Main Logo

Sunday 26 February 2023

ප්‍රජාතන්ත්‍රවාදයෙ මුහුණ දෙක පෙරහැරේ ගෙන යෑම සඳහා

 ප්‍රජාතන්ත්‍රවාදයෙ මුහුණ දෙක පෙරහැරේ ගෙන යෑම සඳහා

 

වි පෙරමුණ ගැන ලියා ගෙන ලිපි පෙළ අවසන් කිරීමටයි තිබුණෙ. ඒත් එය අදත් කරන්න බැහැ. වි පෙරමුණ දෙකඩ වෙන එක වළක්වන්නත් බැහැ. එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. ජා කියන්නේ දෙකඩ වීම තාවකාලික නවත්තා ගැනීමට තනා ගත් අම්බලමක් පමණයි. අපි එය පසුව කතා කරමු.

 

පරගලය පරගලයක් වන්නේ එය පරයන්ගේ අරගලයක් නිසා. මෙහි පරයන් කියන්නේ බටහිරයන් හා ඉන්දියානුවන්. ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුණෙ ගෝඨාභය ගෙදර අරින්න. ගෝටා ගෝ හෝම් කියන එක කාගෙ නිර්මාණයක් කියන්න මා දන්නෙ නැහැ. දේශපාලනයේ යෙදෙන සියලු රාජපක්‍ෂලා සමග මා වචන දාහක් කතා කර නැහැ. ඔවුන් සමග කිසි දා මගේ සමීප ඇසුරක් තිබුණේ නැහැ. එහෙත් 2005 පමණ සිට 2022 දක්වා මා ඔවුන්ට සහාය දැක්වුවා. කාලයෙහි ජාතිකත්වය වෙනුවෙන් වැඩක් කරන්න ශක්‍යතාවක් තිබුණේ ඔවුන්ට. දැන් ඔවුන්ගේ ශක්‍යතාව නැති කරලා. එය නැති කරනු ලැබුවේ පරයන් විසින්. පරගලය පරයන්ගේ වැඩක්. ගෝඨාභයගේ නික්ම යැම ගැනත් ලියන්න පටන් ගත්තා. ජනවාරි මාසෙ. ඒක ගැන එක ලිපියයි ලියන්න පුළුවන් වුණෙ.

 

මා මේ ලිපි ප්‍රතිචාරවලට විවෘත කෙළේ පඬි නැට්ටන්ගේ තරම ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න. ඔවුන්ගේ නැට්ටේ දිග බලා ගන්න. මා පඬි නැට්ටෙක් නො වෙයි. මා බටහිරයන්ගේ තබා කිසිවකුගේවත් වලිගයක් නො වෙයි. ඇතැම් පඬි නැට්ටන්ට එය තේරෙන්නේ නැහැ. කොහොමටත් පඬි නැට්ටන් දැන් මගේ ලිපිවලට ප්‍රතිචාර දක්වමින් තම නැට්ටේ තරම ප්‍රදර්ශනය කරනවා. ගැන ඔවුන්ට පින්!

 

පරගල ලොක්කන් කියා ඇත්තේ ආණ්ඩුව ඔවුන් මර්දනය කිරීම රතුකුරුසයට හා වෙනත් බටහිර සංවිධානවලට පෙනෙන්නෙ නැහැ කියා. එසේ කියන අය බටහිරයන් හා ඔවුන්ගේ සංවිධාන ගැන දන්නේ නැහැ. බටහිර පුද්ගලයන් කිහිප දෙනකුට ඔවුන්ගේ ආණ්ඩු හා ආයතන ගැන වෙනත් වැටහීමක් තියෙනවා. එහෙත් ඔවුන් සංවිධානගත වෙලා නැහැ. ආණ්ඩු හා සංවිධාන ඇත්තේ ඔවුන්ගේ ක්‍රමය සංස්කෘතිය ආධිපත්‍යය ආරක්‍ෂා කිරීමට පමණයි. එහෙත් අපට හිතන්න පුරුදු කෙරී ඇත්තේ බටහිර ඊනියා අපක්‍ෂපාත සංවිධාන තියෙනවා කියා.

 

සාධාරණ වශයෙන් (පොදුවේ යන අරුතින්) ගත් කල බටහිර ඊනියා මානව අයිතිවාසිකම් සංවිධාන ජා හා ශ්‍රී නි ආණ්ඩු සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ දෙවිධියකට. මහා බඹාට වගේ ප්‍රජාතන්ත්‍රවාදයටත් මුහුණු දෙකක් තියෙනවා. අද තියෙන්නෙ ජා ආණ්ඩුවක්. රනිල් අද බලධාරියා. ඕන වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්. පොහොට්ටුවට අද පාර්ලිමේන්තුවේවත් ඉන් පිටතවත් බලයක් නැහැ. ඒත් රනිල්ටත් පූර්ණ බලතල නැහැ. ඔහුට බටහිරයන් ඉන්දියාව හා ජාතිකත්වය අතර බල තුලනය කරන්න වෙලා.

