Main Logo

Monday 13 February 2023

මාලිමාව කැරකෙන දිශාව

 මාලිමාව කැරකෙන දිශාව

 

සිංහල බෞද්ධ විරෝධීන් මාලිමාව වටා කැරකෙන්නේ ඇයි යනුවෙන් ප්‍රශ්න කරන්නේ සිංහල බෞද්ධ විරෝධී වමාලාගෙන් ජෙප්පන්ගෙන් පඬි නැට්ටන්ගෙන් (මේ උපකුලක තුන අන්‍යොන්‍ය වශයෙන් බහිෂ්කාර වෙන්නෙ නැහැ. උපකුලක එකිනෙක ඡෙදනය කරනවා. අයට තේරෙන්න සිංහලෙන් කියනව නම් සමහරු ගොඩවල් එකකට වැඩි ගාණක,  දෙකක හරි තුනේ හරි ඉන්නවා.) පිළිතුරු බලාපොරොත්තුවෙන් නො වෙයි. ඒත් ඇතැමුන් තමන් සිංහල බෞද්ධ විරෝධී බව පිළිගනිමින් තම ගිණුම්වල විවිධ කතා ලියා තියෙනවා. සුපුරුදු පරිදි ප්‍රතිචාරවලට විවෘත කරන්න කියනවා. හරියට ප්‍රතිචාරවලට විවෘත කරාම පිළිතුරු දෙනව වගේ. දන්නෙ සැත්කම ගැන කියන්නයි. ඇමරිකාවෙ පදිංචි කියල අහන්නයි. රාජපක්‍ෂලාට කඩේ ගිය බව කියන්නයි.

 

සිංහල ජාතිකවාදීන් අසු ගණන්වල අග හරියෙ පමණ ඉඳන් දෙමළ ජාතිවාදය ඉන්දු ලංකා ගිවිසුම පළාත් සභා ආදිය ගැන ඉන්නෙ එක ස්ථාවරයක. ජෙප්පන් එහෙම නො වෙයි. අසූ ගණන්වල අග හරියෙ ජෙප්පන් හිටියෙ ජාතිකවාදීන් සමග. ගුණදාස අමරසේකර ඊනියා උගත් ගැමි තරුණයන් ගැන, ගණඳුරු මැදියම දකිනෙමි අරුණළු ආදිය ලිවුවෙ ජෙප්පන් ගැන යම් බලාපොරොත්තුවකින්. ඔය ප්‍රශ්නය උඩ වික්ටර් අයිවන්, රාජිත සේනාරත්න වගේ අය ඉංගිරිිසින්ගෙ අනුග්‍රහයෙන් එංගලන්තෙ හිටපු චන්ද්‍රිකා ගෙන්වා ගත්තෙ ජේ ආර්ටත් බැරි වෙච්ච පළාත් සභා මුළුමනින් ක්‍රියාත්මක කරල ෆෙඩරල් නැත්නම් සන්ධීය රාජ්‍යයක් ඇති කරන්න.

 

ජාතිකවාදීන් චන්ද්‍රිකා අනතුර කල් තබා දැක්කා. ඇය ඉන්දු බටහිර දේශපාලනයේ එක් අතක් පමණයි. ජේ ආර්ට විරුද්ධ තිබූ ජනමතය ගසා කෑම තමයි සිංහල බෞද්ධ විරෝධීන්ගෙ උපක්‍රමය වුණේ. බොහෝ දෙනා එයට රැවටුණා. සිංහලයන් රවටන එක එතරම් ප්‍රශ්නයක් නො වෙයි. අර ගෙරිහමටත් රැවටුණෙ අපි නොවැ. ජාතිකවාදීන් චන්ද්‍රිකාට විරුද්ධ වුණා. ඇයට විරුද්ධ පෙ 1994 මැතිවරණයෙ දි වෙන තරග කළා. මාත් ධර්මසේකරත් පෙ ලැයිස්තුවෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග කළා. අප සියල්ලන් පැරදුණා. දිනේෂ් ගුණවර්වධනත් පරාදයි.

 

එත් ජාතිකවාදීන් චන්ද්‍රිකා පරාජය කළා. ඇයට පළාත් සභා ගැන කිසි දෙයක් කරන්න බැරි වුණා. 2005 දි ජාතිකවාදීන් මහින්දට ආධාර කළා. එකල ජෙප්පන් හිටියෙ  මහින්දත් එක්ක. ජාතිකවාදීන්ට අවශ්‍ය වුණෙ කොටි පරදවන්න. කොටි කියන්නෙ බටහිරයන් හා ඉන්දියාව ආධාර කළ ඔවුන් විසින් පුම්බනු ලැබූ නිවටයන් පිරිසක් බව අප දැන හිටියා. ඊනියා යුද විශේෂඥයන් නම් කිවුවෙ  ප්‍රභාකරන් පරාජය කළ නොහැකි නැපෝලියන් බොනපාට් ගණයේ රණවිරුවකු බව.

