Main Logo

Friday 25 November 2022

ස්ටැලින් සාරි ගලවන්නේ කුමකට ද?

ස්ටැලින් සාරි ගලවන්නේ කුමකට ?

 

සිංහල බෞද්ධ සමාජයේ ප්‍රශ්න තියෙනවා. අපේ කුල භේදය එක් ප්‍රශ්නයක්. කුල ප්‍රශ්නය පොළොන්නරු කාලයේ සිට පවතිනවා. එය කුල භේදයක් බවට පත් කරන ලද්දේ නුවර යුගයේ දී. එහි දී ලන්දේසින් යම් වැඩ කොටසක් කර තියෙනවා. නායක්කාර් රජවරු හුදෙක් කීරවැල්ලේ පරපුරේ කුමරියන් නැති වීම නිසා ඇති වුවා කියා හිතන්න බැහැ. මෙරට ක්‍ෂත්‍රිය කුමාරිකාවක් හොයා ගැනීමට බැරි වෙන විධියට ක්‍ෂත්‍රියයන් නෑති වුණා ? පවුල්වල පිරිමි පමණක් ඉපදුණා ? මේ කරුණෙහි දී ලන්දේසින් විශාල කාර්යභාරයක් කර තියෙන්න ඕන. ඔවුන්ගෙ නැවුවලින් තමයි සිංහලයන්ට එකල මුුහුදු තරණය කරන්න තිබිලා තියෙන්නෙ. කලක් චීන වරායවල දකින්න පුළුවන් විශාල නැවු නිෂ්පාදනය කළ සිංහලයන් කෙතරම් පරිහාණියකට පත් තිබිණි ?

 

කුමක් වුවත් අද කුල භේදය ප්‍රශ්නයක්. ඉංගිරිසින් එය යොදා ගත්තා. මෙරට අද ගොවිගම කුලයේ අධිකාරියක් දකින්න පුළුවන්. නිසා ගොවිගම කුලයට කුලවැද්දුම් ලබාගත් ඊනියා ප්‍රභූන් ඉන්නවා. මෙය දීර්ඝ කතාවක්. මේ කුලභේදය නිසා අසාධාරණයට ලක්වන්නන් ඉන්නවා. මෙය ගොවිගම කුලයේ අධිකාරිය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නො වෙයි. ඇතැම්විට ශාස්ත්‍රීය කටයුතුවල දී එය දකින්න පුළුවන්. ඇතැම් කුලයකට ප්‍රධානත්වය ලැබුණු ශාස්ත්‍රීය ව්‍යාපාර අපට දැක ගන්න පුළුවන් වුණා. දේශපලන පක්‍ෂවල බිඳීම්වලට කුල භේදය හේතුවක් වුණා.

 

පැරණි වම කුලය මත පදනම් නූණත් වටා සිටි සමහරකු කුලය නිසා ආකර්ෂණය වූ අය. පැරණි වම පැතිරූණු ප්‍රදේශ බලන විට එය පැහැදිලි වෙනවා. කැගල්ල දිස්ත්‍රික්කය, බස්නාහිර මුහුදුබඩ පෙදෙස් තමයි පැරණි වම පැතුරුණු පෙදෙස්. රට ඇතුළට වෙන්න පැරණි වම පැතුරුණේ ඉතා අඩුවෙන්. මීගමුව කුඩා රෝමය ලෙස හඳුන්වා දී තිබියදීත් සමසමාජ පක්‍ෂයට කැමැත්තක් දැක්වූවා. වමේ නායකයන්ගේ නොතිබුණත් ඇතැම් වාමාංශික සහෝදරවරුන්ගේ ගොවිගම විරෝධයක් තිබුණා. මෙරටත් ඉන්දියාවෙත් කතෝලික ක්‍රිස්තියානි ආගම් පැතිරීමේදීත් කුලය යම් ප්‍රමාණයකට බලපා තියෙනවා.

 

වි පෙරමුණ සමග වමට  හා වමාලාට කුලය විශාල වශයෙන් බලපා තියෙනවා. මේ කුල භේදය ඇතැම් විට සිංහල බෞද්ධ විරෝධයක් දක්වා විකාශය වී තියෙනවා. හැටේ දශකයත් සමග, ඇතැම් සිංහලයන් අතර ඇතිවන සිංහල බෞද්ධ විරෝධය බොහෝ විට සිංහල බෞද්ධ ගොවිගම විරෝධයක්. අද ඇතැමුන් ධනපති ක්‍රමය ලෙස අවිඥානික දකින්නේ සිංහල බෞද්ධ ගොවිගම අධිකාරියයි. ඔවුන් විප්ලවය කරන්න හදන්නේ සිංහල බෞද්ධත්වයට පහර ගැසීමෙන්. පරගලය ආරම්භයේ සිට සිංහල බෞද්ධ ගොවිගම විරෝධී ව්‍යාපාරයක් වුණා. සිංහල නොවන්නන් එයට පක්‍ෂ වුණා. සිංහල බෞද්ධ නොවන්නන් එයට එකතු වුණා. අවසාන වශයෙන් ගොවිගම නොවන්නන් එයට එකතු වුණා. ඔවුන් පිටුපස බටහිරයන් සිටියා.

