Main Logo

Monday 21 November 2022

ප්‍රතිචීන සරණං ගච්ඡාමි

ප්‍රතිචීන සරණං ගච්ඡාමි

 

ලෝක පාපන්දු ශූරතා තරගාවලිය ඇරඹිලා. ලංකාව නැහැ. ඒත් එංගලන්තය (එක්සත් රාජධානිය ලෙස නොවේ) එක්සත් ජනපද ඉන්නවා. අප අනෙක් අයගේ පාපන්දුව ? කොහොම වුණත් බටහිර රටවල පාපන්දු ජනප්‍රියයි. අප බටහිර රටවල් අනුකරණය නොකරන්නේ ඇයි? අපේ අදීනත්වය නිසා ? අපට එහි දී පමණක් අදීනත්වයක් තියෙන්න පුළුවන් ? අද ගම්වලටත් ක්‍රිකට් ගිහින්. ක්‍රිකට් බෝන් අගේන්ට යටවෙලා ටිකක් කල්. එහි නියම ස්වරූපය එළියට ඇවිත්. හැංගි හෑංගි වෙස් බැන්දත් එළියෙ නටන්න වෙනවා. ක්‍රිකට් ආයතනයට බෝන් අගේන් පළවා හරින්න පුළුවන් ?

 

මේ කතාව සෙල්ලමක් නො වෙයි. අප පාසල් ගිය අවධියේ පාපන්දු කණ්ඩායම් ප්‍රභූ පාසල්වල තිබුණේ නැහැ. දැන් තියෙනවා දන්නේ නැහැ. තිබුණත් නැතත් ක්‍රිකට් තමයි අපේ ජාතික ක්‍රීඩාව. මෙය මෙරට හීනමානයෙන් පිරි පරපුරක් බිහිවීමේ කතාවේ කොටසක්. අප හීනමානයක් ඇති පිරිසක් බවට පත් කරනු ලැබුයේ මුලින් අධ්‍යාපනය විසින්. විශේෂයෙන් මිෂනාරි අධ්‍යාපනය විසින්. ඉංගිරිසි මෙතෝදිස්ත මිෂනාරින් 1814 දී ගාල්ලෙ රිච්මන්ඩ් විද්‍යාලය ආරම්භ කිරීමත් සමග ලන්දේසීන් පවත්වා ගෙන ගිය ලංකාවේ කුල පාසල් ක්‍රමය නෑති කර පාසල් කුල ඇති කෙරුණා. රනිල් බොහොම අගය කරන මිෂනාරි අධ්‍යාපනය ඉන් පසු මඩකලපුවට හා යාපනයට ව්‍යාප්ත වුණා.

 

කල් යෑමේ දී මේ පාසල්වලට පුළුවන්කම ලැබුණා අපේ දැනුම පහතට දමා ඉංගිරිසි දැනුම අප මත පටවන්නත් අගය කරවීමටත්. ඉංගිරිසි සිරිත් විරිත් සංස්කෘතිය අපට පැටෙව්වා. ශාන්ත තෝමස් විදුහලේ තමයි ක්‍රිකට් පටන් අරන් තියෙන්නෙ. 1880 දි රාජකීය ශාන්ත තෝමස් ක්‍රිකට් තරගය ඇරඹුණා. එය ලෝකයේ දෙවැනි පැරණි පාසල් ක්‍රිකට් තරගය හා අඛණ්ඩ පවත්වා ගෙන යන ලෝකයේ පැරණි පාසල් ක්‍රිකට්  තරගය. කොහොමටත් අද ලංකාවේ මහා ක්‍රිකට් තරගයක් නැති පාසලක් නැති තරම්. කවුරු කවුරුත් රාජකීය විදුහල ශක්ති ප්‍රමාණයෙන් අනුකරණය කරනවා. බොහෝ කලකට පෙර පාපන්දු තිබී ඇති නමුත් එය සාමාන්‍ය ජනතාව අතර ජනප්‍රිය වීම නිසා දෝ අත්හැර දමා තියෙනවා. එංගලන්තයේ ජනප්‍රිය පාපන්දු ලංකාවේ අත්හැර දමනු ලැබුයේ කුල ක්‍රමයක් ආරම්භ කරමින්.

