Main Logo

Tuesday 28 February 2023

වැල්ල සිඹින රැල්ල අපට මෙහෙම කියනවා ලලයි ලිලයි ලයි.....

 වැල්ල සිඹින රැල්ල අපට මෙහෙම කියනවා ලලයි ලිලයි ලයි.....

 

පහුගිය දා රනිල්දාසගේ නායකත්වයෙන් ජෙප්පන් කෙරුවෙ අරගලයක් නො වෙයි. මා කියන්නෙ නැහැ ඒක රනිල් කරවපු එකක් කියලා. ඒත් මට තාම දැනගන්න බැරි වුණා තිර රචනය කාගෙ කියල. රූගත කිරීම පෞද්ගලිකකරණයට ලක් වෙලා. කියන්නෙ කිහිප දෙනකු වැඩේ කරලා. නිල රූගත කිරීම කාගෙ කියල දන්නෙ නැහැ. ඒක ආණ්ඩුවේ කියල මා කියන්නෙ නැහැ. කවද හරි ඒක බලන්න පුළුවන් වුණොත් හොඳයි කියල හිතෙනවා.

 

ඒක අරගලයකට පෙරහුරුවක් වෙන්නත් බැහැ. ඒක ඉතා සාමකාමී උද්ඝෝෂණයක් ( එහෙම කියමූ). පොලීසිය බව දන්නවා. ඒක නෙ කාවක්වත් අත්අඩංගුවට ගත්තෙ නැත්තෙ. මා සහභාගි වෙලා තියෙන උද්ඝෝෂණවල දී කාව හරි අත්අඩංගුවට ගත්තා.  ඔය වාසු සහෝදරයා කී සැරයක් අත්අඩංගුවට පත් වෙන්න ඇත් ? ඒව හරි ප්‍රචණ්ඩ වෙන්න ඇති. පෙරේදා වගේ සාමකාමී වෙන්න බැහැ.

 

ඒත් මට තේරෙන්නෙ නැත්තෙ මේ සාමකාමි උද්ඝෝෂණයට කඳුළු ගෑස් වතුර විද්දෙ මොක ද කියලා. සමහර විට අර ගෝඨාභය සකස් කරල දුන්න ගෝල්පීස් කිට්ටුව උද්ඝෝෂණය නොකරපු හින්ද දන්නෙ නැහැ. පොලීසියෙන් ඇහුවට උත්තර දෙන්නෙත් නැහැ. මදිවට පොලීසිය ගහලා. එක් අයකු මිය ගිහින්. අප ගැන සංවේගය පළ කරනවා හැරෙන්න මොනවා කරන්න ? ඔහු ගැන මතකය ඔහුගෙ පවුලෙ උදවියට විතරයි. අනෙක් අය දවස් කිහිපයක් කතා කරල අමතක කරාවි.

 

උද්ඝෝෂණයෙ ප්‍රතිඵලය කුමක් ? පළාත් පාලන ආයතන ඡන්දෙ තියෙනවා ? පළාත් පාලන ඡන්දෙ මිනිසුන්ට හරි ජනතාවට හරි අවශ්‍ය නැද්ද? කෝ ජනතාවත් ආවෙ නැහැ නෙ. එතන බිරියානි වටලප්පම් තිබුණෙ නැද්ද? පූජකවරු ජිටියෙ නැද්ද? දේශපාලන පක්‍ෂෙක උද්ඝෝෂණයක් නිසා අය සහභාගි වුණෙ නැද්ද? ඇත්තට කවුරු හරි න්‍යායාචාර්යවරයකුට මතක් වුණෙ නැද්ද නිර්පාක්‍ෂික උද්ඝෝෂණයක් කරන්න කියන්න.

