Main Logo

Tuesday 15 November 2022

ථෙරවාදීන් දාර්ශනිකයන් නොවූයේ ඇයි?

 ථෙරවාදීන් දාර්ශනිකයන් නොවූයේ ඇයි?

 

ඊයේ ලිපියෙන් මා ප්‍රශ්නයක් මතු කළා. ථෙරවාදීන් අතරින් දාර්ශනිකයන් හමු නොවන්නේ ඇයි  ද යන්න. ඒ සඳහා කරුණු කිහිපයක් ද මා ඉදිරිපත් කළා. එහෙත් නිශ්චිත ව යමක් කීමට නොහැකි බව ද සඳහන් කළා. ඒ අතරට තවත් දෙයක් එකතු කරන්න පුළුවන්. ථෙරවාදීන් දර්ශනය දාර්ශනික කතා දෘශ්ටිවාද සියල්ල ප්‍රතික්‍ෂෙප කිරීම. කාලාම සූත්‍රයෙහි සඳහන් වන්නේ වෙනත් කරුණු අතර තර්කානුකුල වූ නිසාවත් න්‍යායානුකූල වූ නිසාවත් නොපිළිගත යුතු බවයි. තර්කයටත් ආරම්භයක් තියෙනවා. ඒ ආරම්භය තර්ක කරලා පෙන්නන්න පුළුවන් දෙයක් නො වෙයි. එය ස්වසිද්ධියක් ලෙස පිළිගන්නවා. එයට ඉංගිරිසියෙන් ඇක්සියම් කියනවා. ඇතැමුන් එය සිංහලට පරිවර්තනය කර තියෙනවා ප්‍රත්‍යක්‍ෂය කියා. එය මුළුමනින් ම වැරදියි.  

 

ප්‍රත්‍යක්‍ෂය යන්නෙහි තේරුම ඇස් ඉදිරිපිට කියන එකයි. අපේ ව්‍යවහාරය අනුව ඇස් පනාපිට කියන එක. ඔය ස්වසිද්ධි ඇස් පනාපිට පෙනෙන දේ නො වෙයි. ජ්‍යාමිතියේ ස්වසිද්ධි තියෙනවා. ඒවා ඇස් පනාපිට පේන දේ නො වෙයි. එහි ස්වසිද්ධි වෙනස් කළා ම වෙන වෙන ජ්‍යාමිති සංස්කරණය කරන්න පුළුවන්. ඇතැමුන් ලොකු කතා කියනවා දෘශ්ටිවාද ගැන. දෘශ්ටිවාද නැතුව ඊනියා යථාර්ථය තේරුම් ගන්න හදනවා. බටහිර විද්‍යාවත් දෘශ්ටිවාදයක්. දෘශ්ටිවාද නැති වන්නේ නිවීමේ දී. 

 

සමහර විට ථෙරවාදීන් හිතන්න ඇති තර්කයෙන් සිතීමෙන් පමණක් ලබා ගන්න පුළුවන් දැනුම මොකක් ද කියා. සිතීමෙන් පමණක් ප්‍රත්‍යක්‍ෂ දැනුමක් ලබා ගන්න බැගැ. දර්ශනය චිත්ත පරීක්‍ෂණ (thought experiments) කරන ක්‍ෂෙත්‍රයක් නො වෙයි. අනෙක් අතට මනසට ගෝචර වන තවත් දේ තියෙනවා. අභිඥා ගැන සඳහන් වෙනවා.

 

අද ලංකාවේ නම් දැනුම කියන්නේ බටහිර හාම්පුතුන් කියන දේට. බටහිරින් එන දැනුම තම තම නැණ පමණින් දැන ගෙන ඒ ප්‍රදර්ශනය කිරීම තමයි මෙරට ඊනියා දාර්ශනිකයන් විද්‍යාඥයන් සාහිත්‍ය කලා විචාරකයන් බුද්ධිමතුන් කරන්නේ.  දර්ශනයත් අනෙක් බටහිර දැනුම් මෙන් ම ප්‍රදර්ශනයක් පමණයි. එක් මහාචාර්යවරයකු කියා තිබෙනවා පේරාදෙණියේ දර්ශන අධ්‍යයනාංශය ප්‍රදර්ශන අධ්‍යයනාංශයක් කියා.

 

පහන් සිළුව ඇත්තේ තෙල් ආදිය ලැබෙන තුරු පමණයි. ඒ අදාල දේ නැති වූ විට පහන් සිළුව නැති වෙනවා. මා කියා සිටියේ ප්‍රත්‍යක්‍ෂයෙන් දකින්න පුළුවන් දේ. බුදුහාමුදුරුවන් දේශනා කර ඇත්තෙත් නිවීමත් ඒ වගේ කියා. තණ්හාව නැති කළ විට අප නිවෙනවා. එහෙමත් නැත්නම් මායාව ඉවරයි. මායාව තවත් තැනකට යන්නෙ නැහැ. පහන් සිළුව වෙනත් තැනකට යන්නෙ නැතුවාක් මෙන්. අප කියනවා ද පහන් සිළුව කොතැනකට හරි ගිහින් ඒත් අපේ ඉන්ද්‍රියවලට ගෝචර වන්නෙ නැහැ කියා. මහායානිකයන්ගෙ තර්කත් ඒ වගේ.

