Main Logo

Monday 7 November 2022

විවෘත ලංකාව හා සංවෘත බුරුමය

 විවෘත ලංකාව හා සංවෘත බුරුමය

 

අද මෙරට ඇත්තේ බටහිරයන් විසින් අප මත පටවන ලද ආකල්ප රැගත් පිරිසකගේ සංස්කෘතික නායකත්වයක්. එය ගම්වලට පැතිර ගොස් නැති වුවත් නගරවල ඒ නායකත්වය දකින්න පුළුවන්. ඔවුන් දියුණුව යන්නෙන් අදහස් කරන්නේ බටහිර සමාජය අත්කර ගෙන ඇති තත්වයයි, සමාජ ක්‍රමයයි. ලෝකයේ බොහෝ රටවල්වල බටහිර සංස්කෘතික ආධිපත්‍යය ඇති බැවින් ඒ රටවල්වලට ද අවශ්‍ය වන්නේ බටහිර සමාජ ක්‍රමය අත්කර ගැනීමටයි.

 

අද ඇතැමුන් කතා කරන දේඅහගෙන ඉන්න විට හිතෙන්නේ ඔවුන් මොන තරම් ප්‍රබුද්ධ ද කියා. ඔවුන් දියුණු රටවල මෙහෙමයි, ඒ රටවල රාත්‍රිය පටන් ගන්නේ අහවල් වෙලාවට, අපි ඒ වෙලාවට නිදි ආදී වශයෙන් කියන ප්‍රබුද්ධ කතා අපට ඇහෙනවා. රාත්‍රිය එළඹෙන්නේ නැගිට සිටීමට නොව නිදා ගැනීමට බව ඔවුන්ට වැටහෙන්නේ නැහැ. අද බටහිර රටවල ඇත්තේ රෑ තිස්සේ නැගිට ගෙන සිටීම වැනි ස්චභාව ධර්මයට පටහැණි ක්‍රියා. බටහිර රටවල් එන්න එන්න ස්වභාව ධර්මයෙන් ඈත් වෙනවා. ඒ රටවල ස්වභාව ධර්මය සමග ජීවත්වන්නේ බුද්ධියක් නැතැයි කියන තිරසනුන්. මෙහි දී බුද්ධිය යනු කුමක් ද යන ප්‍රශ්නය අහන්න සිදු වෙනවා. අපේ පැරැන්නන් අනුගමනය කළ ස්වභාව ධර්මය සමග සහජීවනය වත්මන් ඊනියා නූතනත්වය දන්නේ නැහැ. ස්වභාව ධර්මය සමග පැවැත්විය යුතු ගතික සමතුලිතතාව (dynamic equilibrium)  ගැන නූතනත්වයේ කියැවෙන්නේ නැහැ.

 

අද ඇත්තේ ස්වභාව ධර්මය සූරා කෑමක්. මාක්ස්වාදයේ ශ්‍රමය සූරාකෑමක් ගැන කියැවෙනවා. එහෙත් ස්වභාව ධර්මය සූරා කෑම නොසලකා හැර තියෙනවා. අද වන විට ස්වභාව ධර්මය මිනිසාට ආපසු පහර දීම අරඹලා. දේශගුණික විපර්යාස, අර කවුරුත් දන්නා ගෝලීය උෂ්ණත්වය වැඩි වීම ඇරඹිලා. බටහිරයන් හිතන්නේ බටහිර විද්‍යාවට මේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු ඇත කියායි. එහෙත් බටහිර විද්‍යාව කියන්නෙත් මිනිසුන් විසින් සංස්කරණය කෙරී ඇති තවත් එක් දැනුම් පද්ධතියක් පමණයි. එහි ඇත්තෙත් තාවකාලික ව යම් සන්දර්භයක් තුළ වැඩ කරන කතන්දර ටිකක් පමණයි. සංදර්භය වෙනස් වුණු විට කතන්දර වැඩ කරන්නේ නැහැ.

 

මා දැනට අවුරුදු හතළිහකට පමණ පෙර මෙරට ඊනියා ආර්ථික විද්‍යාඥයකුගෙන් ඇහුවා ලෝකයේ රටවල ණය එකතු කළ විට ශුන්‍යය නොවී සෘණ අගයක් ලැබෙන්නේ ඈයි ද කියා. ඔහුට එයට පිළිතුරක් තිබුණේ නැහැ. අප රට වෙනත් රටවලට ණයයි. ඒ ණය ගෙවා ගැනීමට නොහැකිව අප දහඅතේ දුවනවා. ඉන් තවත් ණය වැඩි වෙනවා. අනෙක් රටවලුත් ණයයි. ස්වභාව ධර්මයට ණයයි. අප ජීවත් වන්නේ අපේ මුණුබුරන් ස්වභාව ධර්මයට ණය කිරීමෙන්. උද්ධමනය හා ස්වභාව ධර්මය සූරාකෑම අතර සම්බන්ධයක් තියෙනවා ද?  මා මෙරට පඬියන්ගෙන් ඒ ප්‍රශ්නයට පිළිතුරක් බලාපොරොත්තු වන්නේ නැහැ.

 

ලංකාව හැටියට ගත්තත් අප පහුගිය කාලයේ ධර්මයෙන් ඈත් වුණා.   ලෝකයේ පන්සිල් රැකීමක් ගැන කියැවෙන්නේ නැහැ. ස්වභාව ධර්මය ඇත්තේ මිනිසුන් වෙනුවෙන් නො වෙයි. අද මිනිසුන්ගේ පැවැත්ම සඳහා සත්ව ජීවිත විනාශ කරනවා. ඊනියා ජෛවීය පරීක්‍ෂණ සඳහා කොතරම් සත්ව ජීවිත දිනකට විනාශ කරනවා ද? අධිපරිභෝජනය සඳහා ගහ කොළ සත්වයන් සහ සම්පත් විනාශ කරනවා ද?  අද දියුණුව ලෙස සලකන්නේ වැඩි වැඩියෙන් ශක්ති පරිභෝජනය.

 

මෙරට මධ්‍යම පංතිය හා ඔවුන් අනුකරණය කරන ඊටත් පහළ ආදායමක් ඇති අය උත්සාහ කළේ කරන්නේ අර බටහිර ඊනියා දියුණුව ඔවුන්ගේ නිෂ්පාදනයක් නැතිච අත්කර ගන්න. එය මුළුමනින් ම අසාර්ථක වෙලා. ජාමුලෙ ගිහින්  ණය සොච්චමක් ලබා ගත්තා කියා අපට ගොඩ ඒමක් නැහැ. ඒ කොන්දේසි ඊට හපන්.

 

මා කලින් පළ කළ ලිපියට පඬි නැට්ටන් විවිධ ප්‍රතිචාර දක්වා තිබුණා. මා මියන්මා ගැන සඳහන් කෙළේ අත්දැකීමෙන්. එරට බටහිරයන් සුචී වැන්නන් යොදාගෙන බටහිර ආධිපත්‍යය පතුරවන්න සූදානම් වෙනවා. අප දන්නේ බටහිරයන් අපට කියා දෙන දේ පමණයි. රුසියන් විදේශ  ඇමතිවරයා අර සාකච්ඡාවේ දී බීබීසි වාර්තාකරුට පච ප්‍රචාර ගැන කියනවා. පඬි නැට්ටා කියා තිබුණා මියන්මා දේශය ලෝකයට වහලා කියලා. ඒක එහෙමයි කියමු. අප ලෝකයට විවෘත කරලා. අපට මියන්මා දේශයෙන් සගල් ටොන් දහදාහක් ණයට නොව නිකම් ලැබුණා. අපේ විවෘතභාවය හා මියන්මාහි සංවෘතභාවය එබඳුයි. පඬි නැට්ටන් දන්නේ බටහිරයන් කියන දේ පුනරුච්චාරණය කරන්න පමණයි. අපට කිසිම බටහිර රටක් ආධාර ලෙස කිසිවක් දී තියෙනවා ද? සංවෘත බුරුමයට අභිමානයක් තියෙනවා. විවෘත ලංකාවට ඇත්තේ හීනමානයක්.

 

ආර්ථික අර්බුදයත් සමග මධ්‍යම පංතියට හා පහළ මධ්‍යම පංතියට තම ජීවන රටාව පවත්වා ගෙන යෑමේ ප්‍රශ්න මතු වුණා. ඒත් ටිකක් ඉහළ මධ්‍යම පංතියට එය දැනිලා නැහැ. තවමත් ප්‍රධාන හෝටල්වල රාත්‍රි කාලයේ දී ඔවුන් දැක ගන්න පුළුවන්. මේ මධ්‍යම පංතිය බටහිර අධ්‍යාපනයෙන් බිගි වූ ජනී ජනයාගෙන් සමන්විත වෙනවා. රූපවාහිනී නාළිකා ඔවුන් තව තවත් ආකල්පමය වශයෙන් බටහිරට යවලා. කෙටියෙන් කියනවා නම් ඒ මධ්‍යම පංතිය බටහිරයන්ගේ නිර්මාණයක්. බටහිරයන් රාජපක්‍ෂලාත් එමගින් සිංහල බෞද්ධ සංස්කෘතියත් ඇත් කරන්න  තම අවජාතක පංතිය යොදා ගත්තා.  මේ අවජාතක පංතියේ ඊනියා විද්‍යාත්මක රුචිය අපි හෙට කතා කරමු. ඒ එක් අයකුවත් සාධාරණ සපේක්‍ෂතාවාදයේ හා ක්වොන්ටම් භෞතිකයේ ප්‍රශ්න දන්නවා කියා මා හිතන්නේ නැහැ. මා නම් ඔවුන් මෙන් විිද්‍යාඥයකුවත් බුද්ධිමතකුවත් නො වෙයි.