 

ඒත් ඉතින් අර නිර්පාක්‍ෂිකයො දැන් එක එක වේදිකාවල. දමිතා සජිත්ගෙ වේදිකවෙ. අර රූපවාහිනී  වීරයා දනිෂ් අලි රතුකුරුසෙ එනකම් බලන් ඉඳලා එන්නෙ නැති නිසා චන්ද්‍රිකාගෙ වේදිකාවට ගිහින්. ඒක වෙල්ගමගෙත් පක්‍ෂ වේදිකාව. වෙල්ගම එක්ක සංධානගත වුණු චම්පක වේදිකාවට යන්නෙ නැතුව ඇති. ගියා නම් දනිෂ් අලිට දනිස් ගෙවෙනකම් අලි උපදේශ ගන්න තිබුණ. මා කියන්නෙ නැහැ අලි මදිවට හරක් කියල.

 

මොනව වුණත් අර රැල්ල දැන් ඉවරයි. වඩදිය නොවෙයි දැන් බාදිය. කොහොම ද රැල්ලක් ඔය තරම් ඉක්මනට ඉවර වුණෙ. න්‍යාායාචාර්යවරුන්ට පූඵවන් සමීක්‍ෂණයක් කරල සකර්බර්ග්ට ලියන්න. සකර්බර්ග් සේවකයන් අස්කරන්නෙ මොකද කියල අහන්න එපා

වැල්ල සිඹින රැල්ල අපට මෙහෙම කියනවා 

අදට වඩා එලිය හඳක් හෙට පායනවා 

දෙතුන් දහාක බදු ගැහැවුවත් සෝක නෑ හිතේ 

විනෝද මිහිරක් ගෙන දෙයි ජවිපෙ ජීවිතේ 

ලලයි ලිලයි ලයි.....

 

ඔය රැල්ල වි පෙට ඇති වුණු රැල්ලක් නෙවෙයි. ඒක සෘණ රැල්ලක්. කියන්නෙ අනෙක් පක්‍ෂවලට විරුද්ධ ඇති වුණු රැල්ලක්. දැන් ඉතින් රැල්ල වි පෙටත් විරුද්ධයි. ජෙප්පන් නැත්තන් සෙප්පන් කිවුවලු.

 

රනිල්දාස නම් අපට කියන්නෙ ජා කියන්නෙ පෙරමුණක් කියලා. පෙරමුණේ මලික් සමරවික්‍රම ඉන්නවා කියලා මා අහන්නෙ නැහැ. ඒත් ප්‍රශ්නයක් නැහැ. දිනන තුරු ටිල්වින් සහෝදරයා වි පෙත් එක්ක.

 

පෙරේදා උද්ඝෝෂණයෙන්  පස්සෙ රනිල් ස්ථාවර වුණා. දැන් ඉතින් ඡන්ද ඉල්ලලා පෙළපාලි යන්න ඉන්නෙ සෙප්පන් තමයි. ජා බලවේගයට හරි වි පෙට හරි පෙරේදාට වඩා බලවත් උද්ඝෝෂණ කරන්න බැහැ. රනිල්දාස තම ඓතිහාසික කාර්යභාරය සාර්ථක ඉටු කරල. මහන්සි නිවා ගන්න පොලීසියෙ ආරක්‍ෂාව යටතේ කඩේකට ගිහින්. එතන සරුවත් වීදුරුවක්වත් හම්බ වෙන්න ඇති කියා හිතනවා.

 

න්‍යායාචාර්යයන්ට දැන් සෙප්පනට න්‍යාය සපයන්න පුළුවන්. ඒත් එතන වෙනත් න්‍යායාචාර්යයන් ඉන්නවා. එවිට න්‍යාය පොරයක් ඇති වෙන්න පුළුවන්. රනිල් බලන් ඉන්නෙත් සෙප්පන් වීදි බසින තුරු. ජෙප්පන් අත්අඩංගුවට ගන්නෙ නැති වුණාට පොලීසිය සෙප්පන් අත්අඩංගුවට ගන්නවා. අර පාර්ලිමේන්තුව වටලන්න ගිය හඳුන්නෙත්ති පොලීසිය හඳුන ගත්තෙ නැහැ. සෙප්පන් පාරට බැස්සොත් ලේ විලක් වෙන්න පුළුවන් විතරක් නොවෙයි රනිල් 2029 වෙනකම් ජනාධිපති වෙලා ඉඳීවි.