 

බටහිරයන් රනිල්ට විරුද්ධ ඊනියා මානව අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්නෙ නැහැ. රාජ්‍ය නොවන සංවිධාන ලංකාවෙ අටවා ගෙන තියෙන්නෙත් බටහිර මුදලින්. සමහරු ජීවිත කාලෙ රැකියා කරල තියෙන්නෙ රාජ්‍ය නොවන සංවිධනවල. සංවිධාන ඊනියා ශාස්ත්‍රිය වුණත් දේශපාලනික වුණත් ආගමික වුණත් සමාජ සංවර්ධනය සඳහා වුණත් කරන්නෙ බටහිර අදහස් ප්‍රචාරය කිරීම. බටහිර අදහස් වෙනුවෙන් පෙනී සිටීම. ඔය මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන මැතිවරණ කල් දැමීම ගැන කිසිවක් කරන්නෙ නැහැ. ඇහුවොත් කියාවි ඔවුන්ගෙ ව්‍යවස්ථාව අනුව එය ඔවුන්ගේ කාර්යභාරයක් නො වෙයි කියලා. සහතික ඇත්ත.

 

මට මේ ගැන පෞද්ගලික අත්දැකීම් තියෙනවා. අසූඅටේ කලබල කාලෙ ආණ්ඩුව හිතුවෙ මා වි පෙ කියලා. වි පෙ හිතුවෙ මා ආණ්ඩුවේ ඔත්තුකරුවකු කියලා. මා දැක්කා ඊයේ පෙරේදාත් පඬි නැට්ටන් කියල තිබුණ මා රනිල්ට ඔත්තු සපයනවා කියල. පඬි නැට්ටන්ගෙ තරම අනුව මා රනිල්ට ඔත්තු සපයන්නෙ ප්‍රසිද්ධියේ. පඬි නැට්ටන්ටත් තේරෙන විධියටයි මා ඔත්තු දීල තියෙන්නෙ! කොහොම වුණත් එකල වි පෙරමුණටත් ආණ්ඩුවටත් ඕන වුණා මා ඝාතනය කරන්න. රන්ජන් විජේරත්න සම්බන්ධයෙන් කිහිප දෙනකුගෙන් අහල තිබුණ විතරක් නො වෙයි සම්බන්ධයෙන් ඝාතන කල්ලිය සාකච්ඡා කරලත් තිබුණා. සාකච්ඡාවට හිටපු අය ගැනත් මා දන්නවා.

 

කෙසේ නමුත් මගේ ගුරුතුමා මහාචාර්ය මැක්‍රේ මට ලන්ඩනයේ රාජකිය සංගමයෙන් (Royal Society, London) අධිශිෂ්‍යත්වයක් (Fellowship) ලබා දීමට කටයුතු කරල තිබුණා. මා එමගින් භාර්යාවත් පුතුන් දෙදෙනාත් සමග සසෙක්ස් විශ්වවිද්‍යාලයට ගිහින් පණ බේරා ගත්තා. එකල දුව හිටියේ නැහැ. කොළඹ විශ්වවිද්‍යාලයේ එකල උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මට ඉක්මණින් සප්තවාර්ෂික නිවාඩු ලබා දීමට කටයුතු කළ බවත් කෘතඥතා පූර්වක සඳහන් කරන්න ඕන. වි පෙ ඝාතකයන් එතුමා ඝාතනය  කළ බව කවුරුත් දන්නවා.

 

මට කියන්න ඕන කාරණය මා සසෙක්ස් විශ්වවිද්‍යාලයෙ ඉන්න අතර තමයි ත්‍රීමාවිතාන ඝාතනය හා තවත් ශිෂ්‍ය ඝාතන සිදු කෙරුණෙ. මා විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයෙ ලේකම් ලෙස කළ කටයුතුවලින් නිිදහස් වී  එංගලන්තයට ගියේ. මා අර සිසුන් වෙනුවෙන් බිරිතානි විශ්වවිද්‍යාලය ආචාර්ය සංගමයේ නිලධාරීන් හමු වුණා. එයටත් වඩා අර ප්‍රසිද්ධ ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනයේ (Amnesty International) නිලධාරීන් හමුව වුණා. එකල ආයතනයේ ලංකාව භාරව කටයුතු කෙළේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ සමාජයීය විද්‍යා පීඨයේ කථිකාචාර්යවරයකුගේ බිිරිඳ. මා ඔවුන් පදිංචි සිටි ලන්ඩනයට දකුණින් වූ රිච්මන්ඩ් හි පිහිටි නිවසටත් ගියා. මේ සම්බන්ධයෙන් මට අවශ්‍ය විස්තර ලංකාවේ සිට සැපයුවේ පසුගිය දා අභාවප්‍රාප්ත වූ මහාචාර්ය අර්ජුන සොයිසා බව සඳහන් කරන්න ඕන. එහෙත් අපේ සියලු උත්සාහ ව්‍යර්ථ වුණා. ආයතන කිසිවක් කෙළේ නැහැ. ඔවුන්ට විස්තර නැති නිසා නො වෙයි. ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නෙ එලෙස නිසා. පරගල ලොක්කන්ගේ කතාව අහන්න රතුකුරුසය තියා මොන කුරුසයක්වත්  එන එකක් නැහැ. නරක ප්‍රජාතන්ත්‍රවාදයත් පෙරහැරක ගෙනිච්ච නම්. සමන් දේවාලෙ වෙන්න ඕන නැහැ.