Main Logo

Monday 27 September 2021

පොදු ජන පෙරමුණ බණ්ඩාරනායක අත්හැරීම

 

පොදු ජන පෙරමුණ බණ්ඩාරනායක අත්හැරීම

 

සකර්බර්ග්ගේ මුහුුණක් නැති මුහුණු පොත අද දෝරේ යන එදා මාටින් ලූතර් පූජකතුමාගෙන් ඇරඹි බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ප්‍රජාතන්ත්‍රවාදයේ තවත් මුහුණුවරක් පමණයි. අද ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රජාතන්ත්‍රවාදය පාලනය කරන්න බැහැ. මුහුණු පොතේ යමක් පළ කරන්න අවශ්‍ය වන්නේ අකුරු කෙටීමට දැන ගැනීම පමණයි. කරුණු හොයා බලා විචාරශීලීව යමක් ලියන්න විවේකයක් බොහෝ අයට නැහැ. ඒ අය කාර්යබහුල පුද්ගලයන්.

 

පසුගිය දා පඬි නැට්ටියක් (සමහර විට ස්ත්‍රී නමකින් පෙනී ඉන්න පඬි නැට්ටකු වෙන්න පුළුවන්) කියා තිබුණා මා නොදන්නවාට ගණිතයේ අභ්‍යුහනය උගන්වනවා කියා. මා එය 1961-62 කාලයේ උසස් පෙළට ඉගෙන ගෙන තියෙනවා පමණක් නොව 1963 දී වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයෙහි උසස් පෙළට උගන්වාත් තිබෙනවා. ඒ මදිවට උසස් පෙළ ගණිත පරීක්‍ෂණ මණ්ඩලවල සේවය කරලත් තියෙනවා. ඇය තව දුරටත් කියා තිබුණා ගණිතයේ අතාත්වික සංඛ්‍යාත් තියෙන බව. ගණිත අභ්‍යුහනය යොදමින් යම් සූත්‍රයක් වැරදි බව පෙන්වීමට  කීම පුහු වැඩක් බවත් ඇය (හෝ ඔහු) කියා තිබුණා. 

 

තවත් පඬි නැට්ටකු කියා තිබුණා මා ශ්‍රී ල නි ප වාදියකු හා බණ්ඩාරනායක වාදියකු බව. තමා යම් විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයකු බව ද ඔහු සඳහන් කරනවා.  මා හිතන්නේ නැහැ ඊයේ (සැප් 26) ලිපියෙන්වත්  පඬි නැට්ටකුට හැරෙන්න වෙනත් අයකුට එවැනි නිගමනයකට ඒමට හැකි ය කියා. බණ්ඩාරනායක මහතාගේ ප්‍රතිපත්ති පරස්පර බවත් අදත් ඒ පරස්පරය මේ ආණ්ඩුවේත් දැකිය හැකි බවත් මා ලියා ඇති.

 

අද ජාතිකවදීන් අතිවිශාල බහුතරය ඉන්නේ පරස්පරයක. ඔවුන්ට ජාතිකත්වයත් ඕන. බටහිර ජීවන ක්‍රමයත් ඕන. බටහිර ජීවන ක්‍රමයෙහි තරගයක් තියෙනවා. අල්ලපු ගෙදරට වඩා හොඳ ගෙයක්, ඔවුන්ගේ කාරයට වඩා හොඳ කාරයක්, ළමයින්ට හොඳ අධ්‍යාපනයක් ආදිය අද බොහෝ දෙනකුගේ අභිලාෂ වෙලා තියෙනවා. ඒ අතර පන්සල් ගොස් අත්හරින්න කියන්නත් පුරුදු වෙනවා. ඒත් හාමුදුරුවරුන් අත්නොහරින විට ගිහියන් අත්හරින්නේ කොහොම ද? මුල් කාලීන අනුරාධපුරයේ සරල ප්‍රෞඪත්වය අපෙන් තුරන් වී අවුරුදු දෙදහකට කිට්ටු වෙනවා. සමාධි පිළිමය හා අවුකන පිළිමය සසඳන්න. කලාවැව නිර්මාණය කෙළෙ ඔයක් හරස් කරලා. ඒ එතෙක් වැව් බැඳි ක්‍රමය නො වෙයි. ඒත් දැන් ඒ අපේ වෙලා. බයිලාත් අපේ වෙන විට කලාවැව අපේ වීම මොකක් ද? ධාතුසේන රජු මෞර්ය වූයේ කෙසේ ද කියා හොයා බලල තියෙනවා ද?

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් සංවිධානයක් හරි පක්‍ෂයක් ලෙස හරි බණ්ඩාරනායක අත්හැරලා. ඒ අසපු කාරයන් බුද්ධාගම අත්හැරල වගේ. අසපු කාරයන් බුද්ධාගමේ වුණාට බුද්ධාගමේ නො වෙයි. පොදු ජන පෙරමුණ පොදු ජන වුණාට දැන් දැන් පොදු ජනයාගේ නොවන බවක් පේනවා. පොදු ජන පෙරමුණ ජනරජ දිනයවත් බණ්ඩාරනායක දිනයවත් සමරන්නේ නැහැ. මා කලින් කී අන්දමට ම පොදු ජනයාගේ ජාතිකත්වයේ පරස්පර තියෙනවා. පනස්හයේත් තිබුණා. ඒකට කරන්න දෙයක් නැහැ. අපට ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ලෝකයක.

 

පනස්හයේ පොදු ජනයාට අවශ්‍ය වුණෙ මූලික වශයෙන් ම පෘතුගීසි ලන්දේසි ඉංගිරිසි පාලන සමයන්හි නැති වී ගිය තම අයිතිවාසිකම් (සිංහල බෞද්ධ අයිතිවාසිකම්) දිනාගන්න. තවම ඒ අරගලය නිම වී නැහැ. ඒ අරගලයෙහි පරස්පර තියෙනවා. බණ්ඩාරනායක මහතාටත් ඒ පරස්පරවලින් මිදෙන්න බැරි වුණා.  මේ ආණ්ඩුවටත් ඒ පරස්පරවලින් මිදෙන්න බැහැ. අපි කෙදිනකවත් ගෝඨාභය රාජපක්‍ෂගෙන් සිංහල බෞද්ධ රාජ්‍යයක් බලාපොරොත්තු වුණේ නැහැ. බලාපොරොත්තු වන්නෙත් නැහැ. 

 

ශ්‍රි ල නි පක්‍ෂය බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් ද යම්  ජාතික දේශපාලනය නිරත වුණා. බටහිරයන් හා ඔවුන්ගේ මෙරට ගෝලබාලයන් ඒ ජාතික දේශපාලනය නතර කිරීමට චන්ද්‍රිකා මෙරටට ආනයනය කළා. ඒත් මෙරට ජාතිකවාදීන්ට චන්ද්‍රිකා ව්‍යාපෘතිය පරාජය කරන්න හැකි වුණා. ශ්‍රී ල නි පක්‍ෂයේ නායකත්ව සුදුසුකම් තිබූ ඇතැමුන් පක්‍ෂය අත්හැර ගොස් සිටි අවස්ථාවක මහින්ද රාජපක්‍ෂ පක්‍ෂ නායකත්වයට පත් වුණා. ඒ ඔහු ජනාධිපති වීමෙන් පසුව. එහෙත් අවාසනාවකට පක්‍ෂයෙන් තවත් අය අස්වී යන තැනට කටයුතු සිද්ධ වුණා. බටහිරයන් එයින් ප්‍රයෝජනය ගත්තා. මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයෙන් යෑමත් සමග ඊනියා යහපාලනයට පදනම වැටුණා.

 

මෛත්‍රිපාල, එස් බී පමණක් නොව සරත් ෆොන්සේකා ද 2015 වන විටත් සිටිය යුතුව තිබුණේ ශ්‍රී ල නි පක්‍ෂයේ. මෛත්‍රිපාල හා සරත් ෆොන්සේකා මහින්දගේ ප්‍රතිවාදී අපේක්‍ෂයන් වීමෙන් පෙන්නුම් කරන්නේ නරුම දේශපාලනයක්. බටහිරයන් කෙතරම් උපක්‍රමශීලීව මෙරට දේශපාලනය කළමනාකරණය කරනවා ද? එස් බී ට එතරම් ජාතිකත්වයක් නැහැ. ඔහු කොමියුනිස්ට් සම්භවයක් ඇති අයෙක්. එහෙත් ඔහුට ජවයක් තියෙනවා. ජී එල්ලා එල්ලී සිටිය යුතුව තිබුණේ එ ජා පයේ. ඒත් රනිල් එයට හරස් වෙන්න ඇති.

 

පොදුජන පෙරමුණ කියන්නෙත් ශ්‍රී ල නි පක්‍ෂය වගේ ම මහජනයා ගොඩනැගූ පක්‍ෂයක්. එහි ඇත්තේ පරස්පර මැද වුවත් නැති වී ගිය සිංහල බෞද්ධ අයිතිවාසිකම් දිනා ගැනීමට ඇති අවශ්‍යතාව. මෛත්‍රිපාල චන්ද්‍රිකාගේත් අවශ්‍යතාව පරිදි ශ්‍රී ල නි ප රැගෙන  යහපාලනයට (එ ජා ප සමග එකතුවකට) යෑම තදබල වරදක්. එය එක් අතකට බණ්ඩාරනායක මහතා 1951 එ ජා පයෙන් කැඩී ඒම ආපසු හැරවීමක්. එහෙත් මෛත්‍රිපාල එතැනට තල්ලු කිරීම ඊටත් වඩා වරදක්. මෛත්‍රිපාල දක්‍ෂ ශ්‍රී ල නි පක්‍ෂ ලේකම්වරයකු වූවා.

 

කිහිප දෙනක එකතු වී කළ වරද නිවැරදි කර ගැනීමට පෙරට පැමිණියේත් අර පොදු ජනයා. මහින්ද සුළඟ ඔවුන්ගේ නිර්මාණයක්. ශ්‍රී ලංකා පොදු ජන  පෙරමුණ එහි ප්‍රතිඵලයක් පමණයි. එය එක් පුද්ගලයකුගේ නිර්මාණයක් නො වෙයි. ගෝඨාභය රාජපක්‍ෂට ඡන්දය දුන්නේ ප්‍රධාන වශයෙන් පනස්හයේ දරුවන්. ඔවුන්ට මොන තරම් පරස්පර තිබුණත් බණ්ඩාරනායක මහතා  අත්හරින්න බැහැ. අද ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ බණ්ඩාරනායක නාමයත් අත් හැරලා. ඔහොම ගියොත් පනස්හයේ දරුවන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අත්හරින්න ඉඩ තියෙනවා.