 

පාසල්වල ඉංගිරිසි දැනුම ඉංගිරිසි සංස්කෘතිය ඉගැන්වූ අතර සිංහල බෞද්ධ දැනුම නොසලකා හැරියා. පාසල්වලින් පිට බුදුදහමට අපහාස කළා. ඉංගිරිසි ආර්ථිකයෙන් ධනවත් වී සිටි කිහිප දෙනකු එයට විරුද්ධව භික්‍ෂූන් වහන්සේගේ නායකත්වයෙන් නැගී හිටියා. එහෙත් ඔවුන්ට පැහැදිලි දැක්මක් තිබුණෙ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස පංච මහා වාදවලින් පසුව ලංකාවට පැමිණි ඕල්කට්තුමා තම විසංවාදී දැක්ම අප මත පැටවීමට සමත් වුණා. ඔහු බෞද්ධ නොවන ඊනියා පරම විඥානාර්ථයක් අපට දුන්නා. ඔහු අනුකරණය කෙළෙ ඇමරිකන් සංස්කෘතිය. බෞද්ධ පුනර්ජීවනයේ නායකත්වය අතට ගත් ඕල්කට්තුමා බෞද්ධ පුනර්ජීවනය පීලි පැන්නෙවුවා.

 

සිංහල බෞද්ධයන් තව තවත් අනුකරණයට යොමු වුණා. අප අපේ වූ අධ්‍යාපනයක් සකස් කරනු වෙනුවට ජාතික චින්තන අධ්‍යාපනයක් සකස් කර ගත්තා. එකල ජාතික චින්තනය යන ව්‍යවහාරය තිබුණේ නැහැ. ජාතික චින්තනයෙන් කෙරෙන්නේ ජාතික ආලේපයක් ගෑම පමණයි. හරියට ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ පාරට පේන්න බිත්තිවල බෞද්ධ කොඩිය (ඕල්කට්තුමාගේ ප්‍රධානත්වයෙන් සකස් වුණු) ආලේප කර තියෙනවා වගේ. අපට බෞද්ධ පුනර්ජීවනයේ ප්‍රතිඵලයක් ලෙස අපේ අධ්‍යාපනයක් සකස් කර ගන්න පුළුවන් වුණා නම් අද අප මේ අර්බුදයේ ගිලෙන්නෙ නැහැ.

 

කණගාටුවෙන් වුණත් කියන්න තියෙන්නෙ අප කෙළේ රාජකීය විදුහලට බෞද්ධකම ආලේප කළ පාසල් කිහිපයක් ඇති කිරීම පමණයි. ඉංගිරිසින් හා ඔවුන්ගෙ හෙංචයියන් බෞද්ධ පාසල් අර  පාසල් කුල ක්‍රමයේ තුන්වැනි තැනට දැම්මා. එදා සිට තවත් හීනමානයක් අපට ඇති වුණා. මා මේ පාසල් කුඩා කල ඉඳලම දන්නවා.  බෞද්ධ පාසල් උත්සාහ කෙළේ රාජකීය විදුහල අනුකරණය කරන්න.

 

පාසල්වල බුදුදහම තාරකික කරන්නත් ඉගැන්නුව. අපට අවශ්‍ය වුණෙ බුදුදහම බටහිරයන්ට පිළිගන්න පුළුවන් විධියට ඉදිරිපත් කරන්න. 1921 විශ්වවිිද්‍යාල ආයතනය පටන් ගැනීමෙන් පසුව බොහෝ දෙනා කෙළේ එයයි. බුදුදහම විද්‍යාත්මක බව කීමට තාර්කික බව කීමට අප පෙළඹෙන්නේ අපේ හීනමානය නිසයි. කාලාම සූත්‍රය නොදන්න නිසයි. කාලාම සූත්‍රයේ තාර්කික වූ නිසා පමණක් න්‍යායානුකූල වූ නිසා පමණක් පිළිගන්න එපා කියන අතර විඤ්ඤූන් කියන දේට සවන් දෙන්නත් කියනවා.