 

ඉන් කියැවෙන්නේ පරගලයේ අනුගාමිකයන් සියලු දෙනා සිංහල බෞද්ධ ගොවිගම විරෝධී වීමවත් සියලු සිංහල බෞද්ධ ගොවිගම නොවන්නන් පරගලයට එකතු වූ බවවත් නො වෙයි. සමස්තයක් ලෙස ගත්කල දේශීය පරගල නායකත්වයේ සිංහල බෞද්ධ ගොවිගම විරෝධයක් දකින්න පුළුවන්. එයත් එක්තරා ආකාරයකට හීනමානය නිසා ඇති වුවක්. හීනමානය ඉතා භයානක ලෙස සමාජයේ පැතිර ගිහින්. හීනමානය බටහිර දිහා බැලීමෙන් බටහිර මිනුම් දඬු යොදා ගැනීමෙන් ඇති වන්නක්. බොහෝ දෙනා හිතන්නේ බටහිර කුල භේදයක් නැහැ කියා. එහෙත් තමන් අතිදක්‍ෂයකු නො වේ නම් ඔය සිංහල බෞද්ධ ගොවිගම නොවන්නට පමණක් නොව සිංහල දෙමළ කොයි කාටත් බටහිර රටවල ඉහළට යන එක ප්‍රශ්නයක්. මා සඳහන් කරන්නේ විද්‍යාඥයකු වීමේ ප්‍රශ්නය ගැන නො වෙයි. එය වෙන ප්‍රශ්නයක්.

 

බටහිරයන් මේ සිංහල බෞද්ධ විරෝධීන් යෙදා ගන්නවා තම අරමුණු ඉටු කර ගැනීමට. බටහිර අධ්‍යාපනය නිසා අද ඇතැමුනට ශාස්ත්‍රීය අංශවල යම් ඉහළ තැනකට ඒමට හැකි වී තියෙනවා. එය නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක්. අප බොහෝ දෙනකුට එය ලැබී තිබෙනවා. එහෙත් අප කිසිවකු බටහිර දැනුමේ සංස්කාරකයන් නො වෙයි. අප බටහිර දැනුමේ ප්‍රචාරකයන් පමණයි. අපට බටහිර දැනුමේ සංකල්පයක් කතාවක් (ඊනියා ප්‍රවාදයක්) සංස්කරණය කර ගන්න බැහැ. අපට විචාරශීලී බවක් නැහැ. අප විචාරශීලි කියන්නේ බටහිර පැත්තේ සිට අපේ සමාජය විවේචනය කිරීමට. බටහිරයන්ට අවශ්‍යත් එයයි. ඊනියා උගතුන් දන්නෙත් එපමණයි.

 

අද කතාකරන සාරි ප්‍රශ්නය ගන්න. මහා ප්‍රාඥ මානව හිතවාදී පහසු ඇඳුම්වාදී ජොසප් ස්ටැලින්ට පුළුවන් මුස්ලිම් ගුරුවරියන් සිසුවියන් අඳින ඇඳුම ගලවන්න. යාපනයේ ගුරුවරියන්ගේ සාරි ගලවන්න. අද කියනවා සම්ප්‍රදාය රකින්න ඕනෑ නැහැ කියා. සම්ප්‍රදාය කියන්නෙ නිත්‍ය දෙයක් නො වෙයි. සම්ප්‍රදාය වෙනස් වෙනවා. ඒත් එය වෙනස්විය යුත්තේ අපට ඕනෑ විධියට මිස බටහිරට ඕනෑ විධියට නො වෙයි. සාරිය අනුරාධපුර යුගයේ තිබුණේ නැහැ. ඒක නිසා සාරිය ප්‍රතික්‍ෂෙප කරනවා නම් කලිසම ප්‍රතික්‍ෂෙප කරන්න ඕන.

