Main Logo

Friday 4 November 2022

හැඳින්වීමක් පමණයි

 හැඳින්වීමක් පමණයි

 

මෙම පිටුවේ අමුණා ඇති මැයි 13 වැනි දා හා අගෝස්තු 5 වැනි දා මා ලියූ ලිපි නැවත කියෙවුවොත් අද පවත්නා තත්වයට පසුබිම හා අපට දේශීයත්වයෙන් නැත්නම් ජාතිකත්වයෙන් තොර මගක් නැති බව වැටහෙන්න ඕන. එහෙත් දේශීයත්වය තියා ඊයේ මා ලියූ ලිපියවත් ඇතැම් පඬි නැට්ටන්ට තේරුම් ගන්න බැරි වෙලා. රාජකීය විදුහලට එකල දෙමළ සිසුන් 25%ක් ඇතුළත් කර ගත්තේ ඊනියා දක්‍ෂතාවක් පදනම් කරගෙන නොවෙයි. එමෙන් ම බරගර් හා මුස්ලිම් සිසුන් 25%ක් ඇතුළත් කර ගත්තේත් දක්‍ෂතාවක් පදනම් කරගෙන නො වෙයි. ඒ ප්‍රතිශත එලෙස පවත්වාගෙන ගියේ සිංහල සිසුන්ට අසාධාරණයක් කරමින්. එය වෙනස් කළ යුතුව තිබූ බවයි මා සඳහන් කෙළේ. එයට පඬි නැට්ටන්ගේ මානව හිතවාදය ඇවිස්සිලා. ඔවුන් කියා තිබුණා ජන අනුපාතය අනුව නොව දක්‍ෂතාව මත සිසුන් ඇතුළත් කර ගත යුතු ය කියා. පඬි නැට්ටන්ට මානව හිතවාදය දක්‍ෂතා නිර්ණායක ආදිය මතක් වෙන්නෙ සිංහල සිසුන්ට වන අසාධාරණයක් නැති කිරීම ගැන කතා කළ විට. රාජකීය විදුහලට එකල සිසුන් ඇතුළත් කෙළේ ම ජන අනුපාතයක් අනුව. එහෙත් ඒ ජන අනුපාතය රටේ ජන අනුපාතය සමග සැසඳුනේ නැහැ.

 

ජාතික චින්තනය යන වචන ගුණදාස අමරසේකර යොදා ගත්තේ දැනට අවුරුදු තිස් හයකට පමණ පෙර දිවයිනට ලියූ ලිපියකින්. ඔහුට කලින් හරිශ්චන්ද්‍ර විජේතුංග කුලියාපිටියේ ප්‍රනන්ද ආදීන් ඒ වචන යොදා ගෙන තිබුණා. එමෙන් ම ජී අයි ඩී ධර්මසේකරත් ඒ වචන නැති වුවත් එවැනි අදහස් කියා තිබුණා. මා මගේ ලෝකයෙහි සඳහන් කෙළේ චින්තනය යන සංකල්පය. මා ජාතික චින්තනය යනුවෙන් අදහස් කෙළේ ජාතියේ චින්තනය යන්නයි. මේ කතා දෙක අතර වෙනසක් තිබුණා. එහෙත් කොළඹ විශ්වවිිද්‍යාලයේ හිටි පඬි නැට්ටන්ට තේරුණේ වෙනත් ම දෙයක්. ඔවුන් කිවුවේ අප ආපසු අනුරාධපුරයට බරකරත්තයෙන් යන බවක්. එකල එහි ශාස්ත්‍ර පීඨයේ බිත්තියක එය ඉතා විශාල අකුරෙන් ලියා තිබුණා. ඒ ඔවුන් ජාතික චින්තනය තේරුම් ගත් ආකාරය.

 

අද කියා වෙනසක් නැහැ. ඉහත සඳහන් එක් ලිපියක තියෙනවා අද තියෙන්නෙ ජාතික ආණ්ඩුවක් කියා. පඬි නැට්ටන්ට සංදර්භය නම් තේරෙන්නෙ ම නැහැ. එහි ජාතික ආණ්ඩුවක් කියා තියෙන්නෙ පොහොට්ටුවේ හා එ ජා පක්‍ෂයේ ආණ්ඩුවකට මිස ජාතිකත්වයේ ආණ්ඩුවකට නො වෙයි. ලිපිය කියවන විට එය පැහැදිලි වෙන්න ඕන. ඒත් දැන ගත යුත්තේ තම තම නැණ පමණින් කියා පොරණ පඬිවරුන් කියා තිබෙනවා. පඬි නැට්ටන්ගේ නැණ පමණ මේ හැම දෙයින් ම පැහැදිලි වෙනවා. වත්මන් ව්‍යවස්ථාවේ ජාතික ආණ්ඩුවක් යන්න පැහැදිලි ව නිර්වචනය වෙනවා. පක්‍ෂ දෙකක හෝ වැඩි ගණනක ආණ්ඩුවක් ජාතික ආණ්ඩුවක්. අද ඒ බව නිල වශයෙන් ප්‍රකාශ නොවීම පමණයි තියෙන්නෙ. ඒ ආණ්ඩුව මැයි මාසෙ අපේ ආණ්ඩුවක්. එහි ප්‍රධානියා වූයේ ගෝඨාභය. ඔහුට යම් ජාතිකත්වයක් තිබුණා. අද ඇත්තෙත් පක්‍ෂ දෙකක ජාතික ආණ්ඩුවක්. ඒත් එය අපේ ආණ්ඩුවක් නො වෙයි. අද ආණ්ඩුවේ ප්‍රධානියා බටහිර ගැත්තෙක්.

