Main Logo

Thursday 9 February 2023

පරගලය පරාජය කර ජාතිකත්වය ජයග්‍රහණය කිරීම ගුණානන්ද හිමියන්ට පූජාවක්

 පරගලය පරාජය කර ජාතිකත්වය ජයග්‍රහණය කිරීම  ගුණානන්ද හිමියන්ට පූජාවක්

 

ඊයේ රනිල්ගේ දෙවැනි වාරය ඇරඹුනා. මේ පාසල් වාරය හරි විශ්වවිද්‍යාල වාරය හරි නොවෙයි. පාර්ලිමේන්තු සැසි වාරය. 2025 කලින් තව සැසි වාර කීයක් තියෙයි දන්නෙ නැහැ. වාර කීයක් තිබ්බත් රනිල්ගෙ වාරය නම් අවසන් වෙලා. දැන් ඉන්දු බටහිර දේශපාලනයට වෙන නායකයකු හොයා ගන්න වෙනවා. ඒත් වෙන කවුරුවත් අහල ගම් හතකවත් නැහැ. රනිල්දාසට හතර මායිමටවත් එන්න බැහැ.

 

ඉන්දු බටහිර දේශපාලනය ඊයේ නැවත වරක් පරාජය වුණා. දහතුන මුළුමනින් ක්‍රියාත්මක කරන්න රනිල් වික්‍රමසිංහටවත් රනිල්දාසලාගේ හරිණි අමරසුරියටවත් බැහැ. පරගලයේ අවසන් කටයුතු ඊයේ ඉටු කෙරුණා. අර තේපැන් සංග්‍රහය වෙනුවට පාංශුකූලෙ දෙන්න තිබුණෙ. ඉන්දු බටහිර දේශපාලනය මෙරට පඬි නැට්ටන් වමලා ලිබරලුන් ඇතුළු මධ්‍යම පාංතික වැරදුණු පරම්පරාව යොදා ගෙන පරගලය කෙළෙ අර කර්නල්, නැහැ වැරදුණා කර්නර, කියන විධියට ලංකාවෙ අරාබි වසන්තය උදා කරන්න. සඳහා අරාබියෙන් මුදල් නම් ලැබිල තියෙනවා. පරගලයට වටලප්පන් බිරියානි විතරක් නො වෙයි යාඥාත් ලැබුණා. කාලෙකින් කතෝලික යාඥා හා ඉස්ලාම් යාඥා එක තැන දැක ගන්න පුළුවන් වුණා. පරගලය කෙළේ සිංහල බෞද්ධ ජාතිකත්වය නැති කරල ඊනියා දෙමළ (වෙල්ලාල) මුස්ලිම් (වහාබ්) ප්‍රශ්න විසඳන්න. සඳහා ගෝඨාභය හා මහින්ද ඉවත් කරල රනිල් පත් කර ගත්තා. රනිල් ඊයේ වාරයක් පටන් ගත්තෙ දහතුන මුළුමනින් ක්‍රියාත්මක කරන්න කියා ඇති අණ ඉටු කරන්න.

 

එහෙත් රනිල් ඊයෙ ගැන මුකුත් කිවුවෙ නැහැ. ඒකීය රාජ්‍යයක බලය උපරිම වශයෙන් බෙදන බවක් නම් කිවුව. ඒත් රනිල් තම මාමගේ විජයවර්ධන නැත්නම් විජය පුවත්පත් සමාගමේ සන්ඩෙ ටයිම්ස් පත්තරේට නම් පොඩි ප්‍රචාරයක් දෙන්න වාරාරම්භ කතාව යොදා ගන්න හැදුවා. ඒත් දැන් පත්තර කියවන්නෙ රූපවාහිනී නාළිකාවල විතරයි. ඒවයෙත් ඉංගිරිසි පත්තර කියවන්නෙ නැහැ. ඩිජිටල් වැඩ කාරයොවත් ඉංගිරිසි පත්තර කියවන්නෙ නැහැ. ඩිජිටල් නිසා ඉව නැති වෙන එක අපි පස්සෙ කතා කරමු.

 

පරගලය පටන් අරන් මාස දහයක් ගත වෙන්න ඔන්න මෙන්න කියල තියෙන වෙලාවෙ පරගලයෙ පාංශුකූලෙ දෙන්න වීම නම් තරමක ප්‍රශ්නයක් තමයි. මාස දහයක් කිවුවට මාස එකොළහක් ගත වෙන්න කිට්ටු වෙලාවෙ කිවුව නම් හරි. ගෝඨාභයගෙ මිරිහානෙ ගෙදරට ගැහුවෙ අසල තාප්ප කැඩුවෙ 2022 මාර්තු මාසෙ දවසක. පරගලය සැලසුම් කළ අය හිතුවෙ ගෝඨාභය හා මහින්ද ඉවත් කළාම සිංහල ජාතිකත්වය ඉවරයි කියල. එලොවටත් මෙලොවටත් නැති පඬි නැට්ටන් හිතන් හිටියෙ ජාතිකත්වයත් ජාතික ව්‍යාපාරයත් සුනේ සුං කියල. 

