Main Logo

Thursday 2 February 2023

රනිල් පාර්ලිමේන්තුව හා ඉන්දු බටහිර දේශපාලනය

රනිල් පාර්ලිමේන්තුව හා ඉන්දු බටහිර දේශපාලනය

 

අද රටේ ප්‍රධාන ප්‍රශ්නය ලෙස දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය මතු වී ඇතත් එයටත් වඩා වැදගත් වඩා මූලික ප්‍රශ්නය මෙරට ක්‍රියාත්මක වන ඉන්දු බටහිර දේශපාලනයයි. ඔවුන්ගේ අවශ්‍යතාව ලංකාව සෙසු ලෝකයෙන් ඈත්කර දෙමළ ජාතිවාදය උපයෝගි කරගෙන අප ඉන්දියාවේ අණසක යටතේ ඇති තවත් භූතානයක් බවට පත් කිරීමයි. ඔවුන් ගෝඨාභය ඉවත් කර රනිල් පත්කර ගත්තේත් සඳහායි. තමන් ගෝඨාභය ඉවත් කෙළේ යැයි පම්පෝරි කියවන පරගලකාරයන් රනිල් ඉවත් කරන්නේ නැත්තේ බැරි කමට ? එසේත් නැත්නම් ඔවුන් රනිල්ගේ වැඩ අනුමත කරන නිසා ?

 

රනිල් බලයට පත්වීමේ දී පෙනී සිටියේ තමා ලෝකයේ පිළිගත් පුද්ගලයකු බවත් රට ගොඩ ගැනීමට ඔහුට හැකි බවත් තම සව්වන් ලවා කියවමින්. එහෙත් රනිල් අගමැති වී අදට මාස නවයක් පමණ වෙනවා. ජනාධිපති වීත් මාස හතක් පමණ වෙනවා. ඔහු කර ඇත්තේ කුමක් ? ඩොලර් ලබා ගැනීමට ඔහුට හැකි වී තියෙනවා ? ඔහු හැමදාමත් කියන්නේ තව මාස දෙකකින් රට යහපත් වේවි කියා.

 

ජාමුලෙන් අපට ලැබෙන්නේ සාකච්ඡා පමණයි. ඩොලර් ලැබෙන්නේ නැහැ. ඔවුන් ඩොලර් බිලියන තුනක් පමණ අවුරුදු හතරක් ඇතුළත කොටස් වශයෙන් දෙන බව කියනවා. එහෙත් එයට  කොන්දේසි තියෙනවා. ඔවුන් කියන්නේ ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ විය යුතු කියා. එහි දී ඔවුන් දක්වන ප්‍රධාන කරුණ චීනය තමන්ට අවශ්‍ය ආකාරයට ප්‍රතිව්‍යුහගත කරණයට එකඟ නොවන බවයි. බටහිර රටවලින් අඩු පොලියට ණයට ගෙන අපට වැඩි පොලියට ස්වෛරි බැඳුම්කර යටතේ ණය දුන් අය ගැන ඔවුන් කියන්නේ නැහැ.

 

වාර්තා වී ඇති ආකාරයට චීනය අවුරුදු දෙකකට ණය ගෙවීම කල් දැමීමට එකඟ වී තියෙනවා. ඉන්දු බටහිර දේශපාලනය ඉන් සෑහීමකට පත් වන්නෙ නැති බව පැහැදිලියි. මෙයින් කියැවෙන්නේ කුමක් ? චීනය පිට දමා ජමූලෙ අපට ණය දීමත් කල් දැමීමයි. එහෙමත් නැත්නම් ණය නොදී සිටීමයි.

