Main Logo

Wednesday 1 March 2023

ඊනියා උගත් ගැමි තරුණ පරපුර

 ඊනියා උගත් ගැමි තරුණ පරපුර

 

වි පෙ බිහිවීම මැයෙන් පළ වූ ලිපියේ අප ප්‍රභූන් හා නිර්ප්‍රභූන් ගැන කතා කළා. මේ මාක්ස්වාදී සංකල්ප නො වෙයි. දැනට අවුරුදු හතළිහකට පමණ පෙර නම් මාක්ස්වාදීන් ඔය ප්‍රභූ නිර්ප්‍රභූ වැනි සංකල්පවලට තදින් විරුද්ධ වුණා. දැන් මාක්ස්වාදීන් කියන අය බෙහෙතකටවත් හොයා ගන්න බැරි නිසා සංකල්ප කවුරුත් පාහේ යොදා ගන්නවා. එකල මාක්ස්වාදීන් නිර්ප්‍රභූ සංකල්පයට පමණක් නොව විජේවීරගේ නිර්ධන සංකල්පයටත් විරුද්ධ වුණා.  විශේෂයෙන් ට්‍රොට්ස්කිවාදීන් වි පෙරමුණෙන් ඇසූ ප්‍රශ්නයක් වුණෙ හිඟන්නන් නිර්ධන පංතියට අයත් වන්නේ යන්නයි.

 

විජේවීර කළ එළි බැස්සේ නිර්ධන පංතියක් සමග. එයින් කියන්නේ ඔහු ඊනියා නිර්ධන පංතියකට ආමන්ත්‍රණය කළ බවයි. එය කිසිසේත් ප්‍රොලිටේරියට් නම් නො වෙයි. ප්‍රොලිටේරියට් යන්න සමසමාජ පක්‍ෂය විසින් පරිවර්තනය කෙරී තිබුණේ කම්කරු පංතිය ලෙස. ප්‍රොලිටේරියට් හෙවත් කම්කරු පංතියක් ලංකාවේ තබා ලෝකයේ කොහේවත් හොයා ගන්න බැරි වීම පැරණි මාක්ස්වාදීන්ට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඊනියා කම්කරු පංතිය ලෙනින්ට අනුව බිහිවුණේ කම්කරු පංති විඥානයක් නැතුව. ලෙනින්ලාගේ කාර්යභාරය වුණේ කම්කරු පංති විඥානය අර විඥානයක් නැතුව බිගිවුණු ඊනියා කම්කරු පංතියට ගෙන යෑම. මාක්ස්වාදයේ ඇති එවැනි අපභ්‍රංස හමුවේ සෝවියට් දේශය කඩා වැටීම පුදුමයක් නො වෙයි.

 

කුමක් වුණත් පැරණි මාක්ස්වාදීන් ධනපතියන් භංග වේවා කිවුවත් ධනපතියන්ට ඊර්ෂ්‍යා කෙළේ නැහැ. ඔවුන්ගේ අදහස වුණේ ධනපති ක්‍රමයට ඉදිරියට ගෙන යෑමට නොහැකි වූ සමාජය ඊනියා කම්කරු පංතිය බලය ගෙන තවත් ඉදිරියට ගෙන යෑමටයි. ඔවුන්ගේ කම්කරු පංති විප්ලවය අනුව  ධනපති ක්‍රමය භංග වේවා යන්නයි ඔවුන්ගේ සටන් පාඨය විය යුතුව තිබුණේ.  එහෙත් ඔවුන් කිවුවේ ධනපතියන් භංග වේවා කියා. මාක්ස්වාදී සංකල්ප ගැන අවබෝධයක් නොතිබූ අයට ධනපතියන් භංග වේවා යන්නෙන් වෙනත් තේරුමක් ලැබුණා.