 

අර සිරසෙ පතුළෙ හිටිය මනුෂ නානායක්කාර විද්වතා ඇහැවුුවෙ හාමුදුරුවරු කියන විධියට වැඩ කරන්න ඕන කියල වගේ කතාවක්. අපේ රටේ තරම් උගතුන් විද්වතුන් වෙන කිසිම රටක නැති බව නම් මෙටාව පරිශීලනය කරන අයකුට ඉක්මණින් වැටහෙනවා. සමහරු හිතන්නෙ අධිවේග මාර්ග හදන එකත් ධනවාදී ආර්ථික ක්‍රමයෙ වැඩක් කියල. අද දහතුන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න නොවෙයි තියෙන්නෙ කොළඹ කුරුණෑගල  අධිවේග මාර්ගය යාපනයටත් මහනුවරටත් මඩකලපුවටත් දීර්ඝ කරන එක. අද එය කරන්න මුදල් නැති එක ප්‍රශ්නයක්. ඒත් ජනකොටස් අතර සම්බන්ධය වැඩි කරන්න නගර අතර අධිවේග මාර්ග ඉවහල් වේවි. පඬි නැට්ටන්ට පුළුවන් ඊනියා පශ්චාත්නූතනවාදයක හරි පශ්චාත් මාක්ස්වාදයක හරි ධනවාදය නිර්වචනය කරන්න. ඔය මොන වාදයත් ජාතික ආර්ථිකයකට විරුද්ධ බව අපි දන්නවා.

 

පරගලය සැලසුම් කෙළෙ ජාතිකත්වය නැති කිරීමට.  වෙනත් දේ අතර දහතුන මුළුමනින් ක්‍රියාත්මක කරන්න. විග්නේෂ්වරන් කියනවා කොහොම හරි ෆෙඩරල් රාජ්‍යයක් පිහිටුවනව කියල. ඔහුට අවශ්‍ය පොන්නම්බලම් කුමාරස්වාමි පවුලෙ සිහිනය සාක්‍ෂාත් කර ගන්න. දහතුන මුළුමනින් ක්‍රියාත්මක කරන්න ඉන්දු බටහිර දේශපාලනයට අවශ්‍ය වුණෙ ෆෙඩරල් ලබා දීමේ පියවරක් ලෙස.

 

අද ජාතික ව්‍යාපාරයට දේශපාලන නායකයෙක් නැහැ. පරගලය හිතුවෙ නායකයකු නැතුව ජාතිකත්වය හා ජාතික ව්‍යාපාරය කඩා වැටෙයි කියල. ඒත් ඉන්දු බටහිර දේශපාලනය තවම දන්නෙ නැහැ සංඝ රත්නයෙ බලය. බ්‍රවුන්රිග්ගෙ කාලෙ ඉඳන් අද දක්වාත් ඔවුන් ක්‍රියා කරන්නෙ සංඝ රත්නයෙ බලය බිඳින්න. මනුෂ විද්වතා අර ප්‍රකාශය කළෙ නිකම් නො වෙයි. සිංහල ජාතිකත්වය බැඳලා තියෙන්නෙ බුදුදහමෙන්. ඉන්දු බටහිර දේශපාලනඥයන් නිලධාරීන් ඔත්තු සේවාවන් නොදන්නවා නො වෙයි. පහුගිය දවස්වල විවිධ පුද්ගලයන් හාමුදුරුවරුන්ට හා ශාසනයට පරිභව කිරීම උත්සන්න කෙළේ සසුනෙ බලය බිඳින්න.

 

එහෙත් සසුන බිඳිල නැහැ. බිඳුනෙ පරගලය. පරගලය දැන් අවසන්. ඒකෙන් කියන්නෙ නැහැ ඉන්දු බටහිර දේශපාලනය දැන් තම වෑයම අත් හරීවි කියල. ඔවුන් වෙනත් මාර්ගවලට යාවි. අපට වගේ නො වෙයි. ඔවුන්ට මුදල් තියෙනවා. ඔවුන් මෙටාව යොදා ගන්නවා. පුද්ගලයන් මිල දී ගන්නවා. ව්‍යාජ ගිණුම් ඇති කරනවා. අපි අවදියෙන් ඉන්නෙ.

 

සිංහල ජාතිකත්වයට අද ගිහි නායකයකු නැති බව සැබෑව. එහෙත් අපට මග පෙන්වන පැවිදි නායකත්වය හැමදාමත් වැඩ සිටිනවා. ඊයේ ජාතිකත්වය ජයග්‍රහණය කළා. අද අපි මොහොට්ටිවත්තෙ ගුණානන්ද හිමියන්ගෙ උපතින් දෙසිය වසරක් සමරනවා. ජාතිකවාදීන්ට බලපිටියට යන්න පුළුවන් නම් ඊයේ ජයග්‍රහණය ශක්තිමත් කරන්න පුළුවන්. ඊයේ ජයග්‍රහණය ගුණානන්ද හිමියන්ට පූජාවක් වේව්.