Main Logo

Monday 6 February 2023

අවතාර වීමටවත් නොහැකි ආචාර්යවරු

 අවතාර වීමටවත් නොහැකි ආචාර්යවරු

 

වත්මන් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් අතරින් කී දෙනකු පාසලේ උසස් පෙළ පංතිවල ඉගෙන ගන්නා කාලයේ කථිකාචාර්යවරුන් වීමේ අරමුණ ඇති හිටියා කියා මා දන්නේ නැහැ. ඉංජිනේරුවන් බටහිර වෛද්‍යවරුන් වූ අයට නම් පාසලේ දී තමන් කරන්න බලාපොරොත්තු වූ රැකියාව ගැන අවබෝධයක් තියෙන්න ඇති. අදාළ පීඨවල උගන්වන අය එසේ ඉගැන්වීමට යොමු වුණේ කෙසේ යන්න ගැනත් මට හැඟීමක් නැහැ. කෙසේ නමුත් ඔවුන් උගන්වන්නේ තමන් ඉගෙන ගැනීමට බලාපොරොත්තු වූ දේ.

 

එහෙත් අනෙක් පීඨවල අති විශාල බහුතරය ගැන එසේ කියන්න බැහැ. සමහර විට කළමනාකාර පීඨවල ඇතැමකු පාසලේ දී අදාළ වෘත්තියෙහි නියැළීමට බලාපොරොත්තු වන්න ඇති. එහෙත් වත්මන් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගෙන් බහුතරය එවැනි අරමුණක් තිබූ අය නො වෙයි.

 

බටහිර විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු දළ වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක් කොටසක් මුළුමනින් මෙන් ඉගැන්වීමේ පමණක් නිරත වන අය. අනෙක් කොටස පර්යේෂණවල නිරත වන අය. දැන් පඬි නැට්ටකු අහන්න පුළුවන් බටහිරට විරුද්ධ මා බටහිරින් උදාහරණ ගන්නේ ඇයි කියා. මා හිතන්නේ ප්‍රධාන වශයෙන් ඔවුන්ට එක්කෝ මා කියන දෙය තේරුම් ගැනීමට තරම් ශක්තියක් නැතිකම, එහෙමත් නැත්නම් ඔවුන්ගේ කුහකකම, නැත්නම් තමන් වමාලා වීම නිසා මා සමග ඇති වෛරය, එහෙමත් නැත්නම් සිංහල බෞද්ධ විරෝධය, තමන් විද්‍යාඥයන් යැයි සිතන අයට මා බටහිර විද්‍යාව ගැන කියන දේට විරුද්ධ යමක් කියා ගැනීමට නොහැකි වීම, අධ්‍යාපනයෙන් ජනමාධ්‍යයෙන් හරහා ලැබුණු හීනමානය, බටහිර දැනුම එකම දැනුම ලෙසත් එය උසස් ලෙසත් සිතීම ආදිය ඔවුන්ගේ ප්‍රශ්නවලට හේතු වන බවයි.

 

අද ලෝකය පුරා ඇත්තේ බටහිර විශ්වවිද්‍යාලවල අනුකරණ. චීනයේ රුසියාවේ කියා වෙනසක් නැහැ. ලංකාවේ නම් ඇත්තේ ඉතාමත් දුර්වල අනුකරණ. මා බටහිර විශ්වවිද්‍යාලවලින් උදාහරණ ගන්නෙ නැතුව අනුකරණවලින් උදාහරණ ගන්න ? අනෙක් අතට මට බටහිර විශ්වවිද්‍යාලවලට හරි බටහිර දැනුමට හරි විරෝධයක් නැහැ. මා එය ප්‍රතික්‍ෂෙප කරන්නෙත් නැහැ. අවශ්‍ය පරිදි මා දැනුම යොදා ගන්නවා. මා මේ ලිපිය ලියන්නේ පන්හිඳෙන් තල්පතක නො වෙයි. මගේ හදවත් සැත්කම ගැන ප්‍රශ්න කරන අය පරිගණකයක් පාවිච්චි කිරීම ගැන උරණ නොවන්නේ ඇයි යන ප්‍රශ්නය විසඳා ගත යුත්තක්. මා විරුද්ධ වන්නේ බටහිර දැනුම එක දැනුම ලෙස ගැනීමටත් එහි ආධිපත්‍යයටත්.

 

බටහිර විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු, උගන්වන අයත්, තම විෂයේ තත්කාලීන දැනුම ලබා ගන්නවා. මට ආභාසය තියෙනවා. අසු විය පිරීමට ආසන්න වුණත්, විශ්වවිද්‍යාල සේවය අත්හැර අවුරුදු දහයකට වැඩි වුණත් මා තවමත් අදාළ සඟරා කියවනවා. මා වරදක් නම් කරනවා. අපේ විදේශ විනිමය ඇතැම් ආයතනවල සාමාජිකයකු වීමටත් ඇතැම් සඟරාවක් විද්‍යුත් තැපෑලෙන් ගෙන්වා ගැනීමටත් වියදම් කිරීම. ඉන් සත පහක ප්‍රයෝජනයක් රටට නැති වෙන්න පුළුවන්. මට තවමත් අදාළ දැනුම ලබා ගැනීමට කුතුහලයක් තියෙනවා.

 

බටහිර රටවල පර්යේෂණ සඳහා නැඹුරු වන විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු බොහෝ දෙනෙක් ඉගැන්වීමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. මා බව අත්දැකීමෙන් දන්නවා. එහෙත් ඔවුන් අතර මතයක් තියෙනවා ඉගැන්වීමේදී සීසුන් අසන ප්‍රශ්න නිසා ඇතැම් විට අලුතෙන් හිතීමට යොමු වෙනවා කියා. එය පර්යේෂණවලටත් බලපානවා. සමහර විට දේශනය අතර අදහස් එනවා.

 

මා කලකට පසු ඊයේ දේශනයක් කළා. එකසිය විස්සක් පමණ පිරිසකට සූම් තාක්‍ෂණය මගින් කේම්බ්‍රිජ් බෞද්ධ සංගමය ඉදිරියේ කතා කරන විට මට අදහසක් ආවා දෙවියන් වහන්සේගේ අවතාරය ගැන. අද බටහිර විද්‍යාඥයන් විශාල පිරිසක් දෙවියන් වහන්සේ ලෝකය (විශ්වය) මැවුවා කියා කියන්නේ නැහැ. එහෙත් දෙවියන් වහන්සේගේ අවතාරය බටහිර විද්‍යාවේ දැක ගන්න පුළුවන්. නිවුටන් පවා කිවුවේ තමාට අවශ්‍ය දෙවියන් වහන්සේ ලෝකය මවා ඇති ආකාරය දැන ගැනීමට කියා. බටහිර ලෝකයේ දෙවියන් වහන්සේගේ අවතාරය නැති වෙන්නේ නැහැ. මා එසේ කියන්නේ කිසිම ආගමකට අගෞරවයක් කරන අදහසින් නො වෙයි.

 

එහෙත් කිවයුත්තක් තියෙනවා. දෙවියන් වහන්සේගේ අවතාරය ගැන මට කේම්බ්‍රිජ් දේශනයෙහි දී අදහස ආවේ අපේ සංස්කෘතියෙන්. අපේ සංස්කෘතියේ අවතාර ගැන කියැවෙනවා. අවශ්‍ය නම් දෙවියන් වහන්සේ බටහිර විද්‍යාවේ යළි ඉප දී ඇතැයි කියන්නත් පුළුවන්. අදහසත් ලැබෙන්නේ අපේ සංස්කෘතියෙන්. කුමක් වුවත් එය දෙවියන් වහන්සේ ගැන ඇති කතෝලික/ක්‍රිස්තියානි අදහසක් නො වෙයි.

 

අපේ රටේ විශ්වවිද්‍යාලයිය ආචාර්යවරුන්ගෙන් තමන්ගේ අදහස් තම සංස්කෘතියෙන් ලැබෙන අදහස් කියැවෙන්නේ නැහැ. ඔවුන්ගෙන් කියැවෙන්නේ බටහිර බුද්ධිමතුන්ගේ අදහස්. අලුත් අදහස් නො වෙයි. පොත්පත්වල තියෙන අදහස්. අදහස් අනුව තමයි ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතිය හෑල්ලුවට ලක් කරමින් පුහු වීරයන් වීමට දඟලන්නේ. ඔවුන්ට බටහිර බුද්ධිමතුන්ගේ අවතාර වෙන්නවත් බැහැ.