 

2005 දි මහින්ද ජයග්‍රහණය කළා. එහෙත් ඔහුට තිබුණෙ වැනෙන සුළු ප්‍රතිපත්තියක්. ජාතිකවාදීන්ට පුළුවන්කම තිබුණා මහින්ද ජාතිකත්වයට තල්ලු කර ඔහුගේ දේශපාලන නායකත්වය යටතේ කොටි පරාජය කරන්න. ජාතිකවාදීන් ලබා ඇති විශාල ජයග්‍රහණය එයයි.  එහි දී රාජපක්‍ෂලා අතරින් ජාතිකත්වයක් තිබූ එහෙත් සාටකය නොපැළඳි ගෝඨාභය මෙන් සරත් ෆොන්සේකා මහඟු කාර්යයක් ඉටු කළා. එහෙත් රාජපක්‍ෂලා සරත් ෆොන්සේකාට තැනක් දීම ප්‍රතික්‍ෂෙප කළා. ඔහු එයට ප්‍රතිචාර දැක්වූයේ ජා පක්‍ෂයට ගිහින්. 2010 දි මහින්ද ජයග්‍රහණය කළා. එහෙත් මහේන්ද්‍ර පුත්රයන් හා බැසිල් රාජපක්‍ෂ ඇතැම් ශ්‍රී නි පාක්‍ෂිකයන්ට සැලකිල්ලක් දැක්වූයේ නැහැ. එහි ප්‍රතිඵලය වුණේ මෛත්‍රිපාල සිරිසේන පිරිසක් සමග යහපාලනයට එක් වීම.

 

2015 මහින්ද පරාජය වුණා. මෛත්‍රිපාල ජනාධිපති වුණා. එහෙත් ජාතිකවදීන්ට පුළුවන් වුණා දින පනස්දෙකේ ආණ්ඩුව පිහිටුවන්න. බටහිරයන් තමන් මහත් වුවමනාවෙන් පිහිටුවා ගත් යහපාලනය වැටීම ගැන සතුටු වුණේ නැහැ. වන විට ජෙප්පන් ජාතිකත්වය සමග තිබූ ඇයි හොඳයිකම්වලින් ඉවත් වෙලා. ජෙප්පන් වැඩ කෙළේ යහපාලනය වෙනුවෙන්. රනිල්දාස රනිල් වෙනුවෙන් තමයි. දින පනස්දෙකේ ආණ්ඩූුව වැට්ටවීමට යටත්විජිත පාර්ලිමේන්තුවේ මීටර් සීයේ වාර්තාව බිඳ හෙලුවා. බටහිර තානාපතියන් පාර්ලිමේන්තුවේ ප්‍රීති ඝෝෂා පැවැත්තුවා.

 

2019 දි ජාතිකවාදීන් රාජපක්‍ෂලා අතරින් ජාතිකත්වයක් තිබූ ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක බව පත් කර ගත්තෙ පවුලෙ විරුද්ධතාව මැද. 2019 ගෝඨාභය දිනුවා ඡන්ද හැටනව ලක්‍ෂයක් අරගෙන. ඔහුට හරහට ආවෙ කොවිඩ්. අවුරුදු හැත්තෑවක් පමණ ණයට කාපු එකේ ණය ගෙවන්න සිදු වුණෙ ඔහුට.  සිංහල බෞද්ධ විරෝධී ඉන්දු බටහිර දේශපාලනය විසින් පරගලයක් ඔස්සේ ඔහු ඉවත් කෙරුණා. පරගලය සම්පූර්ණයෙන් සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරයක්. බටහිරයන්ට ඕන වුණේ නන්දිකඩාල් පරාජයෙ පලිය ගන්න.  ජෙප්පන් හිටියෙ පරගලය සමග. පරගලය රනිල් බලයට පත් කිරීම සඳහා කරන ලද සැලසුමක්.

 

රනිල් ගෙනාවෙ ආර්ථික අර්බුදය විසඳීමේ මුවාවෙන්. එහෙත් එය යටින් තිබුණෙ දෙමළ ජාතිවාදයෙ වුවමනාවන් ඉටු කර ගැනීම. ජාතිකවදීන්ට අද පුළුවන් වෙලා තියෙනවා මහා සංඝ රත්නයේ නායකත්වයෙන් ගිහි නායකයකු නැතුව ඉන්දු බටහිර දේශපාලනය පරදවන්න. රනිල්ට දහතුන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න බැහැ. ඒත් ඉන්දු බටහිර දේශපාලනය අවසන් වෙලා නැහැ.

 

අද වන විට ජෙප්පන් සම්පූර්ණයෙන් ජාතිකත්වය අත්හැරලා. ඊනියා ජාතික ජන බලවේගය පිහිටුවා ඇත්තේ එය සනිටුහන් කරමින්. අද එහි නායකයන් නාගරික මැද පාංතිකයන්. අනුරත් තඹුත්තේගම වුණත් ඉන්නෙ ගොඩේ, නැහැ මඩේ. අද සිංහල බෞද්ධ විරෝධීන්ගේ එක බලාපොරොත්තුව මාලිමාව. මාලිමාවට අද සිංහල බෞද්ධ ජාතිකත්වයක් ගෑවිලාවත් නැහැ. සිංහල බෞද්ධ විරෝධීන් මාලිමාව වටේ කැරකෙන්නේ නිසයි. ඔවුන් අද ණයට කෑම හොරකමක් පිට දාල ජනමතය ගසා කාල මාලිමාවට හේත්තු කරන්න හදනවා,

 

අනුර යන්නෙ කොයි පාරේ? ජේ ආර් ලොක්ක ගිය පාරේ චන්ද්‍රි අක්ක ගිය පාරේ රනිල් අයිය යන පාරේ.