 

අපට විඤඤූන් කවුද කියා දැන ගන්න බැරි වුණා. අපේ විඤ්ඤූන් වෙන කිසිවකු නොවෙයි භික්‍ෂූන් වහන්සේ. අද ඇතැම් පඬි නැට්ටන්  හරියට පළමු වතාවට වගේ කියනවා බුදුදහමේ පරලොවට පමණක් නොව මෙලොවටත් වැඩ වෙන ආකාරයට දේශනා කර තියෙනවා කියා. බුදුහාමුදුරුවන් කාලාම සූත්‍රය දේශනා කෙළෙත් පරලොවට පමණක් නොවෙයි. අපේ ව්‍යවහාරයේත් තියෙන්නෙ එලොවටත් මෙලොවටත් වැඩක් ඇති දේ. අපේ විඤ්ඤූන් අපට කියා දුන්නෙ එලොවටත් මෙලොවටත් වැඩක් ඇති දේ.

 

එහෙත් ඕල්කට්තුමා භික්‍ෂූන් වහන්සේ නායකත්වයෙන් ඉවතට දැමීමත් ජාතික චින්තන අධ්‍යාපනයක් සකස් කිරීමත් බටහිර අධ්‍යාපනයට යට වීමත් සමග අපට විඤ්ඤූන් වූයේ බටහිරින් පැමිණ ඉගැන්වූ සුදු මහත්තුරු හා ක්‍රිස්තියානි පූජකවරු. අපට ලබා දුන් හීනමානයත් සමග අප භික්‍ෂූන් වහන්සේ ක්‍රමයෙන් බණට පාංශුකූලයට සීමා කළා. අපට ලෞකික දැනුම ඉංගිරිසින්ගෙන් ලැබුණා. භික්‍ෂූන් වහන්සේ ලෞකික දැනුමෙන් ඈත් කර පරලොවට සීමා කළා. අප එක් පැත්තකින් බුදුදහම පරලොවට තල්ලු කරල අනෙක් පැත්තෙන් බුදුදහම බටහිරයන්ට සුදුසු ආකාරයට වෙනස් කළා. බටහිරයන්ට කිවුවත් බටහිර උගතුන්ට. බෞද්ධ පාසල්වල තාර්කික විද්‍යාත්මක බුදුදහමක් ඉගැන්නුව. මට විශ්වවිද්‍යාලයෙ දී හමු වූ එවැනි පාසල්වල ඉගෙන ගත් අය තාර්කික විද්‍යාත්මක බුදුදහමක් කියා දෙන්න හැදුව.

 

රාජකීය විදුහලේ දී එහි සිංහලට බුදුදහමට තැනක් දෙන්නෙ නැති බවට විදුහල්පතිතුමාට පෙත්සමකින් කරූණු ඉදිරිපත් කර පාසලින් අස් කිරීමේ තර්ජනයකට මුහුණ දී විශ්වවිද්‍යාලයට පැමිණි මට මෙය තරමක ගැටළුවක් වුණා. ඒත් මට එදා එය තේරුණේ නැහැ බුදුදහම තාර්කික විද්‍යාත්මක කිරීමේ ප්‍රශ්නය. එදා මාත් විද්‍යාඥයකු වීමට පෙරූම් පිරූ අයෙක්.

 

අපට හරි හමන් අධ්‍යාපන ක්‍රමයක් සකස් කර ගන්න පුළුවන් වුණා නම් අප බුදුන්වහන්සෙ දේශනා කළ ආර්ථික කරුණු හා පැරණි සිංහලයන් අනුගමනය කළ ආර්ථික දර්ශනය පිළිපැද්දා (මතක තබා ගන්න දර්ශනය) නම් අපට මෙවැනි ආර්ථික අර්බුදයක ගිලෙන්න වෙන්නෙ නැහැ. ඉංගිරිසින් පාසල් හා විශ්වවිද්‍යාල මගින් අපට ලබා දුන් හීනමානය නිසා අපට බුදුහාමුදුරුවන් පේන්නෙ නැහැ. අපට ඉන්නෙ බටහිර විඤ්ඤුන්. අප බුද්ධං සරණං ගච්ඡාමි කියන්නෙ නමට. අප  කියන්නෙ ප්‍රතිචීන සරණං ගච්ඡාමි.