 

මහා බැංකුවේ අධිපතිත් වැල් වටාරම් කියනව හැරෙන්න නිශ්චිත දෙයක් කියන්නෙ නැහැ. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ භෞතීය විද්‍යා උපාධිධාරියකු බව කියනවා. ඉන් පසු ආර්ථිකම විද්‍යාවෙන් ආචාර්ය උපාධියක් ලබා තියෙනවා. ඔහු දක්‍ෂ භෞතිය විද්‍යාවන්ට ආර්ථික විද්‍යාවට කියා මා දන්නේ නැහැ. ඔහු ආර්ථිකය ගැන නම් යමක් කරන බවක් පේන්නෙ නැහැ.

 

රටේ ආර්ථික අර්බුදය ගැන මෙරට  මධ්‍යම පංතිය ඉන්නෙ හොරු ආකල්පයෙ. මධ්‍යම පංතිය කියන්නෙ මෙහෙම කතාවක්. අර්බුදය ඇති වුණෙ ගෝඨාභයගෙ කාලෙ. නිසා ඔහු එයට වග කියන්න ඕනෙ. ඔහු හා අනෙක් රාජපක්‍ෂලා හොරකම් කරපු නිසයි අර්බුදය ඇති වුණෙ. නිසා තමයි මහින්ද හා ගෝඨාභය ඉවත් කෙළෙ. ඒත් ප්‍රශ්නය තියෙන්නෙ තාම බැසිල් ඉවත් කරල නැති එකත් ගෝඨාභය ගිහින් මාස හතක් පමණ ගතවෙලත් හොරකම් නැති වෙලා නැති එකත්. ගෝඨාභය ගියා හොරකම් නැති වෙන්න ඕන. හොරකම් නැති වුණා නම් මධ්‍යම පාංතික කතාවට අනුව අර්බුදය හොඳ අතට හැරෙන්න ඕන. ඒත් තාම එහෙම වෙන පාටක්වත් නැහැ.

 

මධ්‍යම පංතිය තමයි මෙරට ආර්ථික අර්බුදයට හේතුව. පහුගිය කාලෙ මධ්‍යම පංතිය ප්‍රසාරණය වීමත් ජඩමාධ්‍ය ආකල්පවලට ප්‍රචාරය දීමත් පංතිය බිහිකෙරුණු බටහිර ගැති අධ්‍යාපනයත් අපට ණයට ජීවත් වෙන්න පුරුදු කෙරුවා. ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ තමයි මධ්‍යම පංතියෙ තේමා පාඨය. අද රට මරගාතයක් වෙලා. මධ්‍යම පංතිය උගත් කියල කියනවා. උගත්කම කොහොම වෙතත් කිසිම විචාරයක් නැති බව නම් පැහැදිලියි.

 

ඉන්දු බටහිර දේශපාලනයෙ ප්‍රධානීන් ලංකාවට නිතර යනව එනවා. ඔවුන් ජනාධිපති හමුවෙනවා. මාධ්‍ය සාකච්ඡා පවත්වනවා. රනිල් ලවා තමන්ට අවශ්‍ය දේ මේ අවුරුදු දෙක තුළ කර ගන්න හදනවා.

 

අපි එයට ඉඩ දෙනවා ? රනිල් පාර්ලිමේන්තුවට සලකනව කියනවා. ඒත් ඔහු පාර්ලිමේන්තුව කෝලමක් විගඩමක් කරගෙන.ඔහු ජනාධිපති වෙලා මාස හතක් ගතවෙන්න කලින් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරලා. පාර්ලිමේන්තුවෙන් පත් කෙරුණු ජනාධිපති මොනව මේ කරන්නෙ. රනිල්ට ඕන විධියට සැසි වාර අවසන් කරන්නත් සැසි වාර ආරම්භ කරන්නත් මන්ත්‍රීවරු එකඟ ? මන්ත්‍රීවරු රනිල්ගෙ පදේට නටනවා ? රනිල් කියයි ඔහු සෑම දෙයක් කරන්නෙ ව්‍යවස්ථාවට එකඟ කියලා. නැතුව නැතුව. අපි නොදන්න ලයිව් කිව්වලු.