 

මා සාරි පිළිබඳ විශේෂඥයකු නො වෙයි. මා දන්නේ නැහැ ඔසරිය අපට ලැබුණේ කොහෙන් කොහොම කියා. එය නායක්කාර්වරුන් සමග දකුණු  ඉන්දියාවෙන් ලැබුණා යැයි කියමු. එහෙත් එය අපට අනන්‍ය  ඔසරිය කර ගැනීමට අපේ කතුන්ට පුළුවන් කම තිබී තියෙනවා. එය එහෙම වුණා නම් ඉන් කියැවෙන්නේ මෙරට කතුන්ගේ නිර්මාණශීලිභාවය.  ඔසරියෙන් අපේ අනන්‍යතාව පෙන්නුම් කෙරෙනවා. පඬි නැට්ටකුට අහන්න පුළුවන් අනන්‍යතාව කන්න කියා. නැහැ අනන්‍යතාවක් ගැන අදහසක් නැතුව නිර්මාණයක් බිහිවන්නෙ නැහැ. පඬි නැට්ටන් හදන්නේ තම අනුකාරකත්වය සඳහා අනන්‍යතාව කන්නයි.

 

ඔසරිය පිළිබඳ මට අත්දැකීම් දෙකක් තියෙනවා. මා ඔසරිය ඇඳලා නැහැ. අප අප්‍රිකානු රටක සිටිය දී සිංහලයන් පිරිසක් අප සිංහල බව හඳුනාගෙන ඇත්තේ මගේ භාර්යාව ඇඳ සිටි ඔසරියෙන්. සාරියක් ඇඳ සිටියා නම් අප ඉන්දිය ලෙස හඳුනාගන්න ඉඩ තිබුණා. පහසු ඇඳුමක් ඇඳ සිටියා නම් කෙසේ හඳුනා ගනීවි කියා මා දන්නේ නැහැ. පඬි නැට්ටකු අහවි හඳුනා ගැනීම අවශ්‍ය කියා. හඳුනා ගැනීම කොයි එකටත් හොඳයි. මා කියන්නේ හඳුුන්නෙත්ති ගැනීම ගැන නො වෙයි. එකල මට පඬි නැට්ටන් ප්‍රශ්න ඇසීමට නැගිටින විට හඳුනා ගැනීමට හැකි වුණා. සමග අසන්න යන ප්‍රශ්නය ගැන මට අවබෝධයක් ලැබුණා. 

 

අප මියන්මාහි සිටිය දී දකුණු ආසියාතික තානපතිවරුන් සඳහා එහි සිටි ඉන්දීය තානාපති රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැත්තුවා. මගේ භාර්යාව එයට සහභාගි වුණේ ඔසරියකින් සැරසී. අඩු තරමින් අපට අප ඉන්දියාවෙන් ස්වාධීන බවවත් පෙන්වන්න පුළුවන් වුණා. ඉන්දිය බංග්ලාදේශ නේපාල තානාපතිවරුන්ගේ භාර්යාවන් සැරසී සිටියේ සාරියෙන්. ඔසරියේ පිහිටෙන් විජයගෙන් කාලිංගයෙන් හා වංගයෙන් ස්වාධීන වූ ඉතිහාසයක් අපට ඇති බවට අනෙක් තානාපතිවරුන්ට පැවසීමට මට හැකි වුණා. ඉන්දීය තානාපති මා සමග මිත්‍ර වුණා. ඔහු උත්තර් ප්‍රදේශයේ හින්දි කතාකරන්නෙක්. ඔහුගේ භාර්යාව හයිද්‍රබාද්හි තෙළිඟු කතා කරන්නියක්. අපේ අවසන් රජවරු තෙළිඟු කතා කළ අය බව මා ඔවුන්ට පැවසුවා.  

 

අපේ අනන්‍යතාව නැති කිරීමට ස්ටැලින්ට පමණක් නොව සෙසු වමාලාටත් ඔවුන් සමග සහෝදරත්වයෙන් බැඳි රනිල්ටත් අවශ්‍යයි. රනිල් පාර්ලිමේන්තුවේ සෙප්පන් හා වමාලා ගැන කියන කතා එතරම් බැරෑරුම් නැතුවා පමණක් නොවෙයි. හුදෙක් ඔහුගේ මතු අවශ්‍යතාවට. රනිල්ට බලය බෙදීම සඳහා විවිධ වර්ගවල වමාලා අවශ්‍ය වෙනවා. රනිල් බලයට පත් කෙරුණේ වමාලාත් විසින්. රනිල් පරගලයේ දරුවා, බටහිරයන්ගේ නියෝජිතයා.

 

අද රනිල්ටත් ස්ටැලින්ටත් අවශ්‍ය සිංහල අනන්‍යතාව නැති කරන්න. අපට අලුත් දේ තනන්න අපේ අනන්‍යතාව ගැන හැඟීමක් තියෙන්න ඕන. අද අපට අනන්‍යතාව ගැන හැඟීමක් නැහැ. ඔය වැරදි පරම්පරාවට (wrong generation) වැරදිලා ඇත්තේත් අනන්‍යතාව ගැන හැඟීම දුර්වල කර ඇති බැවින්. ස්ටැලින් හදන්නෙ ගුරුවරියන් මගින් දරුවන්ගෙන් අනන්‍යතා හැඟීම නැත්තට නැති කිරීමට.