 

විජේවීර ඊනියා නිර්ධන පංතිය මගින් අර ධනපති ක්‍රමයට නොව ධනපතියන්ට එරෙහි වූ විරෝධතාව තවත් තිව්‍ර කළා. සාමාන්‍ය මිනිසුන්ට අවශ්‍ය වුණේ මූලික වශයෙන් ධනපතියන් නැති කිරීීමට. තමන්ට දුක් විඳීමට සිදු ඇත්තේ ධනපති ක්‍රමයක් නිසා නොව ධනපතියන් නිසා යැයි ඔවුන් හිතුවා. ධනේෂ්වර නිෂ්පාදන ක්‍රමයට නොව ධනපතියන් සතු දේපොළ ආදියට විරුද්ධත්වයක් ඇති වුණා. සමාජ ක්‍රමය වෙනස් කිරීමක් එදත් තේරුණේ නැහැ. අදත් තේරෙන්නෙත් නැහැ. ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය ආදිය පදනම් අර දේපොළ ඊනියා ජනසතුවක් මගින් තමන් සන්තක කර ගැනීම තමයි බලාපොපොරොත්තු වුණේ. අදත් ඔය සිස්ටම් චේන්ජ් පරම්පරාව දන්නෙ තමන් රූපවාහිනිය මෙහෙයවනවා වගේ දේ.

 

පැරැන්නන් සම්බන්ධයෙන් උදාහරණයක් මට අපේ ගමෙන් දෙන්න පුළුවන්. අද පාණදුරේ ශ්‍රී සුමංගල විදුහල මෙන් ලංගම ඩිපෝවද ඇති භූමිය අප කුඩා කළ හඳුන්වනු ලැබුයේ වෑකඩ වලවූවත්ත කියා. 1970 සමගි පෙරමුණු රජය බලයට පත්වීමත් සමග සමාජවාදී රජයක් බිහි වී ඇතැයි සිතූ පිරිසක් වලවුවත්තට ගොස් එය බෙදා තමන්ට අයිති කර ගත්තා. ලෙස්ලි ගුණවර්ධනට සිදු වුණා පැමිණ ඔවුන් ආපසු ගෙවල්වලට යැවීමට.

 

හැට ගණන්වල වි පෙ බිහිවුණේ එවැනි වාතාවරණයක. මා හිතන්නෙ නැහැ විජේවීරටත් මාක්ස්වාදී සංකල්ප ගැන අවබෝධයක් තිබුණා කියා. ඊනියා කම්කරු පංතියකට අදහස් තියෙනවා කියන අය අද ඉන්නවා. ලෙනින් කියා ඇති ආකාරයට ඊනියා කම්කරු පංතියට නැත්තේ අදහස්. අදහස් නැති නිසා ඔවුන්, පංතිය කෙසේ වෙතත් සමහර නිර්ධනීන්, හැඟීම්වලින් පමණක් වැඩ කරනවා. විජේවීරටත් තිබුණේ හැඟීම්.

 

සියල්ලෙහි ප්‍රතිඵලය වුණෙ හැඟීම් පමණක් මත ක්‍රියා කළ පිරිසක් විශේෂයෙන් තරුණ පිරිසක් විජේවීර සමග එකතු වීමයි. ඔවුන් අර යමක් කමක් තිබූ අයට, සමාජයේ පිළිගැනීමක් තිබූ අයට වෛර කළා. පංති පහකින් වෛරය උද්දීපනය කරන්න විජේවීර සමත් වුණා. ධනපතියන් වේවා ප්‍රභූන් වේවා කුලවතුන් වේවා අර තරුණයන්ගේ වෛරයට පාත්‍ර වුණා. සිංහල සමාජයේ දෙමළ සමාජයේ තරමට නැති වුවත් කුල පීඩනයක් තියෙනවා. මා කුලවතුන් යනුවෙන් හඳුන්වන්නේ මේ කුල ධුරාවලියේ ඉහළින් සිටි අය. ප්‍රභාකරන් පටන් ගත්තේ වෙල්ලාලයන්ට විරුද්ධ . එහෙත් විවිධ අයට පුළුවන් වුණා එය සිංහල බෞද්ධ විරෝධී අරගලයකට හරවන්න.

 

මේ තරුණ වෛරයට ඊනියා පංති වෛරයත් ඉවහල් වුණා. පංති වෛරය යන්නත් මෙරට මාක්ස්වාදී ව්‍යාපාරයේ යොදා ගත් වැරදි ව්‍යවහාරයක්. මේ සියලු වෛර වැඩියෙන් තිබුණේ ඊනියා උගත් ගැමි තරුණ පරපුරට. අප ඉගෙන ගන්නේ මූලික වශයෙන් හතර වරිගය ගොඩ දාන්න.  එහෙත් පනහේ දශකයේ අග ජ්‍යෙෂ්ඨ සමතුන්ට රැකියා නොමැති වීමත් සමග ඉගෙනීමෙන් ගොඩ එන්න බැරි බව ඊනියා උගත් ගැමි තරුණයන්ට තේරුණා. විජේවීරට රැකියා විරහිත සමාජ පිළිගැනීමක් නැති සමහර විට කුලය නිසා පීඩාවට ලක් වූ මේ ඊනියා උගත් ගැමි තරුණයන් හොඳ අහිනක් වුණා. විජේවීර ඔවුන් බිලි බා ගත්තා. පසුව ඔවුන් බිලි දුන්නා. විජේවීර සහ මේ වපුරා තිබූ වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව ආදිය නිසා ජීවිත දසදහස් ගණනක් රටට අහිමි වුණා.

 

පහුගිය දා වි පෙට රැල්ලක් ඇති වුණෙත් ඔය වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව ආදිය නිසාත් මධ්‍යම පංතික ආකල්ප නිසාත්. නිදහස් අධ්‍යාපනය විසින් මූලික වශයෙන් කෙරී ඇත්තේ මධ්‍යම පාංතික ආකල්ප රැගත් පිරිසක් බිහි කිරීම. මධ්‍යම පංතියට අවශ්‍ය බටහිර විධියට කිට්ටු වෙන්න මෙරට ජීවත් වීමට. එය අධ්‍යාපනයේ ප්‍රතිඵලයක්. අපි පොඩි සමීක්‍ෂණයක් කරමු ? ඊනියා සමාජවාදය අගයන කී දෙනකු විවාහ සම්බන්ධයක් නැත්නම් ඔය සමාජවාදී යැයි කියන රටක පදිංචියට යෑමට කැමති ? රටවල උගත් මෙරට අයත් කැමති බටහිර රටක පදිංචියට යෑමට. එය ඔවුන්ගේ වරදක් නො වෙයි.

 

අද අපට සිතන්න පුරුදු කර ඇත්තේ ආර්ථික අරබුදයට හේතුව රාජපක්‍ෂලා හොරකම් කිරීම කියා, අපේ ජීවන ක්‍රමය නැති කිරීමට ඔවුන් කටයුතු කර තියෙනවා කියා. අපට ඔවුන් කෙරෙහි වෛරයක් ඇති කෙරී තියෙනවා. වෛරය පළල් වෙලා මෙතෙක් රට පාලනය කළ සියලු පක්‍ෂවලට හා පවුල්වලට එල්ල වෙලා. වි පෙ (ජා ) එය ප්‍රයෝජනයට ගන්න බැලුවා. ඡන්දදායකයන් යම් පිරිසක් අනෙක් පක්‍ෂවලට විරුද්ධ ජා දෙසට ආකර්ෂණය වුණා.

 

එහෙත් රැල්ල අර කඩේ දොර යටින් බැහැල ගියා. ජා බලවේගයට මැතිවරණයක් ලබා ගැනීම තියා විදුලි බිල වැඩි කිරීම නතර කිරීමක්වත් කර ගන්න බැරි බව රැල්ල තේරුම් ගෙන තියෙනවා. වි පෙ තම ඊනියා විප්ලව මගින් හැමදාමත් කෙළේ තිබෙන ආණ්ඩුව තහවුරු කිරීම. මෙවර ඔවුන් රනිල් ජනාධිපති ධුරයේ තහවුරු කර තියෙනවා.