 

අනිත්‍යතාව කියා දෙයක් නැහැ. ඊනියා අනිත්‍යතාව එක් තැනක සිට තවත් තැනකට මාරුවෙන්නෙ නැහැ. ඊනියා අනිත්‍යතාව බටහිර විිද්‍යාවේ ශක්ති සංස්ථිතිය (conservation of energy) වගේ නියමයක් සපුරාලනවා ද?  සියලු සංස්කාර අනිත්‍යයි. එපමණයි. ඇතිවෙන දේ නැතිවෙනවා. ඊනියා පැවැත්මක් නැහැ. උත්පාද තිථි භංග පස්සෙ හදාගත් දෙයක්. තිථියක් ක්‍ෂණයකට හරි පවතිනවා නම් එහි ඇත්තේ ආත්මීයබවක්. ඊනියා ක්‍ෂණවාදය වැනි කතා අවශ්‍ය වන්නේ තිථියක් ගැන කියන විට. ථෙරවාදීන්ට එවැනි කතා අවශ්‍ය නැහැ. එහෙත් ඒ සමහර කතා ථෙරවාදයටත් රිංගා ගෙන තියෙනවා.

 

අපේ මේ උත්සාහය අප බටහිර දැනුම එක ම දැනුම, එහෙමත් නැත්නම් එහි ආධිපත්‍යය පිළිගන්නා තැනකට පත්වුණේ කෙසේ ද යන්නට කතන්දරයක් හැදීමයි. මා දාර්ශනිකයකුවත් විද්‍යාඥයකුවත් සාහිත්‍යධරයකුවත් කලා විචාරකයකුවත් බුද්ධිමතකුවත් නො වෙයි. මා දන්නා තරමින් මෙරට ඔය කිසිම අයකු අලතෙන් යමක් ගොතා නැහැ. ඔවුන් අළුතෙන් නම් යම් යම් දේ කරනවා. පඬි නැට්ටකු කියන්න පුළුවන් මා දර්ශනය දන්න තරම මෙයින් පැහැදිලි වෙනවා කියා. ප්‍රශ්නයක් නැහැ. මා දර්ශනයවත් විද්‍යාවවත් දන්නේ නැහැ.

 

විශ්වවිිද්‍යාල ආයතනය ඇති වූ කාලයේ ම පෙරදිග දැනුමට ලැබුණේ අර හරමානිස් තත්වය. එය ක්‍රමයෙන් වර්ධනය වුණා පමණක් නොව පෙරදිග දැනුම ද බටහිර අච්චුව තුළ ම උගන්නන්න පටන් ගත්තා. බුදුදහම පිළිබඳවත් ගිහි උගතුන් හාමුදුරුවරුන්ට ඉහළින්  තැබීමක් වුණා. හාමුදුරුවන් ද අර බටහිර අච්චුවට අනුගත වුණා. පෙරදිග දැනුම් ලබන අයට හීනමානයක් ඇති වෙන ආකාරයට කටයුතු කෙරුණා.

 

බටහිර දැනුම් ආධිපත්‍යය ඇත්තේ තාක්‍ෂණය නිසා මිස බටහිර විද්‍යාව නිසාවත් නො වෙයි. අප සියලු දෙනා ම බටහිර තාක්‍ෂණය යොදා ගන්නවා. බටහිර තාක්‍ෂණයක් වූ බටහිර වෛද්‍ය විද්‍යාව ද යොදා ගන්නවා. මෙරට පළමුවෙන්ම පිහිටුවන ලද නීති විද්‍යාලය, කාර්මික විද්‍යාලය හා වෛද්‍ය විද්‍යාලය විසින් ඇති කරන ලද බලපෑම අපට වෙන රටවලටත් වඩා තදින් දැනෙනවා.

 

අද පවා සිසුන් උත්සාහ දරන්නේ ඒ ක්‍ෂෙත්‍රවලට ඇතුල් වීමට. බටහිර විිද්‍යාව ඉගෙනීමටවත් සිසුන් අති විශාල බහුතරය ප්‍රමුඛතාව දෙන්නෙ නැහැ. විශ්වවිද්‍යාලවල විද්‍යා පීඨවලට ඇතුළත් වන්නේ වෛද්‍ය ඉංජිනේරු පීඨවලට ඇතුළත් වීමට නොහැකි වූ අය. ඔවුන්ට යම් ආකාරයක හීනමානයක් තියෙනවා. මා ඒ බව හොඳින් ම දන්නේ මාත් විද්‍යා පීඨවල ඉගෙනීම ලබා සේවය කර ඇති නිසා. පඬි නැට්ටකු කියන්න බැරි නැහැ මටත් තියෙන්නෙ හීනමානයක් කියා.

 

බටහිර විිද්‍යාව වියුක්තයි. ඒ වියුක්තය තරමකටවත් නැති අය තමයි බොහෝ විට ශාස්ත්‍ර පීඨවලට ඇතුල් වෙන්නෙ. ඇතැමුනට ශාස්ත්‍ර පීඨයකටවත් ඇතුල් වෙන්න බැහැ. ඔවුන් සමහර විට පිටරට ගොස් ඉගෙන ගන්නවා. එහෙමත් නැත්තන් කොල්ලැවෙන් ආ අය.  අද ලංකාවේ බුද්ධිමය ආධිපත්‍යය ඇත්තේ ඔවුන්ට. ඒ ඔවුන්ගේ දක්‍ෂකමකට නො වෙයි. බටහිර දැනුම් ආධිපත්‍යයට වැඩියෙන් ම යට වී ඇත්තේ ඔවුන් බැවින් ඔවුන්ට ඒ හිමි තැන ලැබෙනවා.