයි. බටහිර විද්‍යාවේ ප්‍රධාන ධාරාවේත් එන්නත සම්බන්ධයෙන් ඇත්තේ ලිඳ ළඟ කතා. මෙරට බටහිර වෙද මහත්තුරු හා වෙද හාමිනේලා ඒවා පුනරුච්චාරණය කරනවා. දන්නවා ද වැඩක්. ෆයිසර් ළමයින්ට හොඳ නැහැ කියනව නොවැ. දන්නවද වැඩක් අංගො හාමිගේ දුව පැනලා ගිහිල්ල නොවැ. අංගො හාමිගේ දුව ෆයිසර් අරගෙන ද?
මෙරට ඉන්නෙ ලිඳ ළඟ කතා කාරයො. ඒකට ගැහැණු ද පිරිමි ද කියල භේදයක් නැහැ. හැමෝ් ම හදන්නෙ ලිඳ ළඟ කතා. ඔය මුහුණු පොතේ තියෙන්නෙ ලිඳ ළඟ කතා පමණයි. අපට ඔය කතා කීමේ කලාව පුරුදු වෙන්න ඇත්තෙ මාක්ස්වාදයෙන් කියල හිතෙනවා. මාක්ස් විද්‍යාත් නොවන ලිඳ ළඟත් නොවන කතාවක් කිවුවෙ. ඔහු හැම නිරීක්‍ෂණයකට ම එකම කතාවක් කී තැනැත්තා. මෙරට මාක්ස්වාදියොත් හැම එකට ම කියන්නෙ එක ම කතාව. ඒ කොයි හැටි වුණත් අපේ සමහරුන්ගෙ පුරුද්දක් තියෙනවා බටහිර ප්‍රධාන ධාරාවට විරුද්ධ මත ප්‍රචාරය කිරීමට. එන්නත සම්බන්ධයෙනුත එහෙමයි. අපට ඔය එක මතයකටවත් ප්‍රචාරයක් දෙන්න අවශ්‍ය නැහැ. මාක්ස්වාදයට ප්‍රචාරය දීල ඇණගත්ත එක ම මදැයි.
හෙට (සැප්තැම්බර් 15) ලිපිය පළවන්නේ නැහැ.