 

අපි මේ කතාව පසුව තරමක් විස්තරාත්මක ව කියමු. රනිල්ගේ කාර්යභාරය අවසන් බව මා කියා ඇත්තේ අගෝස්තුවේ. එයටත් පෙර ගෝඨාභය ජනාධිපති ව සිටිය දී මා කියා සිටියේ රනිල් අගමැති කමෙන් හා මුදල් ඇමති කමෙන් අස් කරන්න කියලා. එහෙම අස් කළා නම් ගෝඨාභය රනිල් කළාක් මෙන් පරගලය පරාජය කළා නම් ගෝඨාභය අදටත් ජනාධිපති. ඇතැමුන් කියනවා ගෝඨාභය පසු කලෙක පවුල කියන විධියට වැඩ කළා කියා. මා එය පිළිගන්නේ නැහැ. ඔහු වැඩ කෙළේ වෙනත් පදනමක ඉඳිමින්. ඔහුට අවශ්‍ය වුණේ බටහිරයන් හමුවේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදියකු වීමට.

 

පරගලය පටන් ගත්තේ බටහිරයන්ගේ අවශ්‍යතාවට. එයට තිබුණේ  එක අරමුණයි. ඒ සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි තැන නැති කිරීමත් යම් ආකාරයක ජාතිකත්වයක් ඇතිව බටහිරයන්ගේ හා ඉන්දියාවේ අනුග්‍රහෙන් ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වුණු  දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය නන්දිකඩාල් කලපුවේ පරාජය කිරීම පිළිබඳ පලිය ගන්නත් ඒ සඳහා මහින්ද හා ගෝඨාභය ඉවත් කිරීමත් රනිල් බලයට පත් කිරීමත්. අප මේ කරුණු කියන්නේ අද ඊයේ නො වෙයි.

 

මා ඒ සියල්ල විස්තර කරන්නම්. අප රනිල් පිළිගත්තේ ඉතිහාසයේ එක් අවස්ථාවක එක් සංදර්භයක. පරගලය පරාජය කරන්න. ගෝඨාභය රැකගන්න. ඒ අවස්ථාව පසු වූ විගස අප ඔහු අයින් කිරීමට යෝජනා කළා. අප රනිල් බලයට පත් කිරීම සඳහා වූ පරගලයට මුල් දවසේ සිට ම විරුද්ධ වුණා. පඬි නැට්ටන් පරගලයට සහාය දැක්වීමෙන්  දැන හෝ නොදැන හෝ රනිල් බලයට පත් කිරීමට වක්‍ර ව හරි කටයුතු කර තියෙනවා. අද රනිල් ඔවුන්ගේ ඊනියා න්‍යාය මත ක්‍රියාත්මක කෙරුණු එහෙත් ඔවුන් නැතුව ගිය පෙළපාලිය වැඩි දුරක් යෑමට පෙර නතර කරල බලවත් වෙලා.

 

ගෝඨාභය පවුලේ කීමට කටයුතු නොකළ බව පැහැදිලි වන්නේ පරගලය සම්බන්ධයෙන් ඔහු ක්‍රියා කළ ආකාරයෙන්. පවුලේ අයට පරගලය ලත් තැන ම ලොප් කිරීමට අවශ්‍ය වූ බවයි මගේ වැටගීම. එහෙත් ගෝඨාභය එය කෙළේ නැහැ. මා හිතන්නේ ගෝඨාභය හා පවුල අතර ඒ සම්බන්ධයෙන් විරසකයක් ඇති වූ බවයි. පරගලය පරාජය කිරීම ඉතා පහසු බව රනිල් පසුව පෙන්නුවා. ඔහු තව තවත් උද්ඝෝෂණ පෙළපාලි පරාජය කරාවි. බටහිරයන් හා ඉන්දියාව ඔහුට මානව ධර්ම උගන්වන්න එන එකක් නැහැ. ඔවුන් ඔහුට වීසා දෙන්න බැහැ කියන එකකුත් නැහැ. කොහොමටත් ඔහුට චාල්ස්ගෙ මෞලි මංගල්ලෙට යන්නත් තියෙනවා. ඒත් ඉන්දියාව ගෝඨාභය ජනාධිපති ව ඉන්දැද්දී ඔහුට විසා දුන්නෙ නැහැ. මෝදිලත් නේරුලත් ගාන්ධිලත් බුදදහමට සලකන විධිය බිහාර් ප්‍රාන්තයට ගියාම දැකගන්න පුළුවන්.බ්‍රාහ්මණ ආධිපත්‍යයක් තියෙන රටක් අපට සලකන්නේ නැහැ. 

 

මෙය හැඳින්වීමක් පමණයි. අපි හෙට සිට මුල ඉඳන් කතා කරමු. මට මතක හැටියට ගුණදාස අමරසේකර පරාක්‍රම කොඩිතුවක්කු කවියාගේ ආරාධනයෙන් රත්නපුරේ නගර ශාලාවේ දී ජාතික චින්තනයක් ගැන කතා කෙළේ 1986 නොවැම්බරයේ. රැස්වීමේ අනෙක් කථිකයා වූයේ මා. මට මතක හැටියට මා කතා කෙළේ බටහිර විද්‍යාව හා සංස්කෘතිය ගැන. ඒ කතන